Friday, November 22, 2024

20වන සංසෝධනය, සංසෝධනය කිරීමේ ඇස්බැන්දුම: අගමැති යෝජනාවත් නැහැ!

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක්කිරීමට නියමිත කරුණු වශයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ලියවිල්ලේ අගමැතිවරයාගේ කමිටුව ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ඊට විරුද්ධව ආණ්ඩු හිතවාදී පාර්ශව ඉදිරිපත් කළ යෝජනාද ඇතුළත්ව නැත.

පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී කරන සංශෝධන අතර ප්‍රධානම සංශෝධනය වශයෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි බව පමණය. විසිවන සංශෝධන කෙටුම්පතේ එය සඳහන් කර තිබුණේ අවුරුද්දක කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බව ය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ කාර්යාලය හා අගමැතිවරයාගේ කාර්යාලය විගණනයට යටත් කර ඇතත් විගණන කොමිසම හෝ ප්‍රසම්පාදන කොමිසම යළි ස්ථාපිත කරන්නේ නැත.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබෙන අතර අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාවට තිබුණු සීමාව ඉවත් කිරීමද එලෙසම ය.

ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ඉවත් කිරීමේ යෝජනාව එලෙසම පවතින අතර 20වන සංශෝධනය සම්මත වීමට පෙර පැවති නඩුවලට පමණක් එම ප්‍රතිපාදනය සීමා වේ.

පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය දින හතක කාලයකින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම වෙනස් කර නැති අතර එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමද ඉවත් කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයාගේ කාර්යයක් ලෙස නැවත ඇතුළත් කර ඇති අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා වැඩි කර ඇත. එමෙන්ම ඒ අතරින් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හෝ ඊට ඉහළ ධුරයක් දැරිය යුතු යන ප්‍රතිපාදනය යළි ඇතුළත් කර ඇත.

අග්‍රවිනිශ්චකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් පත්කිරීමද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු විනිශ්චකාරවරුන් පත් කිරීමද තව දුරටත් ජනාධිපතිවරයා යටතේ පවතින අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයද අග්‍රවිනිශ්චයකාරවරයාට නිල වශයෙන් ලැබෙන්නේ නැත. එම පත්කිරීම කරන්නේද ජනාධිපතිවරයා විසින් ය.

පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පත්කිරීම ජනාධිපතිවරයා සිදුකරන අතර වෙනසකට ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ ඉල්ලා සිටීම පමණ ය. එසේ වුවද එම පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයාට බාධාවක් නැත. පාර්ලිමේන්තු සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා අලුතින් යෝජනා කර ඇත.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට වූ දිවුරුම හා රටේ ඒකීයභාවය රකින බවට වූ දිවුරුම නැවත ඇතුළත් කර තිබේ.

විශේෂ ලෙසම මෙම සංශෝධන තුළ ඇත්තේ 20වන සංශෝධනයේ ඇති වචන නිවැරදි කිරීමේ සංශෝධන රාශියක් පමණ ය.

ලසන්ත රුහුණගේ – අනිද්දා

Archive

Latest news

Related news