Friday, April 26, 2024

ශානි අබේසේකරට කොවිඩ් පොසිටිව්: ජීවිතාරක්ශාව ලබා දෙන්නැයි ලෙස බිරිද කළ ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැහැ!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ශානි අබේසේකරට මහර බන්දානාගරය තුළදී කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.මේ නිසා ඔහු  මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

රාජපක්ෂ සමයේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සහ වංචා දූෂන ගැන පරීක්ෂන මෙහෙයවූ ශානි අබේසේකර ගෝඨාභය රාජපක්ෂගෙන්ද වරක් ප්‍රශ්න කර ඇතැයි පැවසේ. ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරk ලද දේශපාලන පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුයේ ශානි අබේසේකරට විරුද්ධවද පැමිණලි ඉදිරිපත් කරන ලදී.  ඔහුට ඇප ලබා දීමට විරුද්ධව දැනට මාස ගණනාවක් රදවා තබාගෙන සිටින නමුත් නීතිපති දෙපාර්ථමේන්තුව පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රීවරයකුව සිටි ජොශප් පරරාජසිංහම් ඝාතන නඩුවේ සැකකරුවකු වූ රාජපක්ෂවාදී පිල්ලෙයාන්ට ඇප ලබා දීමට කැමැත්ත පළ කරන ලදී.

වතමන් ආණ්ඩුවේ ප්‍රධානීන් ශානි අබේසේකරට විරුද්ධව ප්‍රකාශ ගණනාවක්ම කර තිබේ. තවද ඔහු විසින් කරන ලද පොලිස් පරීක්ෂන මත සිරගතවූ සැහෙන පිරිසක් ද මෙරට සිරගෙවල්වල සිටිති.

මෙම තත්වය යටතේ ශානි අබේසේකරට  බන්ධනාගාරය තුල හා පිටත ජීවිත තර්ජන ඇති බැවින් ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඔහුගේ බිරිඳ වන කමණී ශ්‍රියන්තා අබේසේකර විසින් අගවිනිසුරුවරයාට හා නීතිපතිවරයට පසුගිය දා  ලිපියක් යොමුකරන  ලදී. එනමුත් මේ දක්වා එම ලිපියට ප්‍රතිචාරයක් ලැබී නැත.

ඇය විසින් යවන ලද ලිපිය පහත පළවේ:

“ගරු අගවිනිසුරු තුමා, ගරු නීතිපති තුමා සහ අනෙකුත් රජයේ නිලධාරී මහත්වරුනී,

මගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකරට එල්ල වී ඇති මරණීය තර්ජන හා තුවාල සිදුකිරීම පිළිබදව ඇති අවධානම සම්බන්ධවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා දැනට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ අත් අඩංගුවේ පසුවෙයි. 2020 ජුලි 31 වන දින ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබූ අතර ඔහුට ඒ වන විටත් මරණ තර්ජන පවා එල්ල වී තිබූණි. එම පැමිණිලි පොලිසිය විසින් විමර්ශනය කරමින් ද පැවතිනී. ඔහු SC FR 221/2020 මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංකයේ පෙත්සම්කරු වේ. නඩු අංක S.C. TAB 1A-1F / 17 සමඟ අභියාචනයක් යටතේ ඔහු මහාධිකරණ නඩු විභාගයේදී HC 7193/14 හි රජයේ සාක්ෂිකරුවෙකි.

මාගේ ස්වාමිපුරුෂයා වන ශානි අබේසේකර සම්බන්ධයෙන් එල්ලකොට ඇති චෝදනා විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඩී) අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සොයිසා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසින් මාගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව සාවද්‍ය සාක්ෂි ලබා දෙන ලෙස සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට ද ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් වුණී.

පහත සබැදිය. (http://www.ft.lk/front-page/CCD-accused-of-pressuring-CID-sleuth-to-falsely-implicate-Shani/44-704124).

තව ද එම නිලධාරීන් දෙදෙනාගේ අත්අඩංගුවේ සිටිය දි ඝාතනයට ලක්වු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටිය දී එසේ ඝාතනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

2020 ඔක්තෝබර් 22 වන දින අන්තර්ජාල වෙබ් අඩවියක පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, මගේ සැමියා පිළිබඳව විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්, මගේ ස්වාමිපුරුෂයා පාතාල කටයුතුවලට සම්බන්ධ බවට පදනම් විරහිතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලදී.
අදාල වීඩියෝව මේ සබැදියෙන් (https://www.youtube.com/watch?v=7O8HJ5PRDMQ).

තවද රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පෙරේදා දින පවත්වන පුවත්පත් සාකච්ඡාවක දී ද සදහන් කරන ලදී.

මගේ ස්වාමිපුරුෂයා ගෞරවාන්විත පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු මිනීමරුවන් සහ පාතාල සාමාජිකයින් 35 දෙනෙකු පිළිබඳව සාර්ථක විමර්ශන කර ඔවුන්ව නීතිය හමුවට පමුණුවා ඇත.

2012 දී රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ ව්මර්ශනයේ අධීක්ෂණ නිලධාරී ලෙස මගේ ස්වාමිපුරුෂයා කටයුතු කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගරු නීතිපතිතුමා විසින් බන්ධනාගාර නිලධාරියෙකුට සහ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදි. එසේ හෙයින් මාගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර නිලධාරීන් සහ දැනට විමර්ශන වලට භාජනය වී ඇති පොලිස් නිලධාරීන් යටතේ රඳවා සිටිම ඔහුගේ ජිවිත ආරක්ෂාවට තර්ජනයක් ලෙස මම සිතමී.

එසේ හෙයින් මේ අකාරයෙන් ඔහුව අනාරක්ෂිත ලෙස සිරගත කර තිබීම් ඔහු විසින් කරන ලද පරික්ෂණ වල ප්‍රතිඵල කඩාකප්පල් කීරීමක් වන අතර, එමගින් ඇතැම් බලවත් පුද්ගලයින්ට ඔහුගේ ජිවිතයට හානීයක් කිරිමට අවකාශ ද ඇතී වේ.

ඒ අනුව ඉහත දක්වන ලද කරුණු සලකා බැලීමේදී මාගේ ස්වාමිපුරුෂයාට බරපතල ජීවිත තර්ජන ඇති බව මම විශ්වාස කරමි. ඔහු වසර 30 ක් පුරා තම ජීවිතයද පරදුවට තබමින් මෙරට පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සදහා පවුලේ සාමාජිකයන් පිලිබදවද නොතකා සිය වෘත්තීයමය රාජකාරි මහත් වගකීමක් සහිතව ඉටුකල අයෙකි. එසේ හෙයින් මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර ඔහුගේ ජීවිතයට හානියක් වීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර රජය විසින් ගතයුතු බව මම සිතමි. එසේහෙයින් මාගේ ස්වාමිපුරුෂයාව බන්ධනාගාරය තුල හෝ ඉන් පිටතදී ඝාතනය වීම වැළැක්වීම සදහා ඔබතුමන්ලා විසින් ගතයුතු සහ ගතහැකි සියලු රාජකාරීමය පියවරගෙන ඔහුගේ ජීවිත අරාක්ෂාව රැකදෙන ලෙස මම ඉතා ගෞරව පූර්වකව හා නිහතමානී ලෙස අයැද සිටිමි.

කමනි ශ්‍රියාන්තා අබේසේකර,

ශානි අබේසේකරගේ බිරිඳ.”

Archive

Latest news

Related news