රුසියානු කවියෙකු හා ලේඛකයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ඔහුගේ නවකතාව වන ඩොක්ටර් ෂිවාගෝ නවකතාව සඳහා ප්‍රසිද්ධය. 1958 දී ඔහුට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී. පැස්ටර්නැක්ගේ සමස්ත සාහිත්‍ය ජීවිතය රුසියානු සංස්කෘතික හා සමාජ ජීවිතයේ නිරන්තර වෙනස්වීම් වලට සංකීර්ණ හා උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය. ඔහු රුසියානු සාහිත්‍යයේ පරිණාමය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. පැස්ටර්නැක් අද දක්වා රුසියානු සාහිත්‍යයේ ප්‍රධාන චරිතයක් ලෙස පවතී.
බොරිස් ලියොනිඩොවිච් පැස්ටර්නැක් 1890 පෙබරවාරි 10 වන දින මොස්කව්හි ධනවත්, යුදෙව් පවුලක උපත ලැබීය. පැස්ටර්නැක්ගේ පවුල රුසියානු ඕතඩොක්ස් ක්‍රමයට හැරී තිබුණි. ඔහු කුඩා කාලයේදී ඕතඩොක්ස් පල්ලියේ බව්තීස්ම වූ අතර පසුකාලීන ජීවිතයේ දී ඕතඩොක්ස් පල්ලියේ ක්‍රියාකාරී අනුගාමිකයෙකු බවට පත්විය. ඔහුගේ පියා ලියොනිඩ් චිත්‍ර ශිල්පියෙකි, ඔහුගේ මව රොසාලියා සුප්‍රසිද්ධ ප්‍රසංග පියානෝ වාදක ශිල්පිනියකි. ඔහුගේ දෙමාපියන් ලියෝ ටෝල්ස්ටෝයි සමඟ සමීප මිතුරන් වූහ. පැස්ටර්නැක් හැදී වැඩුණේ කලාව හා සංගීතය බහුල පරිසරයක ය. පවුලේ නිරන්තර අමුත්තන් අතර ටෝල්ස්ටෝයි, රච්මනිනොව් සහ ස්ක්‍රියාබින් ද වූ අතර ඔවුන් පැස්ටර්නැක්ට ප්‍රබල බලපෑමක් කළේය. පැස්ටර්නැක් මුලින් සංගීත රචකයෙකු වීමට තීරණය කළ නමුත් අවසානයේ ජර්මනියේ දර්ශනය හැදෑරීම සඳහා සංගීතය අතහැර දැමීය. 1912 දී ඔහු ජර්මනියේ මාබර්ග් විශ්ව විද්‍යාලයට ගොස් දර්ශනය හැදෑරීය. පැස්ටර්නැක්, දාර්ශනිකයන් වන හර්මන් කොහෙන් සහ නිකොලායි හාර්ට්මන්ගේ සිසුවෙකු විය. දර්ශනය හැදෑරුවද ඔහු ඒ වන විටත් කවි ලිවීමට පටන් ගෙන තිබුණි.
රුසියානු විප්ලවය සහ බොර්ස් පැස්ටර්නැක්
පැස්ටර්නැක් උපත ලැබුවේ “පුනරාවර්තන ආර්ථික අර්බුද සහ දේශපාලන මර්දනය, විසම්මුතිය පිරි ලෝකයක ය. 1917 රුසියානු විප්ලවය සිදු වන විට පැස්ටර්නැක් මොස්කව් බලා පිටත් විය. විප්ලවය නිසා බොහෝ රුසියානුවන්ට සංක්‍රමණය වීම හෝ නව බොල්‍ෂෙවික් පිළිවෙල අනුව ජීවත් වීම තෝරා ගැනීමට සිදු විය. ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ජර්මනියට සංක්‍රමණය වූවද පැස්ටර්නැක් රුසියාවේ රැඳී සිටීමට තීරණය කළේය. බොරිස් පැස්ටර්නැක් 1922 දී ජර්මනියේ පිහිටි ඔහුගේ පවුල බැලීමට ගිය නමුත් නැවත රුසියාවට යාමට තීරණය කළේය. ඔහු නැවත කිසි දිනෙක තම දෙමාපියන් දුටුවේ නැත. නව ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය ගැන පැස්ටර්නැක් බියට පත් වුවද ඔහු විප්ලවයට සහාය දැක්වීය. විප්ලවය ගැන සක්‍රිය උනන්දුවක් නොදැක්වූ පැස්ටර්නැක් රුසියාවේ රැඳී සිටියේ මොස්කව්හි ජනාකීර්ණ මහල් නිවාසයක ය. අගනුවර අවුල් සහගත වාතාවරණය නිසා ඔහුට පිටස්තර ගම්බද ප්‍රදේශයකට යාමට සිදුවිය.
විප්ලවයට පෙර රුසියාව කලාගාරයක්
විප්ලවයට පෙර රුසියාවේ විශාල බුද්ධිමය හා කලාත්මක පොහොසත්කමක් විය. ශතවර්ෂයේ ආරම්භයේ සිටම කවියන් හා දාර්ශනිකයන් නව පුනර්ජීවනයක් භුක්ති විඳිමින් සිටියහ. රුසියානු ඇවන්ගාඩ් කලාව බටහිර යුරෝපයේ නව ව්‍යාපාර සමඟ සමීපව සම්බන්ධ විය. බොරිස් පැස්ටර්නැක් මුලින්ම ඔහුගේ රුසියානු සමකාලීනයන් අතර ප්‍රමුඛ කවියෙකු ලෙස ස්ථානයක් ලබා ගත්තේය. ඔහු 1910 සහ 1920 ගණන් වලදී නූතනවාදී නැඹුරුවක් ඇති කවියෙකු ලෙස ඉස්මතු විය. තරුණ පැස්ටර්නැක් මහා කවි මායාකොව්ස්කිගේ බලපෑමට යටත් විය. පළමුවන ලෝක සංග්‍රාමයේදී පැස්ටර්නැක් මොස්කව්හි රැඳී සිටිමින් එම වසරේ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේය. ඔහුට කුඩා කාලයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙන්, පැස්ටර්නැක්ට හමුදාවේ සේවය කිරීමට නොහැකි වූ අතර එම නිසා ඔහු යූරල් කඳුකරයේ රසායනික කම්හලක සේවය සඳහා ගියේය.
1917 දී පැස්ටර්නැක් විසින් රචිත ” My Sister Life” විසිවන සියවසේ රුසියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද වඩාත්ම බලගතු කාව්‍ය එකතුවයි. ඔහුගේ කවි තරමක් පුද්ගලීක මුහුණුවරක් ගත් අතර එය එක් ගුරු කුලයකට හෝ ප්‍රවේශයකට අයත් නොවීය. පැස්ටර්නැක් සිය මුල් කාව්‍යය තුළින් සොබාදහමේ මනෝභාවයන් මෙන්ම ස්වාභාවික ලෝකයේ මිනිසාගේ ස්ථානය ද ගවේෂණය කරයි. 1917 රුසියානු විප්ලවයෙන් පසුව පැස්ටර්නැක් පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය. වසර පහක් ඇතුළත ඔහු තවත් කවි පොත් දෙකක් ප්‍රකාශයට පත් කර තිබුණි. ඔහුගේ පසුකාලීන කවි බොහොමයක ක්‍රිස්තියානි තේමාවන් තිබුණි.
පැස්ටර්නැක්ගේ නිර්මාණ වල පැවැත්මට ආමන්ත්‍රණය කරයි: සොබාදහම, ජීවිතය, මනුෂ්‍යත්වය සහ ආදරය ප්‍රධාන තේමාවන් වෙයි. පරිවර්තකයෙකු ලෙස ඔහු ෂේක්ස්පියර්ගේ ප්‍රධාන නාට්‍ය, ගොතේ, ෂිලර්, ක්ලෙයිස්ට් සහ බෙන් ජොන්සන්ගේ කෘති කිහිපයක් සහ පෙටෆි, වර්ලයින්, ස්වින්බර්න් සහ ෂෙලි ගේ කවි පරිවර්තනය කළේය.
මේ කාලයේදී කවියන් වන මායාකොව්ස්කි සහ යෙසෙනින් සියදිවි නසාගත් අතර හොඳම ලේඛකයින් හා කලාකරුවන් වන බාබෙල්, පිල්නියැක්, මැන්ඩෙල්ස්ටෑම්, ක්ලූයෙව්, වොරොන්ස්කි, මේයර්හෝල්ඩ් සහ අයිසන්ස්ටයින් පිටුවහල් කිරීමට ලක් වූහ.
ප්‍රමුඛ සෝවියට් කවියා, 1934
1934 දී, සෝවියට් ලේඛකයින්ගේ පළමු සම්මේලනයේදී, පැස්ටර්නැක් ප්‍රමුඛ සෝවියට් කවියා ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් ජෝසප් ස්ටාලින්ගේ මර්දනකාරී ප්‍රතිපත්ති තීව්‍ර වූ හෙයින් ඔහු ක්‍රමයෙන් මහජන ජීවිතයෙන් ඉවත් විය. සාහිත්‍යය ප්‍රබල දේශපාලන මෙවලමක් බව ස්ටාලින් පැහැදිලිවම විශ්වාස කළ අතර සෝවියට් සංගමයට ද්‍රෝහී යැයි සැලකෙන ලේඛකයින් ඉවත් කිරීම ඔහුගේ වෑයම විය. මිනිස් ආත්මයේ ඉංජිනේරුවන් විය යුතු බව ඔහු කීවේය. ඔහු සංස්කෘතිය සඳහා මිලිටරි රූපකයක් භාවිතා කළ අතර පොත් “උපායමාර්ගික ප්‍රචාරණයේ වැදගත්ම අවිය” ලෙස නම් කළේය.
මේ කාලයේදී කවියන් වන මායාකොව්ස්කි සහ යෙසෙනින් සියදිවි නසාගත් අතර හොඳම ලේඛකයින් හා කලාකරුවන් වන බාබෙල්, පිල්නියැක්, මැන්ඩෙල්ස්ටෑම්, ක්ලූයෙව්, වොරොන්ස්කි, මේයර්හෝල්ඩ් සහ අයිසන්ස්ටයින් පිටුවහල් කිරීමට ලක් වූහ. මේ නිසා පැස්ටර්නැක් කොමියුනිස්ට් පරමාදර්ශයන් කෙරෙහි ක්‍රමයෙන් කලකිරීමට පත් විය. ඔහුගේ හොඳ මිතුරා වූ ඔසිප් මැන්ඩෙල්ස්ටම් අත් අඩංගුවට ගෙන අතුරුදහන් කල විට පැස්ටර්නැක් වඩාත් කලකිරීමට පත් විය. ස්ටාලින් ගේ නියෝග මත ඔසිප් මැන්ඩෙල්ස්ටම් කවියා මරා දමන ලද බව පසුව වාර්තා විය.
ස්ටාලින්ගේ බිහිසුණූ මර්දනය
බොරිස් පැස්ටර්නැක් සමහර විට සෙසු ලේඛකයින් ඛේදජනක ඉරණමකට මුහුණ දෙමින් සිටියදී ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් මිනිසෙකු ලෙස හැඳින්වේ. ස්ටාලින් ගේ මිනීමරු හස්තය ඔහු කෙරේ යොමුවී තිබුනද ස්ටාලින් පැස්ටර්නැක් කෙරෙහි දැරුවේ උදාසීන ආකල්පයකි. පැස්ටර්නැක්ගේ එක් මිතුරෙකු පසුව පැවසුවේ පැස්ටර්නැක් දිවි ගලවා ගත්තේ ස්ටාලින් පැස්ටර්නැක් මෝඩයෙකු ලෙස සිතූ නිසාය. එහෙත් පැස්ටර්නැක්ගේ මිතුරිය වූ ඔල්ගා ඉවින්ස්කායා 1949 දී වසර තුනකට ගුලාග් වෙත යවනු ලැබුවේ පැස්ටර්නැක් හට දඞුවමක් ලෙසටය. පැස්ටර්නැක්ට එරෙහිව සාක්ෂි දීම ඔල්ගා ඉවින්ස්කායා ප්‍රතික්‍ෂේප කළ අතර ඇය සෝවියට් බන්ධනාගාර කඳවුරුවල වසර අටක් ගත කළාය. 1953 මාර්තු 5 වන දින ස්ටාලින් මිය ගිය අතර සමහර ගුලාග් සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමෙන් ඔල්ගාට නැවත මොස්කව් බලා යාමට හැකි විය. නමුත් බොරිස් පැස්ටර්නැක්ගේ මරණයෙන් පසුව යළිත් වරක් ඔල්ගාව අතඩංගුවට ගනු ලැබීය.
බොරිස් පැස්ටර්නැක්ගේ The Last Summer (1934) නවකතාව 1915-16 ශීත කාලය තම සහෝදරියගේ පවුලේ අය සමඟ යූරල් කඳු පාමුල ගත කළ තරුණ මුස්කොවයිට් සෙරීෂාගේ මතකයන් විස්තර කරයි. වෙහෙසට පත්ව සිටින මිනිසෙක් ආපසු සිය යූරල්ස්හි නිවෙස කරා යන දිගු ගමනක දී යුද්ධයට පෙර පසුගිය ගිම්හානයේ මතකයන් වෙතට ගමන් කරයි. යුද්ධයට පෙර ගිම්හානයේදී අවට ලෝකය වෙනස් ලෙස ඔහු දැක තිබුණි. සෙරීෂා සතුටින් නොසිටින අතර, යුද්ධයේ කැළැල් ඔහුගේ මතකයන්ට එකතු වෙයි. මෙම නවකතාව එය වර්ජිනියා වුල්ෆ්ගේ ජාකොබ් ගේ කාමරය වැනි බොහෝ අදහස් එකතුවකි.
රුසියානු සාහිත්‍ය කතිකාවේ පරිවර්තකයෙකු ලෙස බොරිස් පැස්ටර්නැක්ගේ අනන්‍යතාව තවමත් ගැඹුරින් සනිටුහන් වී නොමැත. ඔහු ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය කෘති රැසක් පරිවර්තනය කලේය. ඔහු ගොතේගේ විශිෂ්ටතම පරිවර්තකයා බවට පත් විය. තවද ෂේක්ස්පියර්ගේ නිර්මාණ රුසියානු පාඨකයන්ට ලඟා කරවීම සඳහා ඔහු විශේෂ මෙහෙයක් සිදු කලේය. බොරිස් පැස්ටර්නැක් ෂේක්ස්පියර් පරිවර්තනය කිරීමේදී තම අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් සොයා ගත්තේය. තමාගේම කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වූ පැස්ටර්නැක්ට අවුරුදු තුන්සියයකට ඉහතදී මියගිය මිනිසෙකුගේ මුවින් හෝ අවම වශයෙන් කතා කිරීමට හැකි විය.පැස්ටර්නැක්ගේ පරිවර්තන අනෙක් කලාකරුවන්ට ආස්වාදයක් ලබා දුන්නේය. ෂේක්ස්පියර්ගේ පරිවර්තන සම්බන්ධව බොරිස් පැස්ටර්නැක්ගේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් හා විද්වතුන් සමඟ ඇති සම්බන්ධතාවය පසුකාලයක ඩොක්ටර් ෂිවාගෝ නවකතාව විදේශයක ප්‍රකාශයට පත් කිරීමට උපකාර විය.
දෙවන ලෝක සංග්‍රාමයේ පැමිණීම නිසා බොහෝ දෙනා විශ්වාස කළේ ස්ටාලින්ගේ ඝාතන කිරීම් අවසන් වනු ඇතැයි කියාය, නමුත් ඊළඟ වසරවලදී දහස් ගණනක් ගුලාග් වල සිරගත කෙරුනි. මේ කාලය තුලදී ස්ටාලින් විසින් කලාව මර්දනය කිරීම ආරම්භ කොට තිබූ අතර පැස්ටර්නැක්ගේ මිතුරන් සහ සගයන් බොහෝ දෙනෙකු සිරගත කිරීම හෝ මරණිය දණ්ඩනයට පත් කරන ලදි. මෙම අඳුරු යුගයේදී ඔහු ඩොක්ටර් ෂිවාගෝ නවකතාවේ වැඩ කටයුතු ආරම්භ කළේය. ෂිවාගෝ යනු රුසියානු භාෂාවෙන් “ජීවිතය” යන්නයි. මෙම කෘතියේ දී පැස්ටර්නැක් දේශපාලනය හා ආගම පිළිබඳ සිය සැබෑ හැඟීම් සහ අදහස් ප්‍රකාශ කළේය. පැස්ටර්නැක්ගේ පෞද්ගලික අත්දැකීම් හා විශ්වාසයන්ගෙන් උපුටා ගත් මෙම නවකතාව 1917 කොමියුනිස්ට් විප්ලවයට හසු වී අවසානයේදී විනාශ වූ කවියෙකු හා වෛද්‍යවරයකු වන යූරි ෂිවාගෝ නිරූපණය කිරීම සඳහා සංකීර්ණ සංකේත, නිරූපණ සහ ආඛ්‍යාන ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනී.
ඩොක්ටර් ෂිවාගෝ නවකතාව විප්ලවීය වෙනසක යුගයේ පුද්ගලයෙකුගේ ඉරණම පිළිබඳව සාකච්ඡා කරයි. එය සංකේතාත්මක කෘතියකි. නවකතාව පුරා ජීවිතය හා මරණය, ජීවත්වීම සහ මිය යාම, සත්‍ය සහ අසත්‍ය, මානුෂීය හා මානව විරෝධීභාවය ඉස්මතු කරයි.
ඩොක්ටර් ෂිවාගෝ (1957)
1905 රුසියානු විප්ලවය සහ දෙවන ලෝක යුද්ධය අතර සිදුවන නවකතාවක් වන ඩොක්ටර් ෂිවාගෝ (1957) රුසියානු විප්ලවයේ කටුක බව සහ එහි ප්‍රතිඑල මධ්‍යයේ ඉබාගාතේ යාම, අධ්‍යාත්මික හුදකලාව හා ප්‍රේමය පිළිබඳ කතාවකි. 19 වන සියවසේ සුප්‍රසිද්ධ රුසියානු සම්භාව්‍යයන් සිහිපත් කරන ඩොක්ටර් ෂිවාගෝ 20 වන සියවසේ ස්වයං-පරාවර්තක නවකතාවකි. එහි කේන්ද්‍රීය විෂය වන්නේ කලාකරුවා සහ කලාවයි. නවකතාව ෂිවාගෝගේ ළමා අවදියේ සිට 1900 දී පමණ 1905 විප්ලවය, පළමුවන ලෝක සංග්‍රාමය, 1917 විප්ලවය සහ සිවිල් යුද්ධය (1918-20) හරහා 1929 දී ඔහු මොස්කව්හිදී හෘදයාබාධයකින් මියගිය ආකාරය විස්තර කරයි. පැස්ටර්නැක් වසර 20 කට ආසන්න කාලයක් නවකතාව සඳහා වැඩ කළ අතර අවසානයේ එය 1955 දී අවසන් කළේය.
ඩොක්ටර් ෂිවාගෝ නවකතාව විප්ලවීය වෙනසක යුගයේ පුද්ගලයෙකුගේ ඉරණම පිළිබඳව සාකච්ඡා කරයි. එය සංකේතාත්මක කෘතියකි. නවකතාව පුරා ජීවිතය හා මරණය, ජීවත්වීම සහ මිය යාම, සත්‍ය සහ අසත්‍ය, මානුෂීය හා මානව විරෝධීභාවය ඉස්මතු කරයි. පැස්ටර්නැක්ට අනුව මිනිසාගේ ඉරණම ඔහු ජීවත් විය යුතු ඓතිහාසික යුගයට එක එල්ලේ සම්බන්ධ නොවේ. “ඩොක්ටර් ෂිවාගෝ” නවකතාව එහි කතුවරයාගේ අධ්‍යාත්මික චරිතාපදානයක් බවට පත්වන්නේ යූරි ෂිවාගෝගේ ඉරණම එහි නිර්මාතෘගේ ජීවිතය හා අධ්‍යාත්මික මාවත තුළට බැඳී ඇති බැවිනි. අනෙක් අතට “ඩොක්ටර් ෂිවාගෝ” යනු දේශපාලන නවකතාවකි. එබැවින් එහි තක්සේරුව ආරම්භ විය යුත්තේ එහි දේශපාලන පණිවිඩය විශ්ලේෂණය කිරීමෙනි. කතුවරයා බොහෝ දුරට ඔහුගේම ප්‍රක්‍ෂේපණය වන ඔහුගේ ප්‍රධාන චරිතය සහ විප්ලවය පිළිබඳ ඔවුන්ගේ ආකල්පය පිළිබඳව දීර්ඝ ලෙස කථා කරයි. බොල්ශවික් විප්ලවය විසින් මිනිස් පෞරුෂයට කර ඇති ප්‍රචණ්ඩත්වය කතුවරයා පෙන්වා දෙයි.
නවකතාවේ ප්‍රධාන චරිතය යූරි ෂිවාගෝ වුවද, වික්ටර් කොමරොව්ස්කි, පාෂා ඇන්ටිපොව් සහ යූරි ෂිවාගෝ යන මිනිසුන් තිදෙනා අතර අරගලයක කේන්ද්‍රය වන්නේ ලාරා ය. ෂිවාගෝ සහ පාෂා එකම කාන්තාව සමඟ ආදරයෙන් බැඳී සිටින අතර, ස්ථාවරත්වයක් සෙවීම සඳහා මෙම අස්ථාවර කාලවලදී රුසියාව හරහා ගමන් කරති. යූරි ෂිවාගොව් කැලඹිලි සහිත යුගයකදී කාන්තාවන් දෙදෙනෙකුට ආදරය කළ කවියෙකි. ලාරා සහ ෂිවාගෝ පළමු වරට මුණගැසෙන්නේ පළමු ලෝක යුද්ධයේදී රුසියානු පෙරමුණේ සේවය කරමින් සිටියදීය. ඔවුන් ආදරයෙන් බැඳී සිටියත්, වසර ගණනාවකට පසු ඔවුන් යළිත් යූරියාටින් නම් කුඩා නගරයේ දී හමු වී ඔවුන්ගේ සම්බන්ධතාවය යළි පණ ගන්වති. ටෝනියා සමඟ යූරි ෂිවාගෝ ගේ පළමු විවාහය, ආශාවකින් නොව මිත්‍රත්වයෙන් උපත ලැබූ එකකි. එක් අතකින්, ටෝනියා ෂිවාගෝ ගේ අහිමි වූ මවගේ චරිතය රඟ දක්වන්නීය. ඔහුට කිසි විටෙකත් ඇය සමඟ සැබෑ සතුටක් සොයාගත නොහැකි විය.
වික්ටර් කොමරොව්ස්කි දූෂිත නීතීඥයෙකි. යූරි ෂිවාගෝගේ පියාගේ දිවි නසා ගැනීමට කොමරොව්ස්කි ද හේතු කාරකයක් විය. දුරාචාර මිනිසෙකු සහ අවස්ථාවාදියෙකු වන වික්ටර් කොමරොව්ස්කි ලාරාව වයින් වලින් මත් කොට අපයෝජනක කලේය. කමරෝව්ස්කි ලාරාගේ මවගේ අනියම් සැමියාද විය. තම දියණිය කොමරොව්ස්කි සමඟ ඇති සම්බන්ධය ගැන ලාරාගේ මව දැනගත් පසු ඇය සියදිවි නසා ගැනීමට තැත් කරන අතර, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ ෂිවාගෝ විසිනි. කොමරොව්ස්කි යූරි ෂිවාගෝගේ ප්‍රතිවිරුද්ධ චරිතය වෙයි. කොමරොව්ස්කි ලාරා ගේ සහ යූරි ගේ ලාබාල දියණිය මොංගෝලියාවේදී අතරමං කොට දැමීය.
“විප්ලවයට පෞද්ගලික හැඟීම් සඳහා ඉඩක් නැත”
පාෂා ඇන්ටිපොව්, ස්ට්‍රෙල්නිකොව් යන අන්වර්ථ නාමය යටතේ රුසියානු විප්ලවය තුළ සටන් වදින අතර අවසානයේදී ඔහු දිවි නසා ගනියි. විප්ලවයට පෞද්ගලික හැඟීම් සඳහා ඉඩක් නැත. රුසියාවේ පුද්ගලික ජීවිතය මිය ගොස් ඇති බව යූරි ෂිවාගෝව අනපේක්‍ෂිතව හමුවූ විට ස්ට්‍රෙල්නිකොව් පවසයි. යූරි ෂිවාගෝ යනු සම්භාව්‍ය ඛේදනීය වීරයෙකි. යූරි ෂිවාගෝ ගේ ජීවිතයේ කතාව ආරම්භ වන්නේ අවාසනාවෙනි. ෂිවාගෝ සාගින්නෙන් හා හිංසා පීඩා යටතේ දිවි ගලවා ගැනීමට අරගල කළ යුතු අතර යුද්ධයේ ම්ලේච්ඡ ක්‍රියාවලට සහභාගී වීමට ඔහුට බල කෙරෙයි. යූරිගේ ජීවිත කාලය තුළ රුසියාවේ නූතන ඉතිහාසය හෙළි වේ. ඔහු සාර්වාදී පාලනය යටතේ උපත ලැබුවද පළමු ලෝක යුද්ධය, විප්ලවය සහ සිවිල් යුද්ධය හරහා ජීවත් වේ. අවසානයේ ඔහුගේ ජීවිතය සංලක්‍ෂිත වන්නේ අන්ධකාර කාලයන්ගෙන් වට වූ සන්තෝෂයේ කෙටි අවස්ථාවන් මගිනි. ඔහුගේ සියලු විශ්වාසයන් අභියෝගයට ලක්ව ඇති බව ඔහුට පෙනේ. යූරි ෂිවාගෝ 1929 දී මොස්කව් වීදියක හෘදයාබාධයකින් මිය යයි. ලාරා ගුලග් කඳවුරක මියගොස් හෝ අතුරුදහන් වූවාය. එම යුගයේදී එය බොහෝ දෙනෙකුගේ ඉරණම විය.
කතුවරයා මෙම චරිත හරහා සෝවියට් දේශයේ සමාජ, ඓතිහාසික හා දේශපාලන ප්‍රවණතා විශ්ලේෂණය කිරීමට උත්සාහ කළේය. නවකතාව පුරාම පැහැදිලිව පෙනෙන පැස්ටර්නැක්ගේ ප්‍රධාන තර්කය නම් විප්ලව, ඉතිහාසය සහ ආත්ම රහිත රාජ්‍යයන් සහ ඔවුන්ගේ දේශපාලන මතවාදයන් ජීවිතයට හා මනුෂ්‍යත්වයට වඩා බෙහෙවින් අඩු වැදගත්කමක් ඇති බවයි.
පැස්ටර්නැක් යනු විශිෂ්ට රූප රචකයෙකි. ඔහුගේ නවකතාව මානවවාදයෙන් පිරී ඇති අතර පැස්ටර්නැක් චරිත නිරූපණය කාව්‍යමය දර්ශනයකින් ඉදිරිපත් කරයි. ඔහු 1917 දී දැවැන්ත සමාජ වෙනස්කම් මානව කැලිඩෝස්කෝපයකින් දුටුවේය. එය රුසියානු ජීවිත රුසියානු විප්ලවය සහ මුල් සෝවියට් යුගය පිළිබඳ සටහනකි. නවකතාව හරහා කතුවරයා රුසියානු විප්ලවය තුළ හා පසුව සිදු වූ සමාජ කැලඹීම් සහ රුසියානු ඉහළ මධ්‍යම පංතිය විනාශ වූ ආකාරය විස්තර කරයි. යූරි ෂිවාගෝ පුද්ගලික ඛේදවාචක මෙන්ම සාමූහික ඛේදවාචක වලට මුහුණ දුන්නේය. පැස්ටර්නැක් නවකතාව තුලින් පුද්ගලයාගේ, ජීවිතයේ සහ මනුෂ්‍යත්වයේ වැදගත්කම ප්‍රකාශ කළේය. ඇතැම් විචාරකයෝ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව සෝවියට් ජීවිතයේ දුක්ඛිත යථාර්ථයන්ට හසුවූ කවියෙකුගේ ගීතමය චරිතාපදානයක් ලෙස නම් කරති.
කලාව ආත්මයට ද්වාරයක්
කලාව ආත්මයට ද්වාරයක් විය යුතු බවත් එය ස්වයංව හෙළි කළ යුතු බවත් පැස්ටර්නැක් තරයේ විශ්වාස කළ අතර සෝවියට් රජය කලාව දේශපාලන පරමාදර්ශ ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකීය. නවකතාව සමාජයේ ප්‍රගතියට වඩා පුද්ගල චරිතවල සුභසාධනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම සහ ස්ටැලින්වාදය විවේචනය කිරීම මෙන්ම ගුලාග් වධක ශ්‍රම කඳවුරු ගැන සඳහන් කිරීම නිසා එය බලධාරීන් ගේ විරෝධයට ලක් විය.
පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව වාරණයට ලක් කරන ලද්දේ එය සමාජවාදී යථාර්ථවාදය ප්‍රතික්‍ෂේප කිරීම නිසාය. සමාජවාදී යථාර්ථවාදය සාහිත්‍යයට යොදා ගනිමින් 1934 දී සෝවියට් ලේඛකයින්ගේ සංගමය ප්‍රකාශ කළේ “සෝවියට් සාහිත්‍යයේ හා සාහිත්‍ය විචාරයේ මූලික ක්‍රමය සමාජවාදී යථාර්ථවාදයයි. එහි විප්ලවීය සංවර්ධනයේ යථාර්ථය සත්‍යවාදී, ඓතිහාසික සංයුක්ත ලෙස නිරූපණය කිරීම කලාකරුවාගෙන් ඉල්ලා සිටී. එපමණක් නොව, යථාර්ථයේ කලාත්මක නිරූපණයෙහි සත්‍යතාව සහ ඓතිහාසික එකඟතාව සමාජවාදයේ ආත්මය තුළ කම්කරුවන්ගේ දෘෂ්ටිවාදාත්මක පරිවර්තනය සහ අධ්‍යාපනය පිළිබඳ කර්තව්‍යය සමඟ සම්බන්ධ විය යුතුය. ”
පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව ඔවුන් ගේ පරාමිතිය තුලට නොගැලපිනි. එම නිසා නවකතාව ප්‍රතික්ශේප විය. මෙහිදී ඉතාලි මාධ්‍යවේදියෙකු වන සර්ජියෝ ඩී ඇන්ජෙලෝ ඩොක්ටර් ෂිවාගෝ ඉතාලියේ ප්‍රකාශයට පත් කිරීමට ඉදිරිපත් විය. නවකතාව 1958 දී ඉතාලියේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.
ඩොක්ටර් ෂිවාගෝ නවකතාවේ ආත්මය සමාජවාදී විප්ලවය නොපිළිගැනීම නිසා එය සෝවියට් දේශයේ ප්‍රති සෝවියට් නවකතාවක් ලෙස වර්ගීකරණයට ලක් විය. සෝවියට්වරු තර්ක කළේ මෙම පොත විප්ලවයට පෙර රුසියානු ඉහළ පංතිය ආදර හැඟීම් අවුස්සමින් සාර්වාදී තන්ත්‍රයට එරෙහිව සටන් කළ ගොවීන් හා කම්කරුවන් පහත් කොට සැලකූ බවයි. මේ නිසා සෝවියට් බලධාරීන් පැස්ටර්නැක් ගේ නවකතාව හැඳින්වූයේ “සාහිත්‍ය වල්පැලෑටියක්” ලෙසටය. නවකතාව සෝවියට් සංගමය තුළ තහනම් කරන ලද අතර පැස්ටර්නැක් සෝවියට් ලේඛකයින්ගේ සංගමයෙන් නෙරපා හරින ලදී. නවකතාව රජය විසින් හෙළා දකින විට පැස්ටර්නැක් විරෝධය “මම පැස්ටර්නැක් කියවා නැත, නමුත් මම ඔහුව හෙළා දකිමි” යන හාස්‍යජනක රුසියානු කියමනකට තුඩු දුන්නේය. ප්‍රගතිශීලී සාහිත්‍ය ලෝලීන් ” අපි ටෝල්ස්ටෝයි නෙරපා දැමුවෙමු, අපි ඩොස්ටොයෙව්ස්කි නොසලකා හැරියේය, දැන් අපි පැස්ටර්නැක්ව ප්‍රතික්‍ෂේප කරමු” යන්න පැවසූහ.
තහනම් වූ නෝබල් ත්‍යාගය
ධනවාදී කඳවුරේ රටවල් ඩොක්ටර් ෂිවාගෝ ,සෝවියට් දේශයට එරෙහි සංස්කෘතික අවියක් ලෙස භාවිතා කිරීමට අමතක කලේ නැත. 1958 දී පැස්ටර්නැක්ට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී. මෙය සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය කෝපයට පත් කළ අතර එම ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට බල කෙරුනි. නොබෙල් ත්‍යාගය ලබා ගැනීම සඳහා ස්ටොක්හෝම් නුවරට ගියහොත් ඔහුට සෝවියට් සංගමයට ඇතුළුවීම තහනම් කරන බව පැස්ටර්නැක්ට දන්වන ලදී. තම පවුලේ ආරක්ෂාව ගැන බියෙන් පැස්ටර්නැක් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. පැස්ටර්නැක් සෝවියට් ලේඛකයින්ගේ සංගමයෙන් නෙරපා හරින ලද අතර එමඟින් ඔහුගේ ජීවනෝපාය අහිමි විය. ඔහු පිටුවහල් කරන ලෙස ප්‍රසිද්ධ රැස්වීම් කැඳවීය. සමස්තය අනුමත නොකිරීම නිසා ඔහු විවේචනයට ලක් වූ අතර ආත්මාර්ථකාමියෙකු ලෙස සලකනු ලැබීය. ඔහුගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඔහුට ලැබුණු මෙම හුදකලාව පැස්ටර්නැක්ට පමණක් නොව අනෙකුත් කලාකරුවන්ට ද විනාශකාරී විය.
සෝවියට් රාජ්‍යය සමඟ පැස්ටර්නැක්ගේ සම්බන්ධතාවය සංකීර්ණ හා පරස්පර විරෝධී විය. විප්ලවයේ ආරම්භක ආධාරකරුවෙකු වුවද, 1920 ගණන්වල අග භාගය වන විට ඔහු මූලික වශයෙන් සෝවියට් රජය උසස් කිරීම සඳහා කලාව භාවිතා කිරීම ගැන කලකිරීමට පත් විය. තම කලාව රාජ්‍යයේ දේශපාලන ඉල්ලීම් අනුව සකස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පැස්ටර්නැක්ට හැඟුණි. පැස්ටර්නැක් සෝවියට් කොමියුනිස්ට්වාදය සමඟ එකඟ නොවීම දේශපාලනික නොව ඔහුගේ සෞන්දර්යාත්මක අදහස් මත පදනම් වූවකි. පන්ති අරගල න්‍යායකින් වර්ධනය වූ නිල සාහිත්‍ය මූලධර්ම ඔහුට සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි විය. පැස්ටර්නැක්ගේ මානවවාදී පණිවුඩය වූයේ සෑම පුද්ගලයෙකුටම පෞද්ගලික ජීවිතයකට හිමිකම් ඇති අතර මිනිසෙකු ලෙස ගෞරවය ලැබිය යුතු බවය. ඩොක්ටර් ෂිවාගෝ 1988 වන තෙක් රුසියාවේ තහනම් කරන ලද නවකතාවක් විය. 1987 දී සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස පැස්ටර්නැක් ගේ ගරුත්වය යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලදි. එසේම තම පියාගේ නොබෙල් පදක්කම ලබා ගැනීම සඳහා 1989 දෙසැම්බරයේ යෙව්ගිනි බොරිසොවිච් පැස්ටර්නැක්ට ස්ටොක්හෝම් වෙත යාමට අවසර ලැබුණි. පැස්ටර්නැක්ගේ පුතා නොබෙල් ත්‍යාගය තම පියා වෙනුවෙන් පිළිගත්තේය.
ඩොක්ටර් ෂිවාගෝ විසිවන සියවසේ ශ්‍රේෂ්ඨතම තම රුසියානු නවකතාව ලෙස බොහෝ දෙනා විසින් පිළිගෙන තිබේ. සමහරක් එය අතුරුදහන් වූ පරම්පරාවක් පිළිබඳ වෘත්තාන්තයක් ලෙසටද අර්ථ දක්වති. එය අර්ධ වශයෙන් ස්වයං චරිතාපදානය සහ අර්ධ වශයෙන් එපික් නවකතාවකි. පැස්ටර්නැක් ගේ ලිවීමේ රිද්මය ලර්මොන්ටොව් සහ රිල්කේ වැනි ලේඛකයින්ගේ අදහස් දැක්වීම් වලින් සමන්විත වෙයි. පැස්ටර්නැක් කිසි විටෙකත් ස්ටාලින්ගේ විචක්‍ෂණශීලී සහචරයින් අතර නොසිටි බව සත්‍යයකි. ඔහු කිසි විටෙකත් නිල වන්දනාවට හා සැමරීමට හිස නැමුවේ නැත. ඔහු කිසි විටෙකත් තම සාහිත්‍ය අඛණ්ඩතාව බලවත් කාර්‍ය භාරකරුවන්ට භාර දුන්නේ නැත. ස්ටාලින් යුගය පුරාම පැස්ටර්නැක්ගේ සදාචාරාත්මක ධෛර්‍යය නොවෙනස්ව තිබුනේය. නවකතාව “විප්ලවයෙන් පසු රුසියාවෙන් පිටතට පැමිණි පළමු බුද්ධිමත් කෘතිය” බව වීඑස් ප්‍රිචෙට් නිව් ස්ටේට්ස්මන් හි ලිවීය. විප්ලවය පිළිගත් නමුත් කිසි විටෙකත් කොමියුනිස්ට් උපකරණවලට අන්තර්ග්‍රහණය නොවූ රුසියානු බුද්ධිමතුන්ගේ නියෝජිතයෙකු ලෙස ෂිවාගෝ දැකිය හැකිය.
පැස්ටර්නැක්ගේ පශ්චාත්-ෂිවාගෝ කාව්‍යය තුළ ප්‍රේමය, අමරණීයභාවය සහ දෙවියන් වහන්සේ සමග සංහිඳියාව පිළිබඳ විශ්වීය ප්‍රශ්න සොයා බලයි. ඔහුගේ අවසාන කවි කැප කර ඇත්තේ ආදරය, නිදහස සහ දෙවියන් වහන්සේ සමග සංහිඳියාව සඳහා ය. පැස්ටර්නැක් 1960 මැයි 30 වන දින කලකිරුණු හා අපකීර්තියට පත් මිනිසෙකු මිය ගියේය. කතුවරයා මරණයෙන් පසු 1987 පෙබරවාරි 19 වන දින පැස්ටර්නැක්ව යළිත් යළිත් සෝවියට් ලේඛක සංගම ට ඇතුලත් කර ගන්නා ලදි. 1988 දී ඩොක්ටර් ෂිවාගෝ නවකතාව රුසියාවේ ප්‍රකාශයට පත් කරන ලදී. ඩොක්ටර් ෂිවාගෝ නවකතාව වර්තමානයේ රුසියාවේ 11 වන ශ්‍රේණියේ පාසල් විෂය මාලාවේ කොටසකි.
පුද්ගල දෘෂ්ටිවාදය සහ ස්ටාලින් ඉදිරිපත් කළ සාමූහික සාරධර්ම අතර සියුම් ලෙස ජීවිතය ගත කළ ලේඛක බොරිස් පැස්ටර්නැක්ගේ පැවැත්ම අතිශයින්ම දුෂ්කර විය. ඔහු ප්‍රජාව කෙරෙහි බලහත්කාර මතවාදයට වඩා නිදහස අගය කළේය. මේ නිසා බොරිස් පැස්ටර්නැක් සාහිත්‍යධරයෙකු ලෙස පමණක් නොව රුසියාවේ හෘදය සාක්‍ෂිය ලෙසද හැඳින්විය හැකිය.
Works Cited
Lazar Fleishman, Boris Pasternak, The Poet and his Politics (Cambridge, 1990)
Alexander Gladkov, Meetings with Pasternak (New York, 1977)
Edith Clowes (Ed.), Doctor Zhivago: A Critical Companion (Evanston, 1995)