Tuesday, July 16, 2024

මියන්මාරය තවත් වීරවරියක් මිහිදන් කරයි: “අපේ ස්ත්‍රීන්ගේ ලේ රතුය” – සුනන්ද දේශප්‍රිය

දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආන්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් විය.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ දිනයෙහි මා කියල් සින් ඇයගේ පියා සමඟ ජන්දය ප්‍රකාශ ක වර්ණ ගැන්වූ සිය දබරැඟිළි ඹසවූ ජායාරූපයක් ඇයගේ ඉන්සටර්ග්‍රෑම් පිටුවට එක්කර තිබුණි. මැතිවරනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය මහ ජයක් ලැබුවේ මිලිටරිය බිය ගන්වමිනි.

මගේ ජීවිතයේ පළමු වතාවට මම පුරවැසියෙකු ලෙස මගේ වගකීම භාර ගත්තා හදවතින්ම එක ඡන්දයක්යැයි කියල් සින් සිය ෆේස්බුක්හි ලියූවේ තීන්ත ගෑ සිය ඇඟිල්ල සිප ගන්නා පින්තූරයක් පළ කරමිනි.

සිය හැඩකාර පින්තූර සිය ෆ්ස් බුක් පිටුවට දැමිමට ඇය ඇළුම් කළාය.

මා කියල් සින් නැටුමටත් මිරිස් රසැති කෑමටත් රතුම රතු ලිප්ස්ටික් වලටත් ඇළුම් කළාය. අමතරව ඇයගේ ලැදියාවක් වූවේ තායි ක්වන් දෝ නම් බුරුම සටන් ක්‍රමයටය. ඇය සටන් ක්‍රම පුහුණු කාරියක්ද විය.

නව යොවුන් වියේ සිටි ඇය වියයුතු පරිදිම විනෝදනාමී විය. සිය ෆේස්බුක් පිටුවෙහි ඇය තමාගේ හැඩකාර සෙල්ෆි ජායාරුපද සිය නර්ථනයන්ද දැමුවාය. උපන්දින සාදයන්හි ජායාරූප පෙළ ගැස්වුවාය. ඇය ලස්සන ඇදුම්වලටද ඇලුම් කළාය.

එමෙන්ම ඇයට සමාජ සාධාරණය සහ යුක්තිය ගැන හැගීමක්ද තිබුණි.

එමෙන්ම ඇගේ පියා සමඟ ඇයගේ සමීප සම්බන්ධතාවය විදහා දක්වන ජයාරූපද එහි වෙයි. පසුගිය මාසයේ මුදු මොළොක් මොහොතක ඇයගේ පියා ඇගේ මැණික් කටුව වටා නිර්භීතකම සංකේතවත් කරන රතු පීත්ත පටියක් බැද ඇති බව එක් ජායාරූපයකින් පෙනේ.

මට මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ ස්තූතියි තාත්තේ!” යැයි කියල් සින් මියන්මාරයට යුක්තියයන හැෂ් ටැගය සමඟ එම ජායාරූපයට ලියා තිබුණි.

ඉන්ස්ග්‍රෑම් සමාජ ජාල අඩවියහෙි ඇය පෙනී සිටියේ ඒන්ජල් නොහොත් සුර දූතිකාව යන නමිනි. ඇය දැන් නිදහසේ සුරදූතිකාවකි.

ඇය නිදහස් ජීවිතයක් පතන මියන්මාර තරුණ ජනයාගෙන් අයකු විය. මැතිවරණයෙන් සිය නායිකාව වූ අවූන් සාං සුකී ලද මහ ජය යුද්ධ ටැංකි මගින් චප්ප කළ විට එය පිළිගැනීමට මේ තරුණ පරම්පරාව සූදානම් වූයේ නැත.

මියන්මාරයේ පුරුෂාධිපත්‍යවාදී දේශපාලන සහ සංස්කෘතික බැදීම් නොසළකා ප්‍රතිවිරුද්ධකම් පෑමේ පෙරමුණූ බලඇනියක් බවට තරුණ ස්ත්‍රීහු පත්වූහ. විරෝධතා උද්ඝෝෂන අතරතුර හමුදා ප්‍රහාරයන්ගෙන් තුවාල වන සිය සහෝදර සහෝදරියන්ට ප්‍රථමාධාර දීමට සූදානමින් වෛද්‍ය ශිෂ්‍යාවෝ පා ගමන්වලට එක්වූහ.

මියන්මාරය කොතරම් පුරුෂ මූලික සම්ප්‍රදායන්ගෙන් සිරගතව ඇත්ද යත් ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ ඉණෙන් පහළට අදින ඇදුම් එකට සේදීම සළකන්නේ වරදක් ලෙසය. එසේකළ හොත් පුරුෂාට අපලය. මේ නිසාම විරෝධතාවයන්ට එක් විය නොහැකි වැඩිහිටි ස්ත්‍රිහු පාරවල යනෙන මිලිටරි සහ පොලිස් හමුදා බිය ගැන්වීමට සිය ලුන්ගි සහ සරොම් පාරවලට ඉහළින් එල්ලා තිබෙනු මේ දිනවල දැක්ක හැකිය.

තත්මදෝව යැයි නම් කැරෙන මිලිටරියේ ඉහළ තනතුරුවල කිසිදු ස්ත්‍රියක නැත. එසේ වෙතත් නොවැම්බර් මැතිවරණයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ලීගයේ අපේක්ෂක ලැයිස්තුවල සියයට විස්සක් වූයේ ස්ත්‍රීන්ය.

මිලිටරිය එනම් තත්මදෝව දැනටමත් ස්ත්‍රී විරෝධය අවුළුවන්නට ජාතිකවාදී පසුගාමිත්වය යොදා ගනිමින් සිටි. “මේ පෙළපාලි යන ගැහැණු හරියට ඇදුම් අදින්නවත් දන්නේ නැහැ” යැයි එහි ප්‍රධානියා කියයි. ඉන් මේ ඒකාධිපතියා අදහස් කරන්නේ ගැහැණුන් දිග කලිසම් නොඇදිය යුතු බවයි.

කොතැනත් වර්ගවාදීහු ස්ත්‍රීන් පාලනය කිරීමට පසුගාමී සංස්කෘතික මෙවළම් යොදා ගනිති.

තත්මදෝව රට මිලිටරි පාලනයකට යට කිරීම නිසාඩිම පහර වදින සමාජ කණ්ඩායමක් වන්නේ ස්ත්‍රීන්ය. ඊට හේතුව නම් පසුගිය දස වසර පුරා පැවැති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ස්ත්‍රීන්ට ආරථික සමාජ සහ දේශපාලන නිදහස ලබා ගැනීමට උපකාරී වූ නිසාය. දැන් මිලිටරි ඒකාධිපතිත්වය එම සියලු අවස්ථා තර්ජනයට ලක් කරයි.

කෙරන් නම් මියන්මාරයේ සුලුතර ජන ප්‍රජාවෙහි සම්ප්‍රදායික උඩුකය හැදුමින් සැරසී පෙරමුණේ ගමන් ගන්නා තරුන නායිකාවන් දෙදෙනෙක්

මිලිටරි පාලනය පැරදවීම තමන්ගේද කාර්යක් බව එරට ස්ත්‍රීහු ජීවිතයෙන්ම ඉගෙන ගෙන සිටිති. විශෙෂයෙන්ම යෙෘවනියෝ සිය නිදහස යකඩ සපත්තුවට පැගී යෑමට ඉඩ නොදීමට අධිශ්ඨාන කරගෙන සිටිති.

සිය දහස් ගණනින් ස්ත්‍රීහු එරට දෛනික පාගමන් සඳහා එක්රැස් වෙති. ඒ අතර ගුරුවරියන්, ඇඟලුම් සේවිකාවන් සහ වෛද්‍ය සේවකාවන්ගේගේ වෘත්තීය සමිති ඉදිරියෙන්ම සිටිති.

මෙළෙස වීදි අරක්ගත් සිය සගයින් සමඟ මා කියල් සින් දිනක් නෑර එක්වූයේ ඒ හැගීමෙනි. ඔවුන් නිරායුධ එනමුත් අදම්‍ය අධිශ්ඨානයකින් පණ පෙවුණු බලවේගයක් වේ.

ඉරනම් සහගත දවසෙහි මා කියල් සින්

ඒ ඉරණම් සහගත බදාදා මා කියල් සින් සිය ටී ෂර්ටයේ පසුපස අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මියන්මාරයට යුක්තිය. අපේ ඡන්දවලට ගරු කරන්නයන පාඨය ස්ටෙප්ලර් කර ගෙන තිබුණි. ජේත්තුකාර ටී ෂර්ට්වලට කැමැති වූ ඇයගේ ඒ ටී ෂර්ටයේ ඉදිරිපස වුයේ Everything will be all Right! “ හැම දෙයක්ම හරියාවි” යන පාඨයයි. දැන් ඒ පාඨය ප්‍රතිවිරුද්ධකම් පෑමේ පොදු උද්යෝග පාඨයකි.

එදින ඇයට යළි සිය පියා දක්නට යෑමට ලැබුණේ නැත.

විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන් තිස් අටදෙනෙකුට මරණය උරුම කළ මියන්මාරයේ කලු බදාදා නම්න් හැදින්වෙන පසුගිය 03දා හමුදාව හිසට වෙඩ පහර දෙකක් ද පපුවට එක් වෙඩිල්ලක්ද තබා මා කියල් සින් මරා දැමුවේය. සැනෙන් ඇයගේ මරණය සමාජ මාධ්‍ය දෝංකාරයක බවට පත්විය. ඇය විරුද්ධකම්පෑමේ අධිශ්ඨානයේ යෞවන ප්‍රතිමූර්තියක් බවට පත් විය.

ඇයගේ මරනයෙන් පසු ඇය සමඟ ප්‍රතිවිරුද්ධකම් පෑමේ යෙදී සිටි තරුණියක් මෙසේ කීවාය. “මියන්මාරයේ ස්ත්‍රීන්ගේ ලේ රතුපාටයි.”

පසුදා පැවැති ඇයගේ අවමංගල්‍ය උත්සවය දහස් ගණනින් පිරී ගියේය.

මේ සතියේ උද්ඝෝෂණයකට යාමට පෙර, මා කියල් සින් ඇයගේ රුධිර වර්ගය සිය ෆේස්බුක් පිටුවේ ලියුවාය. ඇගේ දුරකථන අංකය එහි දක්වා තමාටම් කරදරයක් සිදු සිදුවුවහොත් සිය අවයව පරිත්‍යාග කිරීම පිනිස ලබා ගන්නා ලෙස ලියුවාය.

මා මිය ගියහොත් මට (මගේ අවයව) පරිතයාග කළ හැකිය. යමෙකුට හදිසි උපකාර අවශ්‍ය නම්, එය මගේ මරණයට හේතු වුවද මගේ අවයව ලබා දිය හැකියයනුවෙන් ඇය එහි ලියුවේය.

තත්මදෝව යනු රකුසෙකි.

විරුද්ධකම්පෑම යකඩිව් සහ බෝමබ දුමාරයෙන් යටපත් කිරීමට තත්මදෝව දත්මිටි කන බව හැම දෙනෙක්ම දැනසිටියේය. “ විප්ලයවය යනු අනෙකා මැරීමට නොව තමා මියයන්නට සූදානම් පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ව්‍යායාමයකි” යැයි ලීවේ චේ ගුවේරාය.

උද්ඝෝෂණය අතරතුර කියල් සින්ගේ අවසන් මොහොත ඇයගේ මිතුරියන්ගේ ජංගම දුර කනයන්හි සටහන් විය. හමුදා වෙඩි තැබීම් මැද ඇය පාර දිගේ බඩගාගෙන කඳුළු ගෑස් පිපිරුම් මධ්‍යයේ ආවරණයක් සොයා යන අයුරුය.

වෙඩි තබා ඝාතනය කිරීමට මොහොතකට පෙර, කඩකොලු වූ ජීන්ස් යුගලයකින් සැරසී සිටි සැරසී සිටි කියල් සින් සිය සහෝදර සාමකාමී විරෝධතාකරුවන් දිරිමත් කරනු ජංගම දුරකතන වීඩියෝවන්හි දැක්වේ.

ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයන් මැද කියල් සින් සිය සගයින්ගේ දෑස් පිරිසිදු කිරීම සඳහා වතුර බෙදයි. තවත් විරෝධතාකරුවෙකු විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය කෑගසයි: “අපේ ජනතාවගේ ලේ හැලෙන්න දෙන්න බැහැ!”

ඇය සොයා පැන්නූ මිලිටරිය පේනමානයේ සිට ඇයගේ පපුව පසා කරමින් වෙඩිල්ලත් තිබ්බේය.

ඇය මගේ ජීවිතයේ මෙතෙක් දැක ඇති නිර්භීත කෙල්ල” යැයි කියල් සින්ගේ අවසාන ඡායාරූප කිහිපයක් ගත් කළ කෝ ලූ මාව් පුවත්පත් වාර්තාකරුවන්ට කීවේය.

ඇගේ නමේ අර්ථය බුරුම බසින් “පිරිසිදු තාරකාව” ය. එනිසාම මේ විනෝදකාමී කෙල්ල සිය ටීෂර්ටයට යටින්, තරු හැඩැති පෙන්ඩනයක් පැළඳ සිටියේය.

සුවසේ නිදන්න මා කියල් සින්

ඔබ තරුවක් දුටුවහොත් මතක තබා ගන්න, අන්න ඒ මම තමයි” කියා කීමට ඇය පුරදුව සිට්යේ මරණය අවට සැරිසරණ බව දැන සිටි නිසාය.

ඇයද ඇතුළව තරුණ තරුනියන් 38දෙනෙකු ඝාතනය කල බදාදාට පසුදා උදෑසන යළි විදි අරක් ගත් තරුණ ජනයා “ හැමදේම හරියාවි” යැයි උදයෝග පාඨ රැගෙන විත් තිබූණි.

මා කියල් සින් විරුද්ධකම්පෑම තුල ජීවත් වෙයි.

බ්‍රහස්පතින්දා උදෑසන ඇය වෙනුවෙන් ශෝකයට පත් පිරිස් මියන්මාර ජනප්‍රිය විප්ලවවාදී ආදර ගීතයක් වන, “ලෝක අවසානය තෙක් අපි අමතක නොකරමු යන්න ගායනා කළේ මල් කළඹ සහ මල් වඩම් දරාගෙන ඇගේ මෘත දේහයට කදුලු සහ අධිශ්ඨානය මුසු ආචාරය දක්වමිනි.

ඒ ගීයේ පද කිහිපයකින් කියල් සින්ට සුව නින්දක් සහ ජය පතමු.

සදාකාලිකත්වය ලස්සනයට සීතලයි
සුරදූතිකාවන් මහලු වේදැයි නොදනිම්
ඔබේ දෑසෙහි මා ගිලීයයි
මං සයුරක අතරමං
ඔබ දන්නවා මට හැම දෙයක්ම ඔබම බව

කිසිදා බිය නොවන්න
සියල්ල අළු පැහැයට හැරෙන විට
එපා, බිය ‍වෙන්න එපා
මට ඕනෑ ඔබේ ආදරය පමණමයි
දෙන්න මට ඔබේ සියලු  වේදනාවන්

ලෝකාවසානයම තෙක්
පහළත් ආපස්සටත්
කාලාවසානයම තෙක්
කාවද මාව නවත්වන්නේ
ඔවුන් උත්සාහ කළදෙන්
අඳුරු දවස්
අඳුරුතම රාත්‍රීන්
මං නතරවන්නේ නැහැ
මැරෙන කං

මගේ ආදරිය
ලොව නතරවනු තුරු
මා ඔබ අමතක කරන්නේ නැහැ
මගේ ආදරිය
.

දැන් ඒ හඩ නින්නාද වන්නට හරින්න.

මා කියල් සින්, ලෝකාවසානය වනතුරු ඔබ නිදහසේ සුරදූතිකාවක. නිදහස සඳහා දිවි පුදන නමක් ඇති නමක් නැති සුවසහක් විරුවන් සහ විරවරියන් සමඟ ලස්සනට සීතල සදාකාලිතත්වයේ සැතපෙන්න.

සොයුරිය, සොහොනේ අලු මට දෙන්න.

මගේ පණ ඔබ ගන්න!

( ජායාරූප ස්තුතිය නිව්යෝරක් ටයිම්ස්, රොයිටර්ස්, මියන්මාර විරෝධාකාරියන් සහ ද ගාර්ඩියන් වෙත)

Archive

Latest news

Related news