Monday, May 6, 2024

ලංකාව ඇතුලෙත් පිටත් හිරවෙලා; පොල් තෙල්, පරිසර, සීනි මංකොල්ල කාගේ වරදක්ද? – කරු ජයසූරිය

අපේ රටට හානියක්, අගතියක් හෝ අවමානයක් සිදුවන්නේ නම් එයින් වඩාත්ම වේදනාවට පත්වන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයන්ය. අද රට තුළ සිදුවෙමින් පවත්නා දේවල් දකින විට අපට බලවත් වේදනාවක් දැනෙන්නේ එබැවිනි. එහෙත් අවාසනාවකට අද අපේ රට වේගයෙන් ප්‍රපාතයකට ඇදී යද්දී ඊට වගකිවයුතු සියලු දෙනා සිටින්නේ වීණා වාදනය කරමිනි. ඒ නිසා  අප මේ මොහොතේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දෑස් විවර කොට රටට වෙමින් පවත්නා මේ මහත් විපත්තිය දෙස සබුද්ධිකව විමසිලිමත් වන ලෙසය. බලයට, ධනයට ඇති කෑදරකමින් රටේ ජනතාව බිල්ලට නොදෙන ලෙසය.

හතර වටෙන්  සිරවීම

අද අප සිරවී සිටින්නේ රට තුළ පමණක්ම නොවෙයි. ජාත්‍යන්තර වශයෙන්ද අද අප බරපතල ලෙස කොටු වී තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබදව සම්මත වූ යෝජනාව ඒ බව හොදින්ම කියාපානවා. ඒ ගැන අද ආණ්ඩුවේ පාර්ශවයන්ගෙන් නොයෙකුත් මත පළවනවා. මේ රට බිහිකරන ලද කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ට ඒ පිළිබදව වෙනස්ම වූ මතයක් තිබෙනවා. ඒ බව ඔවුන් ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ද ඒ පිළිබදව වන ඔවුන්ගේ විග්‍රහයන් සිදුකරමින් සිටිනවා. නමුත් රටක් ලෙස අද අප මුහුණ දී තිබෙන මේ ප්‍රශ්ණයේ ඇති බැරැරුම් බව මේ රටේ පාලකයන් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා ද? අප රටේ ප්‍රතිරූපය, ගෞරවය හා අභිමානය ආරක්‍ෂා කරගෙන තිබෙනවා ද?

ජිනීවා යෝජනා සම්මතය අසමත්කමේ ලකුණක්

අප මේ ගැන කතා කරන්නේ පාට කණ්නාඩි  දමාගෙන නොවෙයි. ලංකාවට අදාළව සම්මත වූ ජිනීවා යෝජනාව මඟින් රටට ඇතිකළ හැකි ප්‍රතිඵල පිළිබදව අප ගැඹුරු විමර්ශණක් කළා. ඒ වගේම විදේශ සේවයට සම්බන්ධ අප රට බිහිකළ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් ද ඇතුළුව ජාත්‍යන්තර සබඳතා පිළිබද විශේෂඥවරුන්ගෙන් ද උපදෙස් ලබාගත්තා. ඒ සියල්ල දෙස ගැඹුරින් හා මැදිහත්ව බලන විට අපට ඉතාමත්ම පැහැදිලි ලෙසම කිව හැක්කේ අපේ රටේ වගකිව යුත්තන් එහිදී ද සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවයි. රට තුළ පමණක් නොව අද ජාත්‍යන්තර වශයෙන් ද ඔවුන්ගේ අසමාර්ථතාවය ප්‍රදර්ශණය කර තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගියහොත් එමඟින් අපේ රට බලවත් අසීරුතාවයකට මුහුණ දිය හැකියි. කවුරු මොනවා කීවත් සත්‍ය වන්නේ එයයි. අවසානයේ එහි පීඩාව ද පැටවෙනු ඇත්තේ අපේ රටේ අහිංසක ජනතාවගේ කරමතටයි.

ජිනීවාහි දී  අපට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු වූයේ ඇයි? හේතුව ඉතාමත්ම පැහැදිලියි. අප රට සමඟ ඉතාමත්ම මිත්‍රශීලිව අතීතයේ දී එක පෙලට සිටගත් මිත්‍ර රාජ්‍යයන් බොහෝමයක් මෑත කාලයේ දී අප විසින්ම අහිමි කරගෙන තිබීම ඊට හේතුවයි. ආසියානු කලාපයට පමණක්  සීමා නොවෙමින් ලෝකයේ සෑම කලාපයකම, සෑම බල කඳවුරකම අපට සහය දුන් මිත්‍ර රාජ්‍යයන් ගණනාවක්ම සිටියා. නොබැඳි ප්‍රතිපත්ති අනුගමනය කල රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබදව ඒ සෑම රාජ්‍යයක්ම මහත් ගෞරවයෙන් යුතුව අතීතයේදී කටයුතු කලා. නමුත් ඒ බොහෝ රටවල් මෙවර අපට එරෙහිව ජන්දය පාවිච්චි කර තිබෙනවා. එසේත් නැත්නම් ජන්දයදීමෙන් වැලකී තිබෙනවා. එය අපටත් මහත් වේදනාවක්. එහෙත් සිදුවූ දෙය පිළිබදව අපට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා රටක් ලෙස අද අප කලයුත්තේ ආඩපාලී කියමින් මේ රටේ ජනතාව රැවැට්ටවීම නොවේ. යථාර්තය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කිරීමයි. නූතන ලෝකයේ අප වැනි රටකට තබා කිසිම රටකට තනිවම සිටගත නොහැකියි. අප සෑම විටම සිටගත යුත්තේ අපේ සාම්ප්‍රදායික මිත්‍ර රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් ය.

20න් පස්සේ හිතුමතේ වැඩ

ඒ වගේම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප නැවත නැවතත් අවධාරණය කරන කරුණක් තිබෙනවා. එනම් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද  අප රට මේ තරම් දුර්වල කිරීමට 20 වන සංශෝධනය ද ප්‍රමුඛ හේතුවක් වූ බවයි. මේ රටේ මහජනතාව කෙරෙහි වගකීමකින් යුතුව කටයුතු කරන්නට බැඳී සිටි සෑම ආයතනයක්ම 20 වන සංශෝධනය නිසා එක බලයක රූකඩ බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි එම ආයතනවල පැවැති ගරුත්වය දියාරු වී තිබෙනවා. අද මේ රටේ දේශපාලකයන්ට ඇතැම් පොලිස් ඒකක වසා දමන්නට හා උසස් පොලිස් නිලධාරින් හිතුමතයට අනුව මාරු කරන්නට හැකිවී තිබෙන්නේ ඒ නිසයි. මෙවැනි පසුබිමක පොලිස් කොමිසමක් පවත්වාගෙන යාමේ තේරුමක් නැහැ. තම දේශපාලන ගජමිත්‍රයන් හරහා මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස් හා අල්ලස් කොමිසම වැනි කොමිෂන් සභා මෙහෙයවිය හැකි නම් එවැනි රටක නිදහස් හා සාධාරණ මැතිවරණ අපේක්ෂා කරන්න පුලුවන් ද? රාජ්‍ය සේවය මහජන හිතකාමී වේවි ද? පොලිස් සේවය සාධාරණව ක්‍රියාත්මක වේවි ද? එවැනි රටක දූෂණය හා අල්ලස තුරන් වෙයි ද? විශේෂයෙන්ම අපකීර්තිමත් පුද්ගලයන් යොදාගනිමින් ලබාගන්නා වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ද ඉහලින් තීන්දු තීරණ දෙන රටක ස්වාධීන අධිකරණයක් පවතීවි ද? අප රට තුළ අද වනවිට සිදුවෙමින් පවතින දැවැන්ත ගරා වැටීමට පමණක් නොව ජිනීවා හි දී යෝජනා වී ඇති ඇතැම් කරුණු කාරණාවලටද එම තත්වය හේතු වී තිබෙනවා.

එමෙන්ම සිදුකර ඇති සමාජ සමීක්ෂණවලට අනුව මේ රටේ ජනාතාවගෙන් 81%ක් පමණ 20 වන සංශෝධනය අනුමත කරන්නේ නැහැ. මේ රටේ සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයන්ගෙන් අති බහුතරයක් 20 වන සංශෝධනය පිළිගන්නේ නැහැ.

ඒ නිසා ශ්‍රී ලංකාව නැවත ශක්තිමත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය වෙත යොමුකරවන්නට නම් 20 වන සංශෝධනය අහෝසි කල යුතුමයි. අප එය ස්ථිරසාර ලෙස කියා සිටිනවා. ඒවගේම රජයේ අවධානය ද ඒ කෙරෙහි යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.

මාධ්‍ය නැත්නම් කන්නේ විෂ පොල් කෙල්

මේ සතියේ වාර්තා වූ තවත් කනගාටුදායක සිද්ධියක් වූයේ විෂ සහිත පොල්තෙල් සොයා ගැනීමයි. මාධ්‍යයට පින්සිදුවන්නට මේ රටේ ජනතාව ඒ ගැන දැනුවත් වුණා. ඊට වගකිවයුතු ප්‍රමුඛ පුද්ගලයන්ට එරෙහිව මේ මොහොත වන තුරුත් නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්ට නැහැ. මෙම විෂකාරක ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීම පමණක් විසදුමක් නොවේ. එවැනි විෂ ආහාර ගෙනවිත් මේ රටේ අහිංසක ජනතාව විනාශ කරන්නට මාන බැලූ අයට මෙන්ම ඒ තුළ තම මඩි තරකරගන්නට උත්සහ කල අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කල යුතුය.

රට කරන දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ සහාය නොමැතිව මෙවැනි ද්‍රව්‍ය රට තුළට ගෙනඑන්නට බැහැ. මේවා මහා ජාතික අපරාධ.

මහා සීනි මංකොල්ලය

සිනී වංචාවද ඇතුළු මහා පරිමාණයේ දූෂණ හා වංචා පිළිබඳව දවසින් දවස විවිධාකාරයේ වාර්තා පලවෙමින් පවතිනවා. විශේෂයෙන් කෝප් කමිටුව, මුදල් කමිටුව හා භාණ්ඩාගාරය සීනි ආනයනයේ දී අක්‍රකමිතා සිදුවී ඇති බව පිළිගෙන තිබෙනවා. එම නිසා මේ ගැන පූර්ණ බලැති පරීක්ෂණයක් සිදුකල යුතුයි. ඒ බව වාර කිහිපයකදීම අප ජනාධිපතිතුමාට යෝජනා කලා. ඇත්ත වශයෙන්ම සීනි වංචාවෙන් සිදුව ඇති මගඩිය මහ බැංකු වංචාවට වඩා විශාලයි. අඩුම වශයෙන් මහා බැංකු වංචාවට අදාල චූදිතයන්ගේ බැංකු ගිණුම්වල පැවැති මුදල් අද වනවිට රාජ්‍ය භාරයට පත්කර ඇති නිසා ඒ මුදල් කිසිවෙකු අතට යන්නේ නැහැ. නමුත් සීනි වංචාවෙන් ගසා කෑමට ලක්ව ඇති මුදල අද වනවිටත් වංචාකරුවන්ගේ සාක්කුවලට දමාගෙන හමාරයි.

මුලු රටේම වාර්ෂික සීනි අවශ්‍යතාවය ටොන් 650,000 පමණයි. එයින් ටොන් 50,000 පමණ දේශීයව නිෂ්පාදනය වෙනවා. අද ටොන් එකක අන්තර්ජාතික මිල ඩොලර් 465ක් පමණ වෙනවා. ඒ අනුව සීනි කිලෝ එකක් රු 96 ක් පමණ විය යුතුයි.

අපේ අවශ්‍යතාවය මසකට ටොන් 50,000 ක් නම් ටොන් ලක්‍ෂගනණක් ආනයනය කර මේ දුෂ්කර අවස්ථාවේ අපේ විදේශ විනිමය නාස්ති කලේ ඇයි? මේවා භාණ්ඩාගාරයේ අවධානය යොමුවිය යුතු කරුණු වෙනවා.

අප තවත් ලැජ්ජාවිය යුතු කරුණක් ගැන සඳහන් කළ යුතුයි. 1980 දශකයේදී සීනි සංයුක්ත මණ්ඩලයට අයත් හිගුරාන,කන්තලේ හා සෙවනගල, පැලවත්ත යන සීනි සමාගම්වලින් වර්තමානයට වඩා එදා සීනි නිෂ්පාදනය කර තිබෙනවා. එමඟින් පැහැදිලි වන්නේ කුමක් ද? මේ රටේ දේශපාලකයන් අද මවාපාන්නා වූ සුන්දර තත්වය රට තුළ නොමැති බවයි. එදා දේශීය වශයෙන් ඉහල සීනි නිෂ්පාදනයක් රටතුළ සිදු වුණේ එවකට පැවැති සීනි ආනයනකරුවන්ගේ සංගමය, සීනි නිෂ්පාදකයින්ගේ සංගමය, භාණ්ඩාගාරය හා වෙලඳ අමාත්‍යාංශය එකිනෙකා සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩකල නිසායි. මේ කරුණු බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුදුසු පියවර ගැනීමට තවමත් පරක්කු නැහැ.

පරිසර විනාශයේ බලවත් හස්ත

මේ දිනවල පරිසර විනාශය ගැන රටේ මහත් උනන්දුවක් ඇතිවෙමින් තිබෙනවා. පරිසරවේදීන්ට අමතරව සමාජයේ විවිධ අංශවලින් පෙන්වන උනන්දුව අනාගත සුබ ලකුණු සේ අපි දකිනවා. මේ සියල්ලටම වඩා අපි සන්තෝෂවන්නේ පාසැල් දරුවන් හා තරුණ තරුණියන් ඒ කෙරෙහි දක්වන උනන්දුව පිළිබඳව යි. ඔවුන් පෙන්වන කැපවීම හා උද්‍යෝගය අතිවිශිෂ්ඨයි.

එහෙත් රජයේ නිසි අවධානය ඒ කෙරෙහි යොමුවී තිබෙනවා ද? මේ රටේ පරිසර විනාශයක් සිදුවන්නේ නම් ඒ ගැන රජයේ නිළධාරීන් වගකිව යුතු බවත් ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවියයුතුව ඇති බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව පසුගිය දා ජනමාධ්‍ය මඟින් වාර්තා කර තිබුණා. මෙහිදී අපි ජනාධිපතිතුමාට කිව යුත්තේ මෙම බොහෝ පරිසර දූෂණයන් පසුපස බලවත් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ඒ නිසා අද දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු බොහෝ රජයේ නිලධාරීන් බලවත් ලෙස අසරණ වී සිටිනවා. ඔවුන් ඒ බව අප සංවිධානය වෙතද කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව රට තුළ සිදුවන මෙම දැවැන්ත පරිසර විනාශය නවතාලීමට නම් අද වනවිට රාජ්‍ය නිලධාරීන්ට එල්ල වෙමින් පවතින දේශපාලන බලපෑම් නවතාලිය යුතුයි. එය ජනාධිපතිතුමාට කළ හැකියි.
2021-04-01 වනදින කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ජාවේදී ගරු සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් පළකරන ලද අදහස්  ඇසුරෙනි.

Archive

Latest news

Related news