Monday, May 20, 2024

ළමා අපයෝජක චූදිත නිරන්ත එදිරිසිංහ ගේ සහකරු වූ දොස්තර උපුල් හේවා නීතියේ සිදුරෙන් පැන යයි

බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්ඩංගුවට ගත් පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුවෙකු වූ නිරන්ත එදිරිසිංහ ගේ සහායක මෙන්ම ඔහුව මෙහෙයවන ලද උපුල් හේවා නම් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වෛද්‍යවරයා කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව නිදහස් වී තිබේ.

නිරන්ත එදිරිසිංහ විසින් උපක්‍රමශීලීව බාලවයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන කටයුතු සඳහා යොදවාගෙන එම සිද්ධීන් වීඩියෝ ගත කර විදේශ රටවලට අලෙවි කර මුදල් ලබාගන්නා බවට බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්ඩංගුවට ගන්නා ලද අතර මේ වන විට ඔහු රිමාන්ඩ්භාරයේ සිටියි. ප්‍රශ්න කිරීමේදී නිරන්ත එදිරිසිංහ විසින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන උපුල් හේවා පිලිබඳව හෙළි කරන ලද අතර එහිදී ඔහුද මෙම ජාවාරමේ හවුල්කරුවෙකු බව හඳුනාගන්නා ලදි.
මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහ විසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගනනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය. මොවුන් දෙදෙනා එකතු වී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුව දේශපාලන බලපෑම් මත නිරන්ත එදිරිසිංහ විසින් උපුල් හේවා පිලිබඳව හෙළි කරන ලද කට උත්තරය වෙනස් කොට තිබේ. තවද  මෙම ළමා අපයෝජන පිලිබඳ මූලික පරීක්‍ෂණ පවත් වන ලද වරුණී බෝගහවත්ත මහත්මියද මාරු කරන ලදි.

උපුල් හේවා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව සහ ඕස්ට්‍රේලියානු ළමා කාම අපරාධ බියුරෝව පරීක්‍ෂණ ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ විමර්ශකයන් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට උපුල් හේවා ගේ ළමා අපයෝජන වාර්තා ලබා නොදීම නිසා එම විමර්ශන අතරමඟ නැවතී තිබේ. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන අන්තර්ජාතිකව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ළමා කාම වීඩියෝ ජාවාරම පිලිබඳ විමර්ශණ කටයුතු වලදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ඕස්ට්‍රේලියානු බලධාරීන්ට ප්‍රමාණවත් සහායක් ලබා දී නොමැත. මේ නිසා වෛද්‍ය උපුල් හේවාට විරුද්ධව පියවර ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් අපොහොසත් වී තිබේ.   මේ වන විට දොස්තර උපුල් හේවා ඕස්ට්‍රේලියානු බලධාරීන් ගේ පූර්ණ ආවේක්‍ෂණයක් යටතේ සිටින අතර ළමුන් සම්බන්ධ ක්‍රියාකාරකම් වලට සහභාගි වීම සඳහා ඔහුට සීමා පනවා තිබේ. එහෙත් ඉන්ටපෝල් ආයතනය උපුල් හේවා පිලිබඳ දත්ත ඔවුන් ගේ වාර්තා වලට ඇතුල් කරගෙන ඇත.

නිරන්ත එදිරිසිංහ ගේ හවුල්කරු වූ උපුල් හේවා වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ රෝහල් කීපයක සේවය කොට ඇති අතර සෑම රෝහලකදීම ඔහු විසින් විවිධ නම් භාවිතා කොට තිබේ. එක් රෝහලකදී ඔහු කුමාර ජයසිංහ වූ අතර තවත් රෝහලකදී  උපුල් ජයසිංහ ලෙසට තමන්ව හඳුන්වාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවට යාමට පෙර උපුල් හේවා  මහනුවර ශික්‍ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ලද අතර ඔහු විසින් නව හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙම සිදුවීම ශල්‍ය වෛද්‍ය විශේසඥ පරාක්‍රම වෙල්ගම සහ ඔහුගේ බිරිඳ වූ විශේසඥ ළමා වෛද්‍ය හේමා වෙල්ගම මැදිහත්වී පොලිස් මැදිහත්වීමකින් තොරව සමථයකට පත් කොට ඇත. එම සිදුවීමෙන් පසුව ඔහු මහනුවර ශික්‍ෂණ රෝහලේ සේවය අතහැර ඕස්ට්‍රේලියාවට යන ලදි.

මෙම වෛද්‍යවරයා  විසින් මේ වන විට විශාල වශයෙන් මුදල් වියදම් කරමින් තමන්ට එරෙහිව තිබෙන සාක්‍ෂි විනාශ කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.  තවද ඔහුට බලවත් දේශපාලකයෙකුගේ සහාය ලැබී ඇත. බ්‍රයන් ජෝන් සැඩික් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන්  මෙම දේශපාලකයා අත් අඩංගුවට පත් වූ විටදී  වෛද්‍ය උපුල් හේවා අදාල දේශපාලකයාට මුදලින් උපකාර කිරීම නිසා ඊට හිලව්වක් ලෙස එම දේශපාලකයා අපයෝජකයන් දෙදෙනා විශේෂයෙන් වෛද්‍ය උපුල් හේවා ගලවා ගැනීමට ක්‍රියා කල බවට වාර්තා වෙයි.

ළමා අපයෝජකයන් විසින් ජාතික පුවත්පත් වලටද බලපෑම් කොට තිබීම නිසා ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම යටපත්වී තිබේ. බොහෝ පුවත්පත් මෙම විශාල අපයෝජනය හමුවේ මුණිවත රකිති.  මේ අනුව  ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය යට යාමටත් අපයෝජකයන් නීතියෙන් ගැලවී යාමත් සිදුවීම නියත බව  ළමා අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන ක්‍රියාකාරීන් පවසති.
විශේෂ වාර්තාකාරිනියක විසිනි.

Archive

Latest news

Related news