Monday, May 20, 2024

විපක්ෂ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ දියහැකි කොමිසම පත්කරයි.

ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකයින් ගේ ප්‍රජා අයිතිය අහොසි කිරීම සඳහා නිර්දේශ ලබා දිය හැති විශේෂ ජනාධිපති කොමිසමක් අද (29) පත් කරන ලදී.

මෙම කොමිසම පත්කර ඇත්තේ එකී අවසන් වාර්තාවේ අයිතම අංක 08, 09 සහ 10 යටතේ දැක්වෙන තීරණ සහ නිර්දේශ සඳහා පමණය. එම නිර්දේශ මගින් රනිල් වික්‍රමසිංහ, ආර්.සම්පන්දන්, සුමන්දිරින්. රවුෆ් හකීම්, මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, චම්පික රණවක, ජයම්පතී වික්‍රමරත්න, ජේ.සී.වැළිඅමුන, අතුලු තවත් කිහිප දෙනෙකුම වරදකරුවන් කර තිබේ. 

මෙම කොමිෂන් සභාවේ සභාපති වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන වන අතර ඔහු 20වන සංසෝධනය විමසා බැලූ බහුතර  විනිසුරුවන්ට වෙනස්ව ජනාධිපතිවරයාට සම්පූර්ණ මුක්තිය තිබිය යුතු බවට තීරණයක් ප්‍රකාශයට පත් කළේය.

මෙම කොමිසන් සභාාාව සිය තීරණය තෙමසක් ඇතුලත එනම් 2021 අප්‍රෙල් 29වන දින ලබාදිය යුතු අතර කොමිසමට අවශ්‍ය නම් සිය විභාගය රහසිගතව පැවැත්වීමටද අවසර ලබා දී තිබේ.

එම ගැසට් නිවේදනය මෙහි දැක්වේ. එය පීඩීඑෆ් ගොනුවක් ලෙස පහත අමුණා ඇත.

1. ගරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මැතිතුමා

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර

2. ගරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ මැතිතුමිය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර

3. ගරු රත්නප්‍රිය ගුරුසිංහ මැතිතුමා

අභියාචනාධිකරණ විනිශ්චයකාර

වෙත,

සුභාශිංසන පූර්වකවයි!

පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි (393 වන අධිකාරය) 2 වන වගන්තියෙන් මාවෙත පැවරී ඇති බලතල ප්‍රකාර, 2015 ජනවාරි මස 08 වන දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ සහ/හෝ පිළිවෙලින්, 2015 ජනවාරි මාසයේදී හා අගෝස්තු මාසයේ දී පැවති ජනාධිපතිවරණයට සහ/හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තෙකුට හෝ තැනැත්තන්ට සෘජුව හෝ ව්‍යාංගයෙන් සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගෙන විමර්ශනය කිරීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව වෙළුම් 03 කින් සහ ලිපිදෝෂ සහ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම යන පරිශිෂ්ඨයෙන් ද සමන්විතව මා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එකී අවසන් වාර්තාවේ අයිතම අංක 08, 09 සහ 10 යටතේ දැක්වෙන තීරණ සහ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී අවසන් වාර්තාවේ සඳහන් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අවධානයට ලක් කරමින් ද

එකී තීරණ සහ නිර්දේශවල දැක්වෙන අන්දමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොදැක්වෙන සහ එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවා ගත් ජාතික විධායක සභාවක් මගින් සහ දූෂණ මර්දන කොමිටිය නැමැති දේශපාලන සංවිධානයක් විසින් ඉහත කී පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අයිතම අංක 09 සහ 10හි සඳහන් පැමිණිලිකරුවන් සෘජුව හෝ වක්‍රව දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන වලට පටහැනිව පිහිටුවාගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නැමැති පොලිස් ඒකකයක් මගින් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බැව් එකී අවසන් වාර්තාවේ තීරණවල සහ නිර්දේශ වල දැක්වෙන බැවින් ද,

ඒ අනුව, උක්ත සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දැක්වෙන අයිතම අංක 08 යටතේ සඳහන් වන තීරණ අංක 1 සහ නිර්දේශ අංක 1 ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසින් නිර්දේශ කරන වෙනත් සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බැව් සැලකිල්ලට ගනිමින් ද,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරන්ධර ගෝඨාභය රාජපක්‍ෂ වන මම, ඔබතුමන්ලාගේ විචක්ෂණභාවය,

සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත්වූ භක්තිය හා විශ්වාසය තබමින්, 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර පූර්වෝක්ත ඔබතුමන්ලා එනම්,අශක්නුතාවකට යටත් කල යුතු බැවින් නිර්දේශ කිරීම පිණිස ද මාගේ කොමසාරිස්වරයන් වශයෙන් මෙයින් පත් කරමි.

තවද, පූර්වෝක්ත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ගරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මැතිතුමා වන ඔබ මෙයින් පත් කරමි.

තවද, උක්ත සඳහන් කරුණු විමර්ශනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යැයි ඔබට පෙනීයා හැකි සියළුම පරීක්ෂණ පැවැත්වීමටත්සෙසු සියළුම විමර්ශනයන් සිදු කිරීමටත්, ඉහත කී කොමසාරිස්වරුන් වන ඔබතුමන්ලාට මා මෙයින් බලය හා අධිකාරිය පවරන අතර

මේ අධිකාරි පත්‍රයෙහි දින සිට මාස තුනක් ඇතුළත අවශ්‍ය පරීක්ෂණ සහ විමර්ශන සිදු කර ඔබතුමන්ලාගේ නිගමනයන් සහ නිර්දේශ පනවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තා ඔබතුමන්ලාගේ අත්සනින් යුතුව මා වෙත ඉදිරිපත් කරන ලෙස ඔබතුමන්ලාට මෙයින් නියම කරමි.

තවද, පූර්වෝක්ත කාරණයන්ට අදාළ කිසියම් විමර්ශනයක හෝ පරීක්ෂණයක යම් කොටසක් ප්‍රසිද්ධියේ නොපැවැත්විය යුතු

බවට ඔබතුමන්ලාගේ අභිමතය පරිදි නිශ්චය කරනු ලැබේ නම්, එම කොටස ප්‍රසිද්ධියේ නොපැවැත්විය යුතුයැයි මම ඔබතුමන්ලාට

මෙයින් නියම කරමි.

තවද, පරීක්ෂණයන්හි හෝ විමර්ශනයන්හි කාර්යයන් සඳහා ඔබතුමන්ලා විසින් සහාය හෝ තොරතුරු ඉල්ලා සිටිනු ලැබිය

හැකි සියළුම රජයේ නිලධරයන් සහ වෙනත් තැනැත්තන් විසින් තත්කාර්යය සඳහා නිසිපරිදි දෙනු ලැබිය හැකි සියළුම සහාය දිය යුතු

යැයිද, සපයනු ලැබිය හැකි සියළුම තොරතුරු සැපයිය යුතුයැයිද මෙයින් නියම කොට විධාන කරමි.

තවද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන එකී පනතේ 14 වන වගන්තියෙහි විධිවිධාන මෙම විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ වියයුතු බවට මම මෙයින් නියම කරමි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුද්‍රාව යටතේ වර්ෂ දෙදහස් විසිඑකක් වූ ජනවාරි මස 28 වන දින වන මෙදින කොළඹ දී දෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි,

පී.බී. ජයසුන්දර,

ජනාධිපති ලේකම්.

Special CoI on opposition leaders 290121 -2212-53_S

Archive

Latest news

Related news