ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත්, ජනාධිපතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීමත් සිදු විය. එහෙත් එම කොමිසමේ නිර්දේශ මගින් අධිකරණ ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් ප්‍රමාණවත් සංවාදයක් ඇති වූයේ නැත.
මේ කොමිසම පිහිටුවීමේ අරමුණ ලෙස ‘2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ යනුවෙන් දක්වා ඇත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පිහිටවූ මේ කොමිෂන් සභාව, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ හිටපු අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලකගේ සාමාජිකත්වයෙන් සමන්විත විය.
සභාපති විනිසුරුගේ කතාව
මේ කොමිසමේ සාමාජිකයන් ලෙස අදාළ නිර්දේශ ලබාදුන්නේ කවුද, ඔවුන්ගේ සුදුසුකම් කුමන ආකාර ද යන්න සම්බන්ධයෙන් ද සංවාදයක් අවශ්‍ය ය. කොමිසමේ සභාපති ධුරය දරන ලද්දේ උපාලි අබේරත්න හිටපු විනිසුරුවරයා ය. මේ සභාපති විනිසුරු අධිකරණ සේවයේ සිටියදී නීතිය විෂමාචාර ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වූවෙකි. ඒ 1999 වර්ෂයේදී ය. රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලියූ නොනිමි අරගලය කෘතියේ මේ සම්බන්ධයෙන් තොරතුරු සාක්ෂි සහිතව සඳහන් ය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමඟ එක්ව මෙම විෂමාචාරය කළ බවට චෝදනා එල්ල විය. එවකට උපාලි අබේරත්න විනිසුරුවරයා කොළඹ දිසා අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය.
වරලත් රසායන ඉංජිනේරුවකු වූ ඩබ්ලිව්.ඒ.බී. ජයසේකර සිය බිරිඳට හා සරත් නන්ද සිල්වාට එරෙහිව අනාචාර නඩුවක් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කළේ 1993 දෙසැම්බර් 15 දා ය. සිය බිරිඳ ඔහු අතහැර සරත් නන්ද සිල්වා සමඟ ජීවත් වන බවත්, සරත් නන්ද සිල්වා ද දික්කසාද වූ අයෙකු නොවන බැවින්, මෙය අනාචාරයක් බවත් කියමින් ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ මේ නඩුව ගොනු කර තිබේ.
යුක්තිය ඉටුකළ අයෙක් ද?
එම පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව, පැමිණිල්ලේ අඩුපාඩු සකස් කිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදී දිසා විනිසුරු උපාලි අබේරත්න විසින් ඉවත දමන්නේය. පසුව ඔහු නැවතත් 1994 ජුනි 10 දා තවත් පැමිණිල්ලක් දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, එහිදී උපාලි අබේරත්න විනිසුරුවරයා පැමිණිලි පාර්ශ්වයේ කිසිදු විමසීමකින් තොරව පළමු වගඋත්තරකරු වූ සරත් නන්ද සිල්වා වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරනු ලැබීය. ඉන් නොනැවතුණු විනිසුරුවරයා තමන් විසින් පනවන ලද නියෝගය සම්බන්ධයෙන් අභියාචනයකට ඉඩ නොතැබීම පිණිස පැමිණිලි පාර්ශ්වයට දින 14ක් යන තුරු නියෝගයේ පිටපතක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබිණි. එනම්, ඔහු එම නඩු ගොනුව තමන් භාරයේ තබා ගනිමින් පැමිණිල්ල රස්තියාදු කර තිබිණි.
පැමිණිලි පාර්ශ්වය දින 14කට පසු නියෝගයේ පිටපතක් ලබාගෙන නැවත අභියාචනයක් ඉදිරිපත් කළද, දින 14කට පෙර එය ඉදිරිපත් නොකිරීමේ පදනම ඉදිරිපත් කරමින් විනිසුරුවරයා අභියාචනය ද ප්‍රතික්ෂේප කළේය. පසුව විනිසුරුවරයා පැමිණිල්ලට අපූරු යෝජනාවක්ද කර ඇත. එනම්, වගඋත්තරකාර තත්ත්වයෙන් සරත් නන්ද සිල්වා ඉවත් කර ඇති බැවින්, දැන් වගඋත්තරකරුවකු ලෙස සිටින්නේ ඔහුගේ බිරිඳ පමණක් බැවින්, දික්කසාදය ගෙන නඩුව සමථයකට පත් කර ගන්නා ලෙස ය. පැමිණිලිකාර වරලත් ඉංජිනේරුවා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුපිත වී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ඔහුට බැණවැදී තිබේ. ඉන් නොනැවතී පැමිණිල්ල ඉදිරිපත් කළ ලිඛිත විරෝධය ද සලකා බැලීම ප්‍රතික්ෂේප කරමින්, අදාළ කාන්තාවට මසකට රුපියල් 10,000ක නඩත්තු ගාස්තුවක් ද, රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ද ගෙවීමට නියම කර ඇත.
එය නඩත්තු විධාන සංග්‍රහයට පටහැනි ක්‍රියාවකි. ඔහු නීතිය අතට ගනිමින් එසේ කටයුතු කොට එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වූ සරත් නන්ද සිල්වාගේ අවශ්‍යතාවක් ඉටුකර ඇතැයි තහවුරු වී තිබේ. පසුව පැමිණිල්ලේ නීතිඥයා විසින් නඩු ගාස්තු හා නඩත්තු ගාස්තු අය කිරීමේ නියෝගයට එරෙහිව සංශෝධන නඩුවක් යළිත් ගොනු කරඇත. එහෙත් එම ප්‍රතිශෝධන ඉල්ලීමද පසෙක ලා වගඋත්තරකාරියගේ හිමිකම් චෝදනාව විභාගයට ගනිමින්, දික්කසාදයට ඇයට අවසර දී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා ඇගේ නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 10ක වන්දියක් ද නියම කර තිබේ.
අධිකරණවල සඟවන පැත්ත
දිගින්-දිගටම තමන්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණයට එරෙහිව රසායන ඉංජිනේරුවා සිය දුක්ගැනවිල්ල අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇත. අධිකරණ සේවා කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ ද, ඒ වන විට අභියාචනාධිකරණ සභාපති ලෙස කටයුතු කළ සරත් නන්ද සිල්වාගේ මැදිහත්වීමෙන් එය යටපත් විය. වරලත් රසායන ඉංජිනේරු ජයසේකර 1995 ජුනි 10 දින අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පෙර, 1994 සැප්තැම්බර් 24 දින ද සිද්ධිය පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ. එවකට අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි.
එවකට අගවිනිසුරු ලෙස කටයුතු කළේ ජී.පී.එස්. ද සිල්වා ය. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූයේ, පිළිවෙළින් තිස්ස බණ්ඩාරනායක සහ මාක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ය. අගවිනිසුරුවරයා ජයසේකරව පෞද්ගලිකව හඳුනන බැවින්, ඔහු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාගයෙන් ඉවත්වූයේ, සෙසු සාමාජිකයන්ට පැමිණිල්ල විභාග කිරීමට අවස්ථාව ලබාදෙමින් ය. ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් 1994 නොවැම්බර් 08දා අධිකරණ සේවා කොමිසම විසින් උපාලි අබේරත්න විනිසුරුවරයාට යවන ලදි. පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ. 1994 නොවැම්බර් 11 දින දිසා විනිසුරුවරයා සිය නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳව දීර්ඝව විමර්ශනය කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා උපාලි අබේරත්නට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර ඇත. ඔහු ඒ වන විට කුරුණෑගල දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිට තිබේ. විෂමාචාරයේ යෙදීම ගැන ඔබ සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් ආකාරයකින් ඔබට විරුද්ධව කටයුතු නොකිරීමට හෝ හේතු ඇතොත් දන්වන ලෙස එම චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ. 1996 පෙබරවාරි 12 දින යොමු කළ එම චෝදනා පත්‍රයට අනුව දිසා විනිසුරුවරයාට හේතු දැක්වීමට මාසයක කාලයක් ලබා දී ඇත.
අභියාචනාධිකරණ සභාපති ධුරයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ සරත් නන්ද සිල්වා පසුව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු වීම මත නීතිපති ධුරයට පත්කෙරිණි. උපාලි අබේරත්න ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාවලට පිළිතුරු දිය යුතු අවසන් දිනය වූයේ 1996 මාර්තු 12දා ය. සරත් නන්ද සිල්වා නීතිපති ලෙස පත්වූයේ 1996 මාර්තු 01 දා ය. ඒ සමඟම දිසා විනිසුරුවරයා චෝදනා පත්‍රයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා පමණක් නොව, ඔහුට එරෙහිව ආරම්භ වී අවසානයක් කරා යමින් තිබූ පරීක්ෂණ ද යටපත් විය.
වික්ටර් අයිවන් ප්‍රමුඛ අරගලය
අධිකරණ සේවා කොමිසම මඟින් ඒ වන විට දිසා විනිසුරුවන් දෙදෙනකුට එරෙහිව පරීක්ෂණ කොට තීන්දු ගෙන තිබූ අතර, ඔවුන් වූයේ ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න ය. නමුත් අධිකරණ සේවා කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක වීම කල්යෑමට එරෙහිව ‘රාවය’ පුවත්පත ගෙන ගිය දැඩි විරෝධය හමුවේ නීතිඥ සංගමය රැස් වී ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ යළිත් ආරම්භ කළ යුතු බවට අධිකරණ සේවා කොමිසමට දැනුම්දීමට තීන්දු කළේය. ඒ අනුව යළිත් උපාලි අබේරත්න හා ලෙනින් රත්නායක යන දිසා විනිසුරුවන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීන්දු කෙරුණු අතර, උපාලි අබේරත්නට එරෙහි පරීක්ෂණයට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරිණි. අභියාචනාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල්ගේ සභාපතිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වූ හෙක්ටර් යාපා සහ පී.එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පිහිටුවනු ලැබීය. දීර්ඝ විමර්ශනයකින් පසු ත්‍රිපුද්ගල කමිටුව ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට වරදකරු කර තිබේ. දිසා විනිසුරුවරයා 1999 ජනවාරි 31 දින සිට අනිවාර්ය විශ්‍රාම ගන්වා ඒ බව ඔහුට දැන්වීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇත.
සරත් නන්ද සිල්වාගේ සමීපතම මිතුරකු වූ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මේ පිළිබඳව අභියාචනයක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළේ කොමිසම ගත් තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලමිනි. ඒ වෙනුවෙන් හේතු ගණනාවක් ඔහු උපාලි අබේරත්න විනිසුරුවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණි. අභියාචනය විභාගයට ගත් අධිකරණ සේවා කොමිසම අනිවාර්ය නිවාඩු ගැන්වීමට ගෙන තිබුණු තීන්දුව අත්හිටුවා ඔහුව මොනරාගලට මාරු කිරීමට පියවර ගත්තේය. අධිකරණ සේවා කොමිසම පත්කළ පරීක්ෂණ කමිටු දෙකකින් වරදකරු කළ අයකුට කොමිසම ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම එවකට ජනමාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මේ ආකාරයට සියලු චෝදනාවලින් ගැලවී විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දක්වා පැමිණ ඇත.
හිටපු පොලිස්පතිට එරෙහි චෝදනා පහක්
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ අදාළ කොමිසමේ තවත් සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කියන්නේ ද පොලිස්පති වීමට පෙර මෙසේ බරපතළ චෝදනා එල්ල වූ තැනැත්තෙකි. ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින්, ඔහු පොලිස්පති ධුරයට පත්නොකරන ලෙස එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයයි. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය 2004 අගෝස්තු 31 දින ජනාධිපතිනියට යැවූ ලිපියකින් හිටපු පොලිස්පතිවරයාට චෝදනා පහක් ඉදිරිපත් කර තිබිණි.
එයින් පළමු චෝදනාව වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳී, වැටුප් රහිත නිවාඩුවක් වසර හතරක කාලයකට ලබාගෙන, ජපානයට ගොස් වසර පහක කාලයක් එහි රැකියාවක් කොට, නැවත මෙරටට පැමිණ, ඊළඟ ශ්‍රේණියට උසස්වීමක්ද ගෙන, වැටුප් රහිත නිවාඩු කාලයට හිඟ වැටුප් ලබාගැනීම ය. දෙවැනි චෝදනාව වූයේ 1985 මැයි 05 දා යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සිටියදී, චන්ද්‍රා ප්‍රනාන්දු යාපනය පොලිසියේ ආරක්ෂාව යටතේ යාපනය අධිකරණයට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රන් භාණ්ඩ සියල්ල කොල්ලකෑ බව ය. පැවති කලහකාරී වාතාවරණය මත යාපනය අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ සේප්පුවක තබා ඇත්තේ, ඔහු යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරද්දී බව ද අදාළ ලිපියේ සඳහන් ය. 1985 මැයි 05දා චන්ද්‍රා ප්‍රනාන්දු විසින් තමන්ගේ රියැදුරු වූ පොලිස් සැරයන් රාජරත්නම්ගේ උපකාරය ඇතිව පොරොවකින් පහර දී අදාළ සේප්පුව විවෘත කර ආරක්ෂාව සඳහා යැයි කියමින්, සියලුම රන් ආභරණ සිය භාරයට ගත් බවට චෝදනා එල්ල වී තිබේ. පොලිස් රියැදුරු රාජරත්නම් පසුව ඝාතනය විය. පසුව මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි එච්.එස්. ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණද, ජයසූරිය හා චන්ද්‍රා ප්‍රනාන්දු අතර තිබූ හිතවත්කම මත පරීක්ෂණ යටපත් වූ බව ද පොලිස් පරීක්ෂක සංගමය විසින් යොමුකළ ලිපියේ සඳහන් විය.
චන්ද්‍රිකාගේ නීච භුමිකාව
මීට අමතරව පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටිමින් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමේ තරග විභාග අක්‍රමවත් ලෙස හා විනිවිදභාවයකින් තොරව පැවැත්වීම නිසා සුදුසුකම් සහිත නිලධාරීන් රැසකට උසස්වීම් අහිමි වූ බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ. එසේම ඔහු උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටිමින් සුදුසුකම් නොමැති කාන්තා පොලිස් කොස්තාපල්වරියක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් කිරීමට බලපෑම් කළේ යැයි ද චෝදනා එල්ල විය. මේ ආකාරයේ චෝදනා රැසක් අදාළ ලිපියේ සඳහන් වන අතර, ඊට අදාළ සාක්ෂි ද ඇමුණුම්වලට ඇතුළත් කර ඇත. එම නිසා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් නොකරන්නැයි ද පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා ඇත. එහෙත් හිටපු ජනාධිපතිනිය ඔහුව පොලිස්පති ලෙස පත්කළාය.
උපුටා ගැනීම medialk.com