Saturday, July 20, 2024

ගුරු දිනය දා පාසල් වැසීම සහ දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන ගුරු-විදුහල්පතිවරු!

ගුරු වැටුප් හා වෘත්තීය ගැටලූවලට විසඳුම් දෙන ලෙස ගුරු දිනයේ දී රජයට අවධාරණය කරමු. – ලංකා ගුරු සගමය

ලෝක ගුරු දින සැමරුම යෙදෙන ඔක්තෝම්බර් 5 දින යෙදෙන විට ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය කෝවිඞ් 19 තත්වය මත වසා දැමීමට රජය තීරණය කර ඇත. එසේ වුවද ගුරු දිනය ලෝක පරිමාණව සැමරීම පදනම් කරගෙන ගුරු ගැටලූ විසඳීම සිදුකළ යුතු බව අවධාරණය කරමු. 1996 ඔක්තෝම්බර් 5 දින පැරිස් නුවර ගුරුවරුන්ගේ වෘත්තීය තත්වය පිළිබඳව විශේෂ අන්තර් රාජ්‍ය සමුළුවක් පවත්වා නිර්දේශ 146 ක් සම්මත කර ගන්නා ලදී. එම දිනය පදනම් කරගෙන ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 5 ලෙස ලොව පුරා සැමරීම සිදු වේ. එහෙත් ලංකාවේ ගුරු දිනය සමරන්නේ ඔකෝත්ම්බර් 6 දිනය. මෙය විකෘතියකි. 1994 දී ගුරු සහ විදුහල්පති සේවාවන් සකසන ලද අතර ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූ දිනය වන්නේ 1994.10.06 දිනය. එම දිනය පදනම් කරගෙන ඔක්තෝම්බර් 06 ලංකාවේ ගුරු දිනය සැමරීම සිදු වේ. මෙය ලෝක ගුරු දිනයට සමගාමීව ඔක්තෝම්බර් 5 දින සමරන ලෙස ලංකා ගුරු සංගමය අඛණ්ඩව ඉල්ලා ඇත. වත්මන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් ද ලංකාවේ ගුරු දින සැමරුම ලෝක ගුරු දිනය සමරන ඔක්තෝම්බර් 5 දින සැමරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

මෙවර ලෝක ගුරු දිනය උදාවන්නේ ලංකාවේ දෙලක්ෂ හතලිස් හත් දහසක් පමණ වන ගුරුවරු සහ පහළොස් දහසක් පමණ වන විදුහල්පතිවරු තම වැටුප් ඇතුළු වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් දැවැන්ත අරගලයක් සිදුකරමින් සිට කෝවිඞ් 19 තත්වයට තුළ එය තාවකාලිකව නරත කර ඇති පසුබිමකය.

තම ඉල්ලීම් ලබාදෙන බවට රජය ලබාදුන් රැුවටිලිකාරී පොරොන්දු මධ්‍යයේ, සේවා තත්වය පිළිබඳ අතෘප්තිකර වාතාවරණයක් තිබියදී වුවද ලංකාවේ ගුරුවරු කෝවිඞ් 19 ව්‍යාප්තිය තුළ අධ්‍යාපන පද්ධතිය තුළ දරුවන්ට සිදු වූ පාඩුව අවම කිරීමට වෙර දරමින් කටයුතු කරති.

මෙවර ලෝක ගුරු දින තේමාව වන්නේ ‘‘ගුරුවරු: අර්බුදකාරීත්වයේ දී නායකත්වය දෙමින් අනාගතය යළි පරිකල්පනය කරයි’’ යන්නයි. යුනෙස්කෝව විසින් ගුරුවරයාගේ වටිනාකම මෙලෙස ඇගයීමට ලක් කළ ද දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන ගුරු-විදුහල්පතිවරු සිටින්නේ ලංකාවේය. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කළ පරිදි ලංකාවේ ගුරුවරයාගේ වැටුප කොත්තු බාස්ගේ වැටුපටත් වඩා අඩුය. එවැනි අඩු වැටුපක් ගුරුවරු ලබන බව පිළිගත් වත්මන් රජය තවමත් 1997 සිට ගුරු-විදුහල්පතිවරුන්ට පවතින වැටුප් විෂමතාවය අවම කිරීමට කිසිදු ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. 1994 ගුරු සහ විදුහල්පති සේවාවන් සකසා ගුරු-විදුහල්පතිවරු ඉහළ වැටුප් තලයක තැබූවද 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසම මගින් ගුරුවරයාගේ වැටුප පහළ දමන ලද අතර, එතැන් සිට ගුරුවරු දැඩි වැටුප් විෂමතාවයකට ලක් කරන ලද හෙයින් අඩු වැටුප් ලැබීමට ගුරුවරුන්ට සිදුව ඇත.

2020 සැප්තැම්බර් 29 දින වර්තමාන අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග ලංකා ගුරු සංගමය සිදු කළ සාකච්ජාවේදී ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත්කර වැටුප් ගැටලූව විසඳීමට අදාළ කැබිනට් පති‍්‍රකා 3 ක් පැවති රජය හා වර්තමාන රජය ඉදිරිපත් කර ඇති බව පෙන්වා දෙන ලදී. වැටුප් ගැටලූව පිළිබඳ තවදුරටත් සාකච්ඡුා කිරීම වෙනුවට 2018 සැප්තැම්බර් මස හිටපු අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡුා කොට රනුග්ගේ වැටුප් කොමිසමට ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනාව එළඹෙන අයවැයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු යොදන ලෙස එහිදී ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින ලදී. එසේ නොවන්නේ නම් එළඹෙන අයවැයෙන් පසු සියලූ ගුරු-විදුහල්පතිවරු සමග යළි වැටුප් අරගලය ඇරඹීමට කටයුතු කරන බව ද ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට අවධාරණය කර සිටියේය.

රජය වහා ගුරු වැටුප් ගැටලූව ඇතුළු ගුරු වෘත්තීය ගැටලූ විසඳිය යුතු බව 2020 ගුරු දිනයේ දී ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Archive

Latest news

Related news