Tuesday, April 23, 2024

ජනාධිපති රාජපක්ෂට අභියෝගයක්! ව්‍යාජ වෙබ් අඩවිය ගැන එන සෙනසුරාදා උත්තර දෙන්න! – අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයගේ කතාවේ යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන් එල්ලකර තිබෙනවා. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා. මාධ්‍ය නිදහස මම දීලා තිබෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට මම කිසිම බලපෑමක් කරලා නැහැ.” ඔහු බලපෑමක් කරලා නැහැ කියනවා. ඒකෙන් ඔහු ගම්‍ය කරන්නේ බලපෑමක් කරන්න අයිතියක් තියෙනවා කියලා. නෑ ඔහුට එහෙම අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන්න හෝ මාධ්‍ය ආයතන බියවද්දන්න අයිතියක් නැති බව ජනාධිපතිවරයා පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.

ඒ්වා මාත් ඒක්ක බැහැ!

දෙවනුව ඔහු කියනවා මාධ්‍ය නිදහස දීලා තියෙනවා කියලා. මාධ්‍ය නිදහස ජනාධිපතිවරයාගේ ලයිසන් එකක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදිය යුතු වරප්‍රසාදයක් නෙවෙයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ මේ රටේ පුරවැසියන්ගේත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්තිසහගත අයිතියයි. ඒක අයිතියක්. ඒක ජනාධිපතිවරයාගේ ලයිසන් එකකින් ලබාදෙන ලද නිදහසක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිසේසේ මේ රටේ මානව සංවර්ධනය පිළිබඳව අනාගතය පිළිබඳ කල්පනා කරන ලද ප්‍රගතිශීලී පුරවැසියන් විසින් අරගල කරලා අත්කරගෙන, ආරක්ෂා කර ගත් දෙයක්. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියලත් ඔහු කියනවා. ජනාධිපතිවරයා මාධ්‍යයට පාඩම් උගන්වන්න මොන සිහියෙන් යුතුව කතා කරනවාද කියලා මම දන්නේ නැහැ.

උගන්වපු බිහිසුනු පාඩම්

මෑත ඉතිහාසයේ මාධ්‍ය ආයතනවලට බිහිසුණු පාඩම් උගන්වපු තත්වයක් තිබෙනවා. ඒවා මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් අතිශය බිහිසුණුයි.

සිරස’ මාධ්‍ය ආයතනයට ක්ලේමෝ බෝම්බ දෙකක් එල්ල කොට මැදිරි සංකීර්ණය විනාශ කළා. එය සිරස මාධ්‍ය ආයතනයට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ඒ යුගයේ අධි ආරක්ෂක කලාපයක පිහිටා තිබූණු ‘ලීඩර්’ පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයට දෙපාරක් ගිනි තැබුවා. එය ඔවුන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. ‘සියත’ මාධ්‍ය ආයතනයට 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම බෝම්බ ගසා ගිනි තිබ්බා. එය ‘සියත’ මාධ්‍ය ආයතනය වෙත උගන්වන ලද බිහිසුණු පාඩමක්. ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළා. එය මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩමක්. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කළා. පෝද්දල ජයන්තව පැහැරගෙන ගොස් අතපය කඩලා කොණ්ඩෙ බාගෙට බූගාලා මහපාරේ දාලා ගියා. කීත්නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහරදීලා මාරාන්තික තුවාල සිදුකොට පාරේ දාලා ගියා. උපාලි තෙන්නකෝන් පැහැරගෙන පහරදීලා මහමග දාලා ගියා. ඒවා අපේ රටේ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්. ‘ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තිබ්බා.

ඒ මේ රටේ වෙබ් මාධ්‍ය ආයතනවලට උගන්වන ලද බිහිසුණු පාඩම්.

මේ යුගය වෙනස්

අපේ රටේ මාධ්‍ය ආයතනවලටත් මාධ්‍යවේදීන්ටත් මෑත ඉතිහාසයේ බිහිසුණු පාඩම් උගන්වා තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ “ඒවා මාත් එක්ක බෑ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා.” කියන දේ නූතන ජන මාධ්‍ය පිළිබඳව පාඨමාලාවක් නොවෙන්න පුළුවන්. මෙය ඍජුවම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්කකොට එල්ල කර තිබෙන බලපෑමක්. මේ කතාව කියන විගසම කියනවා, ඔහු එවැනි බලපෑමක් එල්ලකොට නැහැ කියලා. ජනාධිපතිවරයා ඉතා හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා මේ යුගය වෙනස් බව. පැරණි පාඩම්වලින්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට උගන්වන ලද බිහිසුණු පාඩම්වලින් ඒ යුගයේ පාලකයනුත් පාඩම් ඉගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. නැවත එවැනි බිහිසුණු පාඩම් මාධ්‍ය ආයතන වෙත හෝ මාධ්‍යවේදීන්ට ඉගැන්වීම සඳහා ජනාධිපතිවරයා උත්සුක වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඔහු ඒ සාකච්ඡාවේදී තුන්වැනි කරුණ හැටියට “දැන් මේ බලන්න. තව බොරු ප්‍රචාර ගෙනියනවා. ජේ.වී.පී. පරිසරවේදීන් කියන්නේ. සිංහරාජයේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා.” ෆේස් බුක් පිටුවක් උපුටා දක්වනවා. ‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ කියලා ෆේස් බුක් පිටුවකින් විවිධ බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන බව අපි දැක්කා. මේ පිටුව සතියකට ආසන්න කාලයකදී, නිර්මාණය කර තිබෙන්නේ. මේ රටේ පරිසර විනාශය පිළිබඳව මුහුණු පොතේ සිදුවන සංවාදය විකෘති කිරීම සඳහා මේ ෆේස් බුක් පිටුව යොදා ගන්නවා. ලෝකයේ විවිධ ස්ථානවල සිදුකෙරෙන පරිසර විනාශයන් ලංකාවේ යැයි කියා උලුප්පා දක්වමින් මෙහි සිදුකරන සත්‍ය පරිසර විනාශය යටපත් කිරීමේ ප්‍රයත්නයක් දරන බව අපි දැක්කා. මේ ෆේස් බුක් පිටුව උපයෝගී කරගෙන ජනාධිපතිවරයා අපි පිළිබඳව යම් වැරදි අර්ථකථනයක් නිර්මාණය කර තිබෙනවා.

අඩුම තරමින් ජනාධිපතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය අංශය ෆේස් බුක්වල ක්‍රියාකාරිත්වයේ තිබෙන ඇත්ත ගිණුම් සහ ව්‍යාජ ගිණුම් හඳුනාගන්න සමත් වී නැහැ. ‘ජේ.වී.පී. පරිසරවේදියෝ’ යැයි කියන ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ යැයි හඟවමින් ආණ්ඩුවට පක්ෂපාතී ලෙස ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වෙනුවෙන් යොදා ගන්නා තමන්ගේ කඳවුරේම ව්‍යාජ ගිණුමක්. ඒ ව්‍යාජ ගිණුම උපයෝගී කරගෙන සමාජය තුළ අපේ පක්ෂය කෙරෙහි වෙනස් සැකයක්, බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා යැයි අදහසක් ජනතාව තුළ ඇති කිරීමට ජනාධිපතිවරයා යොදාගෙන තිබෙනවා. ව්‍යාජ ගිණුමක තොරතුරු උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරන්න තරම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බංකොලොත් වීම පිළිබඳව නම් අපිට කනගාටුවක් තිබෙනවා. හැට නව ලක්ෂයක් වන ඔහුට ඡන්දය දීපු පොදු ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු වුණේ නැහැ. දිස්ත්‍රික්කයක ඉන්න මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් යොදවා මෙවැනි කතාවක් කීවා නම්, අපට පිළිගන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයා දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා පත්වී තිබෙන අසරණභාවය වගේම ඔහු පත්වී තිබෙන බංකොලොත්භාවයයි.

අසරණයි කියා අවලාද ගහන්න බැහැ!

ඔහුගේ අසරණභාවයට, බංකොලොත්භාවයට යටත් වී පක්ෂයකට විරුද්ධව අවලාද ගහන්න අපි ඉඩ නොදිය යුතුයි. එනිසා අපි අද දිනයේ මෙම ගිණුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ‘ජේ.වී.පී. පරිසර වේදියෝ’ කියන මෙම ගිණුම ආරම්භ කළේ කවදාද? ආරම්භ කළේ කවුරුන් විසින්ද? එම ගිණුම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමට උපයෝගී කරගෙන තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත කාගේ නමටද තිබෙන්නේ? කියලා හොයාගන්න පුළුවන්.

එන සෙනසුරාදා උත්තර දෙන්න

මේ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යටපත් කරනවා නම්, පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒකෙන් කියැවෙන්නේ එක දෙයක්. ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතියේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින්ම ඔහුගේ දැනුවත්භාවයෙන් හෝ ඔහුගේ දේශපාලන කඳවුරේ දැනුවත්භාවයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ගිණුමක් බව. වැරදි ප්‍රවෘත්ති ව්‍යාජ ගිණුමකින් නිර්මාණය කරලා එම වැරදි ප්‍රවෘත්ති ජනාධිපතිවරයා විසින් උපුටා දැක්වීමෙන් කියැවෙන්නේ ගරිල්ලා මාකටින් වැඩක් කියලා, අපිට සාධාරණ සැකයක් තිබෙනවා. පක්ෂයක ගිණුමක් යැයි හඟවමින් ජනාධිපතිවරයා සියලු මාධ්‍ය ඉදිරියේ කරන ලද මෙම ප්‍රකාශයට ජනාධිපතිවරයා වගකියන්න ඕනෑ. ඔහුට අත පිහදාගන්න බැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප ඉදිරිපත් කරන පැමිණිල්ල කඩිනමින් විභාග කොට, සියලු විස්තර සමාජයට හෙළිදරව් කළ යුතුයි. එහෙම නැතුව ජනාධිපතිවරයාට තමන්ගේ දේශපාලන උවමනාවන් අනුව හිතූ හිතූ තැන්වල පුරාජේරු දොඩවන්න ව්‍යාජ ගිණුම් උපයෝගී කර ගැනීමට දරන මේ ප්‍රයත්නය පරාජය පත්කළ යුතුයි. නැත්නම් හෙට තවත් මොකක් හරි හදන්න පුළුවන්. ඊළඟ සෙනසුරාදා එය උපුටා දක්වන්න පුළුවන්. ඒ නිසා ජනතාව රැවැට්ටීම සඳහා ජනාධිපතිවරයා කරන මේ ව්‍යාජ රංගනය පරාජයට පත් කළ යුතුයි.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news