Tuesday, July 16, 2024

බල දේශපාලනයට එන්නේ නෑ – ඒ නිසා පක්ෂ හදන්නෙත් නෑ පොදු අපේක්ෂක කතාත් නෑ – කරු ජයසූරිය

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරයට දේශපාලන බලය ලබාගැනීම සදහා කිසිදු අභිප්‍රායක් නැතැයි එහි සභාපති හා හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

කරු ජයසූරිය මහතා මේ බව සදහන් කලේ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබට ද? – ලංකාවට සිදුවිය හැක්කේ කුමක් ද? යන මැයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (04) වනදා කොළඹදී පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණ සභාවකදීය. තම සංවිධානයට ද අද වනවිට තමන්ටද දේශපාලන බලය ලබාගැනීම සදහා අභිප්‍රායක් නොමැති නිසා දේශපාලන පක්ෂ පිහිටුවීමටද කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ජයසූරිය මහතා එහිදී අවධාරණය කළ අතර, ඒ නිසා මැතිවරණයකදී පොදු අපේක්ෂකයෙකු පිළිබද කතාවක් නොමැති බවද ප්‍රකාශ කරන ලදී. අද වනවිට තමන්ගේ මෙන්ම තම සංවිධානයේ ප්‍රමුඛ හා ඒකායන අපේක්ෂාව වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් ජනතාවට වඩා යහපත් වූ රටක් ගොඩනගා ගැනීම සදහා දායකත්වය ලබාදීම වන බවද ඔහු එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

එහිදි වැඩිදුරටත් කතා කල කරු ජයසූරිය මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව වඩා වැඩි සමාජ මැදිහත්වීමක් උදෙසා තම සංවිධානයට පෙනී සිටීමට සිදුවීම සත්‍යයක් වුවත් එම තත්වය වඩාත්ම ක්‍රියාකාරී වූයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යාමට කටයුතු කරගෙන යාම නිසා වන බවද පෙන්වා දෙන ලදී.

සමස්ත බලය එක් පුද්ගලයෙකු අතට අත්පත් කරගැනීම නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අසීමිත ලෙස දේශපාලනයට ගොදුරු වෙම්න් ඇති බවද එහිදී පෙන්වා දුන් කරු ජයසූරිය මහතා මේ තත්වය තුළ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ද රටේ සමස්ත ආර්ථිකයද දවසින් දවස විනාශ වෙමින් ඇතැයි ප්‍රකාශ කලේය.

(පාලිත ලිහිණියකුමාර විසිනි)

Archive

Latest news

Related news