Thursday, July 18, 2024

මිනුවන්ගොඩ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයන්ට මධුමාධව සම්බන්ධයි – පොලීසිය පාස්කු කොමිසමට කියති

ඡායාරූපය: ගම්මන්පිළගේ ළගම දේශපාලන සගයා වන මධුමාධව මෙම කඩු පෙළපාලියේ දෙවැන්නාය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් වලට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා  සම්බන්ධතාවයක් දක්වා ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු අද (01) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැවැසූහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි විමසීම සිදු කළේ පසුගිය වසරේ මැයි 13 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙනි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර දීප්ත ලියනගේ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ආර් ප්‍රියන්ත යන මහත්වරුන්ගෙන් අද කොමිසම සාක්ෂි විමසනු ලැබූ අතර එවකට ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා මුලින්ම සාක්ෂි ලබාදුන්නේය.

පන්සලේ රුස්වීමට ගිය මධුමාධව 

” පාස්කු ප්‍රහාරයෙන් පසු මැයි මස 13 වන දින මා සමඟ එවකට බස්නාහිර උතුරු දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සර්වාගමික නායකයින්ගේ හමුවකට සහභාගි වෙමින් සිටියදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණා. ඊටපස්සෙ මිනුවන්ගොඩ ප්‍රදේශයට ළඟා වනවිටත් මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට සහ ගල්ඔලුව හන්දියේ නිවාස දෙකකට යතුරුපැදි කිහිපයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ සිද්ධිය සමග මිනුවන්ගොඩ නගරයේ 1500 – 2000 ක පමණ පිරිසක් කළහාකාරි ලෙස හැසිරුණා. ප්‍රමාණවත් නිලධාරින් සංඛ්‍යාවක් නොසිටීම නිසා පොලිසියට සහ ආරක්ෂක අංශවලට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුණා. පහරදීම්වලදි මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයින්ගේ වෙළෙඳසැල්ද ඇතුළුව වෙළෙඳසැල් 24 ක් ගිනි තබා විනාශ කර තිබුණා. එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකටත් ගිනිතබා තිබුණා. මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට එල්ල කළ පළමු ප්‍රහාරය මුහුණු ආවරණය කරගත් යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් සිදු කරලා තිබුණ නිසා ජනතාව මුස්ලීම් ජාතිකයන්ට විරුද්ධව කළහාකාරි ලෙස හැසිරීමත් එක්ක මෙය සංවිධානාත්මකව සිදු කළ ක්‍රියාවක් බවට සැකයක් මතු වුණා.”

වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ එම සිදුවීමට දින 5කට පමණ පෙර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති රැස්වීමකටද මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ වී ඇති බව විමර්ශනවල දී හෙළි වූ බවයි.

මේ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන දීප්ත ලියනගේ මහතා ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන්නේය. මෙම ගිනි තැබීමේ සහ පහරදීමේ සිදුවීම් පිළිබද කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීමක් ඇති බව විමර්ශනයෙන් හෙළිදරව් වී ඇතිද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වරිය ප්‍රශ්න කළාය.

ගිනිි ඇවිලවූ  සාමනේර නමට ගහපු හදපු කතාව 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන දීප්ත ලියනගේ මහතා ඊට පිළිතුරු ලබාදෙමින් මෙසේ කීවේය.

“2019 මැයි 13 මිනුවන්ගොඩ නගරයේ නොසන්සුන්තාවය ඇතිවෙන්න කළින් වෑගොව්ව, ගල්ඔලුව ප්‍රදේශයේ ශ්‍රී සුබද්‍රාරාම විහාරයේ යම් සිදුවීමක් වී තිබුණා. විහාරයේ කුඩා සාමනේර නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීමක් කළා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. ඒ සිදුවීම මුල්කරගෙන විහාරස්ථානයේ ගම්වාසින් එකතුකරලා රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ ජගත් නැමැති පුද්ගලයෙක්. ජගත් නැමැත්තා මදුමාධව අරවින්ද කියන පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයාගේ සමීපතමයෙක්. ඒ රැස්වීමට ඇවිත් මදුමාධව කියලා තියෙනවා ‘මේ වගේ සිද්ධිවලට එරෙහිව නැගි සිටින්න ඕනේ කියලා’. ඊට සතියකට පස්සෙ තමයි මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය හටගෙන තියෙන්නේ. පරික්ෂණවලදි අනාවරණය වුණා මදුමාධව අරවින්ද ඔය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ රැදී සිටියා කියලා. පසුව අනාවරණය වුණා මුස්ලිම් ජාතිකයෙක් සාමනේර නමකට පහර දුන්නා කියන එක ගොතපු කතාවක් කියලා.”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නොසන්සුන්කාරී වාතාවරණය ඇති වූ දිනයේ අවස්ථා දෙකකදී මධුමාධව අරවින්ද මහතා සහ මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන ජගත් නැමැති පුද්ගලයා අතර දුරකථන සංවාද සිදුවී ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් අනාවරණය වූ බවයි.

මධුමාධව ගිනි තැබූ කඩ පෙදෙසේ

අනතුරුව එවකට මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ආර්. ඒ. ප්‍රියන්ත මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

මුස්ලිම් ජාතිකයෙකු පහර දුන්නේ යැයි සාමණේර හිමිනමක කර ඇති ප්‍රකාශ අසත්‍ය බවටත්, ජගත් නැමැති පුද්ගලයාගේ ඉල්ලීම මත එම සාමණේර හිමිනම විසින් මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සාමණේර හිමියන් විසින් සිදු කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමට අදාල විහාරස්ථානයට තමන් ගිය අවස්ථාවේදී මධුමාධව අරවින්ද මහතා එම විහාරස්ථානයේ රැඳී සිටි බව ද ඔහු කීවේය.

පසුව මධුමාධව අරවින්ද මහතා තමාගේ දුරකථන අංකයද ඉල්ලා සිටි බවත්, සාමනේර හිමියන්ට සිදුවී ඇති සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට තමාගෙන් ඉල්ලීමක්ද සිදුකළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කොමිසම හමුවේ අනාවරණය කළේය.

ඔහු පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණය ඇති වීමට ආසන්න දින කිහිපයේම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම් කෙරෙහි මධුමාධව අරවින්ද මහතා දැඩි උනන්දුවෙන් අවධානය යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

ගිනි ගැනීමට ලක් වූ කඩ පෙළ පැවැති ප්‍රදේශය ආශ්‍රිතව ද මධුමාධව අරවින්ද මහතා සංචාරය කර ඇති බව හෙළි වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ආර් ප්‍රියන්ත මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීමට නියමිතව සිටි මධුමාධව අරවින්ද මහතා තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් අධිකරණය වෙත යොමු වූ බවයි.

 ගිනි පැතිරෙන විට නිවාඩු ගිය ජල බවුසරය!

ගිනි තබා තිබූ විනාශ කර තිබු වෙළෙඳ සැල් මිනුවන්ගොඩ නගර සභාවට අයත් බදු පදනම ඔස්සේ ලබාදී තිබු එහෙත් ඉවත් කිරීමේ නියෝග යටතේ පැවති වෙළඳසැල් බව ද එම වෙළඳසැල් ඉවත් කිරීමේ නියෝගයක් මෙම සිදුවීමට පෙර මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහතා විසින් අදාල වෙළෙඳුන්ට නිකුත් කරනු ලැබ ඇති බවද කොමිසමේදී හෙළි විය.

එම සභාපතිවරයා තමන්ට අත්තනෝමතික ලෙස ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන බව⁣ට අදාළ සිද්ධියට පෙර අවස්ථා කිහිපයකදීම එම වෙළෙඳසැල් පවත්වාගෙන ගිය වෙළෙඳුන් විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබ තිබූ බව මිනුවන්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර මිනුවන්ගොඩ නගර සභාවට අයත් ජල බවුසරය ගින්නෙන් විනාශ වූ වෙළඳසැල් ආශ්‍රිත ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාවක් නොලැබුණ බවත්, රියදුරු නොමැති වීම ඊට හේතු වූ බවත් අද කොමිසමේ දී අනාවරණය විය.

මිනුවන්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එදින සඳුදා දිනයක් වුවත් අදාල බවුසරයේ රියදුරු හෝ නිසි බලධාරියෙකු මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නගර සභාව තුළ රැඳී නොසිටි බවයි.

ස්තුතිය Medialk වෙබ් අඩවියට සහ  ශානක ද සිල්වාට.

Archive

Latest news

Related news