ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

1121
Michele Bachelet, Presidente of Chile speaks during Special Session of the Human Rights Council. 29 March 2017.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස් ගිණුම් තහනම් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ යෝජනා කර ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි.

ඇය විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ලබන පෙබරවාරි 22 දින ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 46වන වාර්යට ඉදිරිපත් කැරෙන යෝජනාව මගිනි.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළොඹගේ මේ බව සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

ජාත්‍යන්තර යුද අධිකරණයෙහි එවැනි පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු ආරම්භ කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බලා සාක්ෂි රැස් කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද ඇය විසින් යෝජනා කර තිබේ.

කොළඹගේ කියා ඇත්තේ මෙවර ඉදිරිපත් කැරෙන වාර්තාව පෙර ඉදිරිපත් කරන ලද වාර්තාවන්ට වඩා තදබල බවයි.

2020 මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ශ්‍රී ලංකාව කවුන්සිලය විසින් සම්මත කර තිබූ 30/1 සහ 40/1 දරන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවන්ගෙන් ඉල්ලා අස්විය. තමන් යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම්හි වගවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මගින් කරුණූ සොයා බලන බව එහිදී ප්‍රකාශ කළ නමුත් ඊයේ පෙරේදා වන තුරු එවැනි කිසිදු යාන්ත්‍රණයක් පිහිටුවා තිබුණේ නැත.

පසුගිය සතියේ නම් කරන ලද එම යාන්ත්‍රණය ඇස්බැන්දුමක් බව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මෙම සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් විසින් ඉදිරිපත් කරනු ඇති අතර ඊට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබෙනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි.

මහකොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාන්ඩුව වෙත යවා ඇති නමුත් තවමත් ඊට ප්‍රතිචාර ලබා දී නැත. ජනවාරි අගවන විට වාර්තාව ප්‍රසිද්ධ කැරෙනු ඇතැයි ද දැන ගන්නට තිබේ.