Saturday, April 20, 2024

මහර ඝාතනය වසං කිරීමේ ඇමැතිවරුන්ගේ කතා උසාවියේදී බොරු වුණා – නීතිඥ සේනක පෙරේරා

මහර බන්ධනාගාරය තුළදී ඝාතනය වූ සිරකරුවන් සම්බන්ධයෙන් ඇමැතිවරුන් වන විමල් වීරවංස සහ ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවට කී කතා දෝශ සහගත බව අධිකරණය ඉදිරියෙහි  හෙළිදරව් වූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

ඔහු  මේ බව ප්‍රකාශ කළේ ඊයේ සහ අද වැළිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි නීතිපති දෙපාර්ථමේන්තුව විසින් දක්වන ලද කරුණූ ගෙනහැර පාමිනි.

බන්ධනාගාර ගැටුමට හේතුව බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ නිසි පරිදි සිදු නොකිරීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර බන්ධනාගාරයේ ඝාතන පිළිබදව කරනු ලබන විමර්ශනයේදී හෙළි වී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ඊයේ එනම් දෙසැම්බර් 08 දා වැලිසර අධිකරණය හමුවේ කියා සිට තිබේ.

පසුගිය 02දා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මහර බන්ධනාගාර ඝාතන සම්බන්ධයෙන් නිසි පරීක්ෂනයක් ඉල්ලා අධිකරණය හමුවට ගියේය. ඒ් සඳහා දින නියම වූ 04 දින නීතිපති දෙපාර්ථමේන්තුව නොපැමිණි බැවින් නඩුව දෙසැම්බර් 11 දිනට කල් දමා තිබියදී ඊයේ මෝසමක් මගින් නඩුව කැදවා නීතිපිති දෙපාර්ථමේන්තුව මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී.

පාර්ලිමේන්තුවෙහි දී ඇමැති විමල් වීරවංස විසිින් මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කළහකාරී තත්වයට හේතුව මානසික රෝගීන්ට දෙන ඖෂධ පමණ ඉක්මවා පාවිච්චි කිරීම යැයි ප්‍රකාශ කරන ලද නමුත් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණය හමුවේ කියා සිට ඇත්තේ රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පානය කර මත්වී කලහකාරීව හැසිරි ඇති බවට සාක්ෂි නොමැති බවය.

එමෙන්ම බන්ධනාගාරය තුල වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබේ.  මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කරන පෙරටුගාමී පක්ෂයට ලැදි ලංකා විව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මහර රැඳවියන් 11 දෙනා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවත් අධිනීතිඥ නිශාරා ජයරත්න ඉදිර්පත් කරන ලද වාර්තාවෙහි සඳහන් වූ බවයි.

බන්ධානාගර කටයුතු සඳහා අලුතෙන් පත් කරන ලද ඇමැති ලොහාන් රක්වත්තේ පාර්ලිමේන්තුවට කියා සිටියේ එම සිරකරුවන් මියගොස් ඇත්තේ වෙඩි වැදී නොවන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශ කරන ලද මහර ඝාතන පිළිබඳ වාර්තාව දැක් වූ පරිදි රැඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී එය ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතුව කෝඩිඩ් ආසාදිතයන් පිළිබඳ ප්‍රශ්ණයක් බවද නීතිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

විමල් වීරවංශ පමණක් නොව  පොලීස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පොලීසිය බාර ඇමැති සරත් විරසේකරද ගැටුමට හේතුව රැඳවියන් මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පානය කිරීම බව ප්‍රකාශ කළේය.

ඝාතනය වූ සිරකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂන තවමත් සිදු කොට නැත. ඒ සදහා පත් කරන ලද වෛද්‍ය කමිටුවට අගතියට පක් පාර්ශවයේ අයිතිවාසිකම් නියෝජනය කිරීමට වෛද්‍ය විද්‍යා මහාචාරිනී ජීන් පෙරේරා පත් කිරීමට නීතිපති දෙපාර්ථමේන්තුව අද එනම් 09දා අධිකරණය හමුවෙහි එකඟතාවය පළ කළේය.

ප්‍රථමයෙන් නීතිපති දෙපාර්ථමේන්තුව කියා සිටියේ එවැනි අවශයතාවයක් නැති බව යැයි සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් පැවසීය. එම කමිටුව දැන් පස් දෙනෙකුගෙන් සමන්විතය. නියෝජ්‍ය රස පරීක්ෂක පී.ජී. මඩවල මහතා එයට ඇතුළත් කිරීමට අද තීරණය කරන ලදී.

මෙම මරණයන් ගැන විවිධ ප්‍රකාශ සිදු කර ඇති බැවින් පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වු වහාම එම සිරුරු අදාහනය කිරීමට නීතිපති දෙපාර්ථමේන්තුව අවසර ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊට අවසර නොදුන්නේය.

එසේ වහාම ඝාතනය වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු කළ යුත්තේ ඔවුන් කොවිඩ් අසාදිත බැවින් ජීවත්වන අයගේ හිත සුව පිනිස යැයි නීතිපති දෙපාර්ථමේන්තුවේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ මෙම ඝාතන පිළිබඳව කැරෙන නිසි පරීක්ෂණයක් මගින් පමණක් ජීවත්ව සිටින අයගේ ජිවිත සුරැකෙනු ඇති බවයි.

Archive

Latest news

Related news