Friday, July 19, 2024

කොරේ පිට මරේ: කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම ඉටු කරනු! – ඉන්දියාව අනතුරු හඟවයි

ඡාායරූපය lankaleadnews වෙතිනි.

රාජ්‍ය තාන්ත්‍රික මඩ ගොහොරුවල එක දිගට එරෙමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව දැන් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සම්බන්ධයෙන් ඇනගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  දකුණු ඉන්දියානු ධීවරයින් මරා දමන ලදැයි ඉන්දියාව ශ්‍රී ලංකාවට බරපතල තානාපති විරෝධයක් දක්වා ගතවී ඇත්තේ සති කිහිපයක් පමණි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ හවුල්ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට ඇතිකරගත් ගිවිසුම අනුව කටයුතු නොකරන බවත් එය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අද එනම් පෙබරාවාරි 01 දා අගමැති රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දියාව සිය ස්ථාවරය කොළඹ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ මෙම ප්‍රතිචාරය හදිසි සහ බරපතල එකකි.

එයින් කියැවෙන්නේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාණ්ඩුවට දන්වා ඇති බවයි.

මෙම ගිවිසුමට ඇමෙරිකාවද පක්ෂපාතිත්වය දැක් වූ අතර වරාය වෟත්තීය සමිති සහ බහුජන ව්‍යාපාර ඊට එරෙහිව උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කළෝය. එම උද්ඝෝෂන පිටුපස අව්‍යාජ බලවේග මෙන්ම චීන හිතවාදී පිරිස්ද සිටියහ.

චීනය මෙම පර්යන්තය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කිරීමට විරුද්ධය..

නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ, ජපානයේ සහ ඉන්දියාවේ ආණ්ඩු තුන අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කරන ලද්දේ  2019 මැයි 28 වන අඟහරුවාදා කොළඹදීය. ඉන්පසු වත්වන් ආණ්ඩුවද එම ගිවිසුම අනුව කටයුතු කිරීමට තීරණය කළේය.

මෙම රටවල් තුනේ සහභාගීත්වයෙන් ECT සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු, ජපාන සහ ශ්‍රී ලංකා රජයන් අතර 2019 මැයි මාසයේදී අත්සන් කරන ලද ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම (MOC) කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ අපේක්ෂාව නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමි. කොළඹ ඉන්දියානු මහ කොමසාරිස කාරයාලය කොළඹ වෙබ් මාධ්‍ය ගණනාවකටම ප්‍රකාශ කර තිබේ.

වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයින් එම ගිවිසුම ක්‍රියාත්මක කරන බවට තමන්ට පොරොන්දු වු බවද ඉන්දියාව ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමඟ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයද මීට මාස තුනකට පෙර තීරණයක් ගත් බවත් පවත්නා අවබෝධය සහ කැපවීම සෑම පාර්ශ්වයක්ම දිගටම පිළිපැදිය යුතු බවත් ඉන්දියාව ප්‍රකාශ කරයි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසුව නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහයට ප්‍රදානය කිරීමට තීරණය කළ බව වාර්තා විය.

තමා මෙම ගිවිසුම ක්‍රියාත්මක කරන බවත් එහි වගකීම තමා ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින ගණනාවකට පෙර කියා සිටියේය. නමුත් ආණ්ඩුව තුළ සිටින මහින්ද රාජපක්ෂවාදී පිරිස් ගෝඨාභය රාජපක්ෂගේ එම ප්‍රකාශයට වක්‍ර ලෙස පහරදීමට පටන් ගත්හ.

දැන් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂවාදී බලවේග වරාය සටනින් ජයගෙන ඇති බව යැයි දේශපාලන විචාරකයෝ පවසති. එසේ නමුත් දැනටමත් ජපානය සමඟ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්දයෙන් ගැටුමකට එළඹ සිටින රාජපක්ෂවරුන් මෙමගින් තවත් රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයකට දැන් එළඹ ඇති බවත් එය අහිතකර විපාක ඇති කළ හැකි බවත් විචාරකයෝ පවසති.

Archive

Latest news

Related news