Thursday, May 9, 2024

වීඩියෝවේ ඉන්නේ ඔබම වුනත් අපි ඔබ සමගයි උමාරියා! – පබා දේශප්‍රිය

ඡායාරූපය: ව්‍යාජ ජයාරූප සහ හඩ කැවීම් තාක්ෂනය deepfake technology  දියුණුවත්ම ජනප්‍රිය ස්ත්‍රීන් ඇතුළත් කළ ලිංගික වීඩියෝ වැඩිවනු ඇතැයි ඉකොනොමිස්ට් සඟරාව පවසයි.

“නොකරපු වරදකට ගැහැණුයෙකුට අපහාස කිරීම මම හෙලා දකිමි” යන්න උමාරියා සම්බන්ධකර අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල සැරි සරන පොදු මතයකි. සැබවින්ම උමාරියාගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මෙලෙස අන්තර් ජාලයට මුදා හැර තිබුණේ නම් මේ අයි මැවැනි අනුකම්පාවක් උමාරියාට පෙන්වා විද? මා එසේ කියන්නේ  උමාරියා මුහුණ දුන් සිදුවීම කිසිම ආකාරයකින් අවකත්සේරු කිරීමට නොවේ. නමුත් මා අසන ප්‍රශ්ණය නම්, මෙය ඇගේ සැබූ වීඩියෝවක් වුණානම් ඒ ගැන විවෘතව කතා කරන්නට ඇයට අවස්ථාවක තිබේවිද?  සැබෑ වීඩියෝවක් වුවත් එවැනි පෞද්ගලික වීඩියෝ නිර්මාණය කරන්නේ සමාජ මාධ්‍යජාලා වල බෙදා හැරීමට නොවේ. නමුත්, එවැනි ලීක් වෙන වීඩියෝ බලා “ආතල්” එකක් ගැනීමට අපි කැමතිය. සනත් ජයසූරියේ ලීක් වීඩියෝව එයට හොදම උදාහරණයයි.

ස්ත්‍රී ලිංගිකත්වය ගැන අප සිතන්නේ මොනවාද?

පාසල් යන කාලයේ සිටම ගැහැණුන් වන අපට ලැබුණු පණිවිඩය නම් “කෙල්ලෙක් වුණාම සෙකස් සම්බන්ධ දේවල් දැන ගන්නා ඕනේ නෑ, බැදපු දවසට දැන ගන්න පුළුවන්” යන්නයි. මා පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන කාලයේදී මගේ මිතුරියක් ඇගේ පෙම්වතා සමග කුටුම්භ ජීවිතයකට ගියාය. තේරෙන වචනයෙන් කියනවා නම් පැනලා ගියාය. දෙමාපියන් නැවත ඇවය නිවසට ගෙනවිත් පාසල් එවීමට කටුයුතු කළ අතර බොහෝ ගුරුවර ගුරුවරියෝ ඇයව පිළිකුල් කළා. එක් ගුරුවරියක් පැවසුවේ “ආපහු ඕකිට සුදු ගවුමක් අදින්න ඉඩ දෙන්න පුළුවන්ද?”  කියාය. ගැහැණු ළමයෙකුගේ “පවිත්‍රත්වය” පිළිබද කළ ප්‍රකාශයක් බව මට තේරුණේ පසුව වුවත්, ඒ වාක්‍යය මගේ සිතේ ගැඹුරින් තැන්පත් විය. පසුගිය මාසයේ අපයෝජනයකට ලක් වූ ගැහැණු ළමයෙකු පාසලකට භාර දීම සදහා පාසලක් සොයන්නට අපට සිදු විය. ඇයව භාර ගන්නට කිසිම පාසලක් සූදානම් නොවීය. අවුරුදු 17කට පසුවත් ඒ ගුරුවරිය කළ ප්‍රකාශය මට ක්ෂණයෙන් සිහිපත් විය. අපයෝජනයකට ලක් වූ ගැහැණු දරුවෙකුට වත් මනුෂයෙකු ලෙස සලකන්නට අපේ අවුරුදු 2500ක් පැරණි උතුම් සංස්කෘතිය ඉඩ තබන්නේ නැත. එසේනම්, ස්ව කැමැත්තෙන් ලිංගික දර්ශනයක පෙනී සිටින ස්ත්‍රියක් වෙතොත් ඇය නරක ස්ත්‍රියකි.

උමාරියාගේ සිදුවීම දෙස බැලුවත් අපට පෙනෙන්නේ දැඩි ස්ත්‍රී විරෝදී නමුත් උමාරියට සහය දෙන ප්‍රකාශයන්ය. පහතින් දැක්වෙන මේ කෙමන්ටුව බලන්න.

 

“උඹලයි අම්මලා අක්කලාවත් අදින්නේ නැති චීත්ත තාම ඇදන් ඉන්න ලැජ්ජා නැද්ද?” – චීත්තයක් කීම පිරිමියෙකුට දිය හැකි උපරිම පහත් කිරීම බව සිතමින්, පිරිමින් ගැන ඉතා කේන්තියෙන් ලියවී ඇති මේ ප්‍රකාශය තුළ සමස්ථ වශයෙන් පහත හෙළන්නේ ගැහැණුන්වය. මන්ද චීත්තයක් යනු ස්ත්‍රිය සම්බන්ධ කර කරන පහත් කිරීමකි. එය හරියට “like a girl” යන ඉංග්‍රීසි යෙදුම හා සමානය.

ලිංගික තෘප්තිය ගැහැණුන්ට ඇකැපද?

පෙම්වතා සමග ලිංගිකව හැසිරී, ඔහු සමග විවාහ වන්නට නොහැකි වූ ස්ත්‍රීන් “මට තිබ්බ වටිනාම දෙය නැති වුණා”, “පිරිමියෙක්ට දෙන්න දෙයක් මට නෑ”, “මට මගේ හැම දේම නැති වුණා” වගේ ප්‍රකාශ කරන්න මිතුරියන් මට බොහෝ සිටී. ගැහැණුන් වන අපි ලිංගිකත්වය අත් දැකීම මේ තරම් කැත දෙයක් වන්නේ ඇයි? ලිංගික තෘප්තිය සදහා පමණක් ඇති එකම අවයවය වන භගමනිය ගැහුණු අපට පිහිටා තියෙන්නේ මැරෙන තුරුම යට කලිසමෙන් වහගෙන ඉන්නද?

 

මේ වීඩියෝව සැබෑ වීඩියෝවක් වූවා නම් ඇය “මරියාවක්ද?” “ගණිකාවක්ද?” ඒ වීඩියෝව කීදෙනක්  රස කර බලාවිද? එයට කීදෙනෙක් ස්වයං වින්දන කරාවිද? ඇගේ කැමැත්ත ගැන යමෙක් සිතාවිද?

පාසලේ 7, 8, 9 වසර වල ඉන්නා කාලයේදී පිරිමි ළමුන් වැඩි පුර කතා කළේ ස්වයං වින්දනය සහ ඒ හා බැදුණු වීර කතා ගැනය. දිනකට වැඩිම වරක් ස්වයං වින්දන කරන්නේ කවුදැයි බැලීමට අපේ පංතියේ පිරිමි ළමයි තරගද පැවත් වූ අතර, එක් දිනක් තුළ දෙළොස් වරක් ස්වයං වින්දනය කළ මිතුරෙක් ඒ තරගය ජය ගත්තේය. එතැන් පටන් ඔහු වැඩ්ඩෙකි. පිරිමි ළමයි මේවා කතා කරන විට ගැහැණුන් වන අපි කළේ බිම බලාගෙන “ඊයා, ඊයා” කියමින් ඇඹරීමයි. හරියට අපිට ලිංගික තෘප්තියක් නැතුවා වාගේය.

කැමැත්ත, විශ්වාසය සහ පෞද්ගලිකත්වය

“ලීක් වීඩියෝ” යන්න බොහොමයක් නිල් චිත්‍රපට අඩවි වල කැටගරි එකකි. “ලීක් වීඩියෝ” යන්න ඔබට මුහුණ පොතේ සර්ච් කර බලන්න. “ලීක් වෙච්චා”, “ලීක් වුණ නංගි”, “ලීක් වීඩියෝ” මෙවැනි නම් වලින් මුහුණ පොතේ පිටු ඕනෑ තරම් ඇත. “ලීක්” යන්නේ අර්ථය පෞද්ගලික හෝ රහසිගත දෙයක් හිතා මතා බෙදා හැරීමය. එනම් ලීක් වුණ වීඩියෝවක් යනු හිතා මතා බෙදා හරින ලද පෞද්ලික වීඩියෝවකි. එය වෙනත් කෙනෙකුගේ පෞද්ගලික දෙයක් නම් ඇයි අපි එය බල්ලනට මෙතරම් ආසා?

මෙම ලීක් වන ඡායාරූප හා වීඩියෝ පට වර්ග ගණනාවක් තිබේ.

  • ආදර සම්බන්ධතාවයකදී ගැහැණු ළමයා සිය කැමැත්තෙන් පෙම්වතාට යැවූ අඩ නිරුවත් හා නිරුවත් ඡායාරූප
  • ආදර සම්බන්ධතාවකදී ගැහැණු ළමයා සිය කැමැත්තෙන් පෙම්වතාට යැවූ අඩ නිරුවත් හා නිරුවත් වීඩියෝ පට
  • ආදර සම්බන්ධතාවකදී ගැහැණු ළමයා පෙම්වතාගේ බල කිරීම නිසා  පෙම්වතාට යැවූ අඩ නිරුවත් හා නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට
  • ආදර සම්බන්ධතාවකදී ගැ ලිංගිකව හැසිරෙනවිට දෙදෙනාගේම කැමැත්ත ඇතිව රූපගත කරන වීඩියෝ පට
  • ආදර සම්බන්ධතාවකදී  ලිංගිකව හැසිරෙනවිට පෙම්වතියට හොරෙන්  රූපගත කරන වීඩියෝ පට
  • ආදර සම්බන්තාවකදී දෙදෙනාගේම කැමැත්ඔත ඇතිව  වීඩියෝ කෝල් හරහා ස්වයං වින්දනය කරන වීඩියෝ පට
  • ආදර සම්බන්තාවකදී  වීඩියෝ කෝල් හරහා ස්වයං වින්දනය කරන පෙම්වතියගේ කැමැත්ත නොවිමසා රෙකෝඩ් කරන වීඩියෝ පට
  • ආදර සම්බන්ධයක් බිද වැටුණ විට කැමැත්තෙන් පෙර හුවමාරු කර ගත් වීඩියෝ පට හෝ ඡායාරූප ලීක් කරන බවට තර්ජනය කර ලබා ගන්නා නිරුවත් හා අඩ නිරිවත් ඡායාරූප හා වීඩියෝ පට
  • නාදුනන පුද්ගයන්  නිරුවත් හෝ නිරුවත් ඡායාරූප  සහ වීඩියෝ ඇති බව කියමින් බිය වද්දමින් ලබා ගන්නා නිරුවත් හා අඩ නිරිවත් ඡායාරූප හා වීඩියෝ පට
  • මුහුණු වලට අඩ නිරුවත් හෝ නිරුවත්  ශරීරර වල ඡායාරූප වලට එකතු කර සකස් කරන ( පරිඝණක මෘදුකාංග මගින් වෙනස් කරන ලද) ඡායාරූප සහ වීඩියෝ පට
  • දුරකතන අලුත්වැඩියා කරන පුද්ගලයන් විසින්, අලුත්වැඩියා කිරීමට ගෙන බාර දුන් දුරකතනයෙන් බාගත කළ  ඡායාරූප හා වීඩියෝ පට
  • දුරකතන හරස් අංකය අවසරයකින් තොරව ඇතුලු කර බාගත කර ගන්නා ඡායාරූප හා වීඩියෝ පට

ඒවා අතරින් කිහිපයකි.

පරිගණක මෘදුකාංග මගින් වෙනස් කරන ලද ඡායාරූප ප්‍රසිද්ධ කිරීමකට ලක් වූ කාන්තාවක් දන්නා බව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සහ කාන්තා පිහිට එක්ව සිදු කළ සමීක්ෂණ සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 21.4%ක් පවසා තිබුණි. ඉන් 50%ක් බදුල්ලෙන් වන අතර, 32%ක් රත්නපුර දිස්ත්‍රික්කයෙනි. මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 24.4%ක් සිය පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම ආදී වූ සිදුවීම් වලට මුහුණ දී ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ සංස්කෘතිය තුළ “කැමැත්ත” පිළිබද සාකච්ඡාවක් තිබෙන බව පෙනෙන්නට නැත. කැමැත්තෙන් එකග වී සිදු කරන රොමාන්තික වීඩියෝ පට ලීක් වුණ පසු එහි සිටින ස්ත්‍රිය වල් ගැහැණියකි. පහත් ගැහැණියකි. නරක ගැහැණියකි. ඇගේ විශ්වාසය සහ කැමැත්ත උල්ලංඝනය කරන පිරිමියා දෙස අප බලන්නේ නැත. උමාරියාගේ වීඩියෝව සැබෑ එකක් වූවා නම් ඇයට ඒ පිළිබද විවෘත වන්නට ඉඩ නැත්තේ ඒ නිසාය. ලිංගික තෘප්තිය විදින ස්ත්‍රියක් රෝල් මොඩ්ල් එකක් කිරීම අපට අපහසුය.

ඉදින්, උමාරියා ඔබේ විඩියෝව සැබෑවක් වූවත් අපි ඔබ සමගය. ඒ ලිංගිකත්වය ප්‍රකාශය කිරීමට ගැහැණුන් වන අපටද අයිතියක් ඇති නිසාය. පිරිමින් කියන විදියට, අපෙන් බලාපොරොත්තු වන විදියට පිරිමින්ට පමණක් ලිංගික තෘප්තිය විදින්නට ඉඩ තැබීම අප අපටම කර ගන්නා අවමානයකි. පහත් කිරීමකි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් කතා කරමු.

පබා දේශප්‍රිය බකමූණෝ වෙනුවෙන් /  2021 පෙබරවාරි 23

www.bakamoono.lk

Archive

Latest news

Related news