Tuesday, July 16, 2024

විපක්ෂ දේශපාලනඥයින්ට දඩුවම් කිරීමට ජේ.ආර්. පන්නයේ කොමිසමක්!

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ලත් කරන ලද අන්දමේ දඩුවම් දිය හැකි විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති රාජපක්ෂ තීරණය කර ඇතැයි ගොඨාභයවාදී සිංහල පුවත් වෙබ් අඩවියක් ඊයේ වාර්තා කළේය.

හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනයක ඇතූළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධනගේ එම කොමිසම විසිනි. එම කොමිසම හමුවෙහි එවකට විජේවීරගේ නායකත්වය යටතේ වූ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කෙලී සේනානායක සිරිමා බණ්ඩාරනායකට විරුද්ධව සාක්ෂි දුන්නේය.

පසුගිය රජය සමයේ කරන ලද කටයුතු පිළිබඳව සොයා බැලීමට දඬුවම් දීමේ බලය සහිත කොමිසමක් මුලදීම පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කරන ලද බව වාර්තා කරන එම වෙබ් අඩවිය එනමුත් රජයේ ජේෂ්ඨයන්ගේ උපදෙස් මත තොරතුරු සොයා බැලීමේ කොමිසමක් පත් කිරීමට තීරණය කරන ලද බවත් වාර්තා කරයි.

පසුගිය දිනක විපක්ෂ දේශපාලනඥයින් විසින් දැනට ක්‍රියාත්මක වන පළිගැනීම් පිළිබද තොරතුරු විමර්ශන කොමිසමේ සභාපතිවරයාට සහ කොමිසමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට විශේෂ පැමිණිල්ලක්  ඉදිරිපත් කරන ලදී.

මෙම කොමිසමට විරුද්ධව බොහෝ විවේචන ඉදිරිපත්ව ඇති අතර නීතිපතිවරයාද එම කොමිසම එහි බලාධිකාරය ඉක්මවා කටයුතු කරන බවට පැමිණිළි කරන ලදී. දැනට විභාග වෙමින් පවතින නඩු විභාගයන්ට අදාළ ලිපිගොනු ලබා ගැනීමට කොමිසම දරන ලද ප්‍රයත්නයද නීිතිපතිවරයාගේ විවේචනයට ලක්විය.

විපක්ෂය තමා විසින් පත් කරන ලද එම කොමිසමට විරුද්ධ නිසා දඬුවම් දීමේ බලය ඇති කොමිසමක් පත් කිරීම වඩාත් යෝග්‍ය බව ජනාධිපති වරයාගේ තීරණය බව එම පුවතේ සඳහන් වේ.

එවැනි කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ සහ මහාධිකරණයේ සිටින සේවයේ් නියුතු විනිශ්චයකාරවරුන්ය. නව කොමිසමට පත් කළ හැකි එවන් විනිශ්චයකාරවරුන්ගේ නම් ලැයිස්තුවක් මේ වන විටත් රජය සකස් කරමින් සිටින බවත් එය වාර්තා කරයි.

Archive

Latest news

Related news