පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සලකා බලන සේ ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ කර තිබුනද ඔහු වැරදිකරුවකු කිරීම ලෙහෙසි නැතැයි ජේෂ්ඨ නීතිවේදියකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.
එවැනි නඩුවක් ඔප්පු කිරීම දුෂ්කරවිමට මූලික හේතුව නම් ජනාධිපති සිරිසේන මෙම ප්‍රහාරය පිළිබඳව කල්තබා දැන සිටි බවට කිසිදු සාක්ෂියක් නැතිවීමය. ඔහු දැන සිටින්නට ඇතැයි යන ප්‍රබල උපකල්පනය නඩු විභාගයකදී සාක්ෂියක් වන්නේ නැත. එය සාක්ෂයක් වීමට නම් පරිවේනීය සාක්ෂි මගින් එය සනාථ කළ යුතුය.
සිරිසේන සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නිරන්තර සම්බන්ධයක් පවත්වා ගෙන ගිය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමා මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා කල්තබා දැනුවත් කළේ නැතැයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
එසේ නමුත් ඔහු ජනාධිපතිවරයා සමඟ කතාබහ කළ ජංගම දුරකථනයේ දත්ත සියල්ල ඔහු විසින් මකා දමා තිබුණී. ඉට හේතුව වශයෙන් නිලන්ත ජයවර්ධන දැක්වූයේ සිය දුරකථනය තම බිරිඳට දුන් බවත් ඒ නිසා පැක්ටරි රිසෙට් ක්‍රමයට එහි තිබූ තොරතුරු මකා දැමූ බවත්ය. සිය බිරිදට එම දුරකථනය ලබා දන්නේ ඇයිද යන ප්‍රශ්ණයට පිළිතුරක් ඔහු දුන්නේ නැත.
දැන් ශාන්ත ප්‍රැන්සිස් පියතුමා යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවක දී කියා ඇත්තේ මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ පිළිබදව 2019 මාර්තු 26වනදා තමා ජනාධිපතිවරයාටත් පොලිස් සේවයේ ඉහළ නිලධාරීන්ටත් දැන් වූ බවයි.එසේ නමුත් ඔහු පාස්කු කොමිසමට සාක්ෂි දී නැත. මෙම විඩියෝව අනුව කියැවෙන්නේද සිරිසේන එය බාරදූර ලෙස නොසැළකූ නමුත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන ලද බවයි.
එම වීඩියෝව මෙහි දැක්වේ. https://www.facebook.com/watch/?v=895752964596855
අපරාධමය නොසැළකිල්ල යන චෝදනාව සනාථ කිරීමට නම් නිශ්චිත සාක්ෂි තිබිය යුතු බව එකී නීතිවේදියා පෙන්වා දෙයි. එම අවස්ථාවෙහි රවෙහි නොසිටීම වරදක් ලෙස සනාථ කළ නොහැකි බවද කියැවේ.
නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයකු පත් නොකිරීම මෙයට පෙර පවා සිදුව ඇති බවත් එය වරදක් විය හැක්කේ් රටෙහි බිහිසුණූ තත්වයක් ඔහු රටින් බැහැර වන විට තිබුණේ නම් පමණක් බවත් දේශපාලන සහ නීති ආරංචි මාර්ග පවසති.
එසේ නමුත් මෙම ප්‍රහාර පිළිබඳ කල්තබා දැන සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යනාදීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට කර ඇති නිර්දේශයට පදනමත් ඇතැයි ද නීති අංශ ප්‍රකාශ කරයි.
හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම සිය නිර්දේශ මගින් ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති නමුත් දැනටමත් එම චෝදනාවන්ගෙන් ඔවුන් නිදහස් වී තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇතත් වත්මන් රජයේ බලකණවක් වන දේශබන්දුට දඩුවමක් ලැබෙනු ඇතැයි සිතීම ඉතා දුෂ්කරය.
කොමසමේ සමහර නිර්දේශ මගින් පෙන්වන්නේ රට බිහිසුණූ අනතුරක් හමුවේ සිටින බවත් එය කල්පනා කර ඇති බවයි. යුද සමයේ පවා නොතිබුණු පරිදි හෝටල්වලට පැමිණෙන අයගේ වාර්තා තෙවසරක් පවත්වා ගැනීම, සියළු රාජ්‍ය නොව සංවිධාන රජයේ රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය යටතට ගැනීම වැනි නිර්දේශ පෙන්වන්නේ කොමිසමට යථාර්තවාදී අවබෝධයක් තිබී නැති බවයි. තහනම් කළ යුතු බෞද්ධ ආන්තික සංවිධාන අතරට බොදු බල සේනා පමණක් නම් කිරීමද ප්‍රශ්ණකාරීය.
සහරාන් ඇතුළු පිරිසකට ආරක්ෂක අමාත්‍යාශයෙන් මුදල් ගෙවා තිබීම පිළිබද කිසිදු විමසීමක් කිරීමට කොමිසම සමත්වී ඇති බවත් පෙනෙන්නට නැත.
එළෙස මුදල් ගෙවන ලද ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අති විශාල රහසිගත ගිනුම පිළිබද කිසිවක් කොමිෂන් වාර්තාවේ නැත. බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දෙන ලද නමුත් එම රහසිගත වැය ශිර්ෂය දැන් බ්‍රිතානයයෙහි විගණනය කැරේ. ඉන්දියවෙහිද එම වැය ශිර්ෂය විගණනය වෙයි.
ශ්‍රී ලංකාවේ එම ගිනුම සාමාණයෙන් අමාත්‍යාංශයක වැය ශීර්ෂයට වඩා විශාල වන බව කියැවේ. එය කිසිදු විගණනයකට යටත් නැත.
කොමිසමේ සමහර නිර්දේශ ශ්‍රී ලංකාව යුද්ධයකට මුහුණ දී සිටින රටක් ලෙස සළකා කරන ලද බව පෙනේනට තිබේ යැයිද දේශපාලන අංශ සඳහන් කරති.
මුස්ලිම් ආගමික ස්ථාන ගොඩ නැගීමේදී ජනගහනයේ අනුපාතය අනුව එය කළ යුතුයැයි කොමිසමේ නිර්දේශය බෞද්ධයින්ට අදාළ කළහොත් උතුරු නැගෙනහිර දැනට ගොඩ නගිමින් පවතින ආගමික ස්ථාන නතර කිරීමට සිදුවනු ඇත. නමුත් එය බෞද්ධයිනට අදාළ කළ යුතු යැයි වාර්තාවේ සඳහන් වන බවත් පෙනෙන්ට නැත.
එමෙන්ම පාසල්හි ශිෂ්‍ය ශිෂයා අනුපාතයද අදාළ පලාතෙහි ජනවාර්ගික අනුපාතය අනුව සිදුවිය යුතු යැයි යන නිර්දේශයට බෞද්ධ සමාජ පිරිස් මීට පෙරද විරුද්ධ වී තිබේ. රාජපක්ෂවරුන් එවැනි නිර්දේශයක් අනුගමනය කරනු ඇතියි සිතීම ද ඉතා දුෂ්කරය.
කොමිසම විසින් සමයාන්තර ආගම් ඉගැන්වීම වැනි ඉතා ඉදිරිගාමී නිර්දේශද කර තිබේ. සමස්තයක් ලෙස ගත්විට නිර්දේශ අච්චාරුවක් බව පෙනේනට ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.