Monday, May 20, 2024

පාස්කු ප්‍රහාර වාර්තාව හැංගීමේ ගෝටා කමිටුව සහ එහි සුදුසුකම්

ප්‍රේල් 21, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුව එම වාර්තාව සම්පුර්ණයෙන් ප්‍රසිද්ධ නොකළ යුතු බව ප්‍රකාශ කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාත්‍ය මහින්ද අමරවීර ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ එම වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කළ හොත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හෙළිදරව් විය හැකි බවයි.

මෙය හොරාට කලින් කෙහෙල් කැණ වැටපැනීමක් හා සමානය. තවත් අයකු කියා ඇත්තේ මෙය ධම්මික බණ්ඩරට ඇස්ට්‍රා සෙනකා එන්නත පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබාදීම හා සමාන බවයි!

එසේ වෙතත් රාජපක්ෂවරුන්ගේ හොරණෑ ලෙස හැදින්විය හැකි පුවත්පතක් විසින් එකී වාර්තාව හිටපු ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහට නඩු පැවරිය යුතුයැයි නිර්දේශ කර ඇතැයි වාර්තා කළේය. ඉන් පෙනී යන්නේ යම් යම් ජනමාධ්‍ය වෙත එම වාර්තාව දැනටමත් ලැබී ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කමිටුවෙහි අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපති ධුරය දරනු ලබන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය කිරීමේ කොමිසම සමන්විත වූයේ උගත් විනිසුරුවන් සිව් දෙනෙකු සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකුගෙනි.

කොමිසමේ සභාපති වූයේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාය. සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ඒ.එල්. බන්දුල කුමාර අතපත්තුය.

තමාට වාර්තාව ලබා දෙන තුරු තමා මෙම කමිටුව හමුවන්නේ නැතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. මෙම කමිටුවෙහි තිදෙනෙකු අධ්‍යාපන සාමාන්‍ය පෙළවත් සමත් ව නැති බව ඒ සමඟම වාර්තා විය.

එල්ල වූ විරෝධය හමුවේ  දැන් වාර්ාවේ පිටපතක් පාර්ලිමෙන්තු පුස්තකාලයට ලබා දී තිබේ/

ඉස්ලාමීය අන්තවාදයට බොදු බල සේනා අන්තවාදය උදව් වූ බව වාර්තාව සඳහන් කරයි.

මෙම කමිටුවේ සමාජිකයකු වන ජෙන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රචන්ඩ ලෙස පුටු වලින් සිය ප්‍රතිවාදීන්ට පහර දුන් විශමාචාර චෝදන ලද පුද්ගලයෙකි. ඔහු වඩා ප්‍රසිද්ධ තබෑරුම් හිමියකු ලෙසය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊ බෝමබකරුවකු ගෙන ආ බවටද වරක් ඔහුට චෝදනාවක් එල්ල විය.

කමිටුවේ තවත් සාමාජිකයකු වන උදය ගම්මන්පිළ කකුල කටේ දමා ගැනීමේ වීරයෙකි. මෑතදී අගමැති රාජපක්ෂ ඔහුට පිස්සු යැයි කීවේ ඉන්දියාවට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි ආපසු ගන්නා බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි. පාසැල් ශිෂ්‍ය ශිෂාවන්ට පරිගණක ලබා දිමට පසුගිය ආන්ඩ්ව දරන ලද ප්‍රයත්නයට විරුද්ධ වෙමින් ඔහු කීවේ පරිඝනක මගින් පිළිකා ඇතිවන බවය. අනෙක් අතට ඔහු අගමැති රාජපක්ෂ පාර්ලිමේන්තුවෙහි කරන ලද ප්‍රකාශයක් අගමැති ප්‍රකාශයක් නොව පුද්ගලික ප්‍රකාශයක් යැයි හෙළා දැක්කේය.

තවත් සාමාජිකයකු වන රොහිත අබේගුණවර්ධනගේ අන්වර්ත නාමය රත්තරන් යනුය. ඔවුට එම නම ලැබුණේ යහපත් හැසිරීමක් නිසා නොවන බව කියැවේ.

තවත් සාමාජිකයකු වන ප්‍රසන්න රණතුංග බස්නාහිර පලාතේ ඇමැතිවරයකු ලෙස වංචාකාරී ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරනු ලබන දුරකථන සංවාදය සමාජ මාධ්‍ය හරහාද ප්‍රසිද්ධ වී තිබේ. තමා කියන පරිදි වැඩ නොකරන්නේ නම් ඊළඟ වතාවේ අඩුකඩන බවට එහි ප්‍රසන්න රණතුංග තර්ජනය කරයි. මෑතදී සිය දියණියට ඕස්ටේ‍ර්ලියාවෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස රැකියාවක් ලබා ගැනීම ගැන ඔහු කීවේ ආණ්ඩුවට විශ්වාශ අය තානාපති සේවයට ගත යුතු නිසා තම දියණියට එම තනතුර ලබා දුන් බවයි.

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ විරෝධයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සය පුද්ගල කමිටුවේ සමාජිකයන් තෝරා ගනු ලැබුවේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බවයි. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනපති කොමිසමේ වාර්තාව මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ද ජනාධිපති කාර්යාලය විසින් මෙම කමිටුවට යොමු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. කමිටුව ලබන මස 15 වැනි දිනට පෙර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news