Thursday, July 18, 2024

ත්‍රවැප යටතේ මාස 06ක් නඩු නැතිව සිරගත කර සිටින තරුණ කවියා: අහ්නාෆ් ජසීම්

අහ්නාෆ් ජසීම් නම් විසිපස් හැවිරිදි තරුණ කවියා මේ වන වි‌ෙ මාස හයකට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඇතැයි වජිර වන්ද්‍රසේකර සිය ට්වීට් ගණනාවක් මගින් හෙළිදරව් කර තිබේ. අහ්නාෆ්ට විරුද්ධව මේ තාක් කිසිදු චෝදනාවක් නඟා නැත.

මන්නාරම සීලවතුරෙයි වැසියකු වන අහ්නාෆ් ජසීම් සිය කවි පළ කරන්නේ මන්නාරමුදු අහ්නාෆ් ලෙසිනි.

ඔහු අත් අඩංඟුවට ගෙන රඳවා තිබෙන්නේ ඔහු විසින් දෙමළ බසින් ලියන ලද නවරාසම් නම් කවි පොතක් නිසාය. පොලීසිය ප්‍රකාශ කරන්නේ කවි අන්තවාදී ඒ්වා බවයි. ඒය ප්‍රසිද්ධ කර ඇත්තේ 2017 වසරෙහිදීය. 2020 මැද භාගය වනතුරු එම කවිපොත අන්තවාදී එකක් යැයි කිසිවකු චෝදනා කර නොතිබුණි.

මෑතක් වන තුරුම ඔහු පුත්තලම් මදුරන්කුලියෙහි විශිෂ්ටතා පාසලේ උගන්වමින් සිටියේය. මීට වසරකට පෙර ඔහු ගුරු දිනය වෙනුවෙන් ලියූ කවියක් ඔහුගේ බ්ලොග් අඩවියේ මෙතැන පළ කර තිබේ. https://mannaaramudhu.blogspot.com/2019/11/blog-post.html

අහ්නාෆ් දිගින් දිගටම රඳවා ගෙන සිටීම, නීතිය හා සමාජ භාරය විසින් මෑතකදී වාර්තාවක් මගින් පෙන්වාදුන් පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ලබා දී ඇති බලකල අනිසි අනිසි ලෙස යොදා ගැනීමකි.

අහ්නාෆ් අත්අඩංගුවට ගෙන රඳවා ඇත්තේ පාස්කු බෝම්බ පිපිරීම් පිළිබඳ දැනට සිදුකෙරෙන විමර්ශනයේ කොටසක් ලෙසය. එය දැනට දින 200කට වඩා කිසිදු චෝදනාවකින් තොරව රඳවාගෙන සිටින නීතිඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධ පරීක්ෂනයටද ඈදා තිබේ.

නවරාසම් කවි පොතේ පිටපත් ඔහු ඉගැන්වූ වූ පාසල් පරිශ්‍රයේ සහ සිසුන් සන්තකයේ තිබී හමුවූ විට එය ත්‍රස්තවාදයට සම්බන්ධයැයි චෝදනා කර ඔහු අත් අඩංඟුවට ගන්නා ලදී. පොත දෙමළ භාෂාවෙන් ලියා ඇති නිසා පොලීසියට එය කියවා ගැනිමට බැරි නිසාදෝ එය අන්තවාදී සාහිත්‍යයක් ලෙස තීරණය කර තිබේ.

මෙම කවි පොත හිස්බුල්ලාට විරුද්ධ සාක්ෂියක් වශයෙන්ද දක්වා තිබේ. නමුත් තවමත් එම කවි පොතෙහි නියම පරිවර්ථනයක් අධිකරණයට ඉදිරිපත් කර නැත

අහ්නාෆ් අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කවි පොත පරිවර්තනය කර රිජ්වේ ළමා රෝහලේ ළමා මනෝ විද්‍යාඥයින් වෙත යැවීමට නියෝග කරන ලදී. ඒ් එම කවි මගින් ළමයින් “අන්තවාදය” කෙරෙහි ඈදාගත හැකිද යන්න තීරණය කරනු පිනිසය.

පොතෙහි සිංහල පරිවර්ථනයක් ලබා දෙන ලෙස පසුගිය ජූනි මාසයේදී අධිකරණය නියෝග කළ නමුත් ඔක්තොබර් මාසය වන තුරු එය ලැබී තිබුණේ නැත.

දෙමළ කවි පොතක් සිංහල බසට හැරවීම අධිකරණ පරිවර්ථකයින්ට කළ හැකි කාරියක් නොවේ. එවැන්නක් කළ හැක්කේ කවි බස දන්නා පරිවර්ථකයකුට පමණි.

ඉන් එක් කවියක අයිසිස් වන වචනය සඳහන් වන්නේ යැයි පොලීසිය කියා තිබේ. නමුත් ඔහුගේ කවි අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ගේ ශෝකය දැක්වෙන කවි ද තිබේ.

වඩාත්ම කණගාටුදායක කාරණය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරා රදවාගෙන සිටින විසිපස් හැවිරිදි අහ්නාෆ් ජසීම් ගැන මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුද්ගලයින් දක්වන නිහඩතාවයයි.

දෙමළ කොටි සංවිධානයට සම්බන්ධ යැයි ‍ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංඟුවට ගත් තිසෙයිනායගම්ලාගේ සිට වලර්මතීලාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසයක් ඇති මාධ්‍ය ව්‍යාපාර අද දක්වන නිහඩතාවය බියජනක යැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ කිහිප දෙනෙකුම කියා සිටියහ.

( එමෙන්ම සඳහන් කළ යුත්තේ තිසෙයිනායගම්ලාගේ සහ වලර්මතීලාගේ නිහඩතාවය ද පුදුමාකර බවය)

Archive

Latest news

Related news