ගෝඨාභය රාජපක්ෂගේ බල ව්‍යාපෘතිය වන විසිවන සංසෝධනය වෙනත් බල ගැටුමකට පොට පාදා තිබේ.
ඒ බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතරය. දැන් සටන අනෙකා හෙළට පෙරළන මාරාන්තික ගල උඩ සටනක කුණාටුවක් බවට පත් වෙමින් තිබේ.
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිංහල බෙෘද්ධ දේශපාලන ව්‍යාපෘතියේ මහානායක වන මහින්ද රාජපක්ෂගේ බාල සහෝදරයෙකි.
විමල් විරවංශ, එම මහින්ද රාජපක්ෂම 2015 මැතිවරණ සමයේදී හැදින් වූ පරිදි ඔහුගේ (අරං හදා ගත්) දේශපාලනික ලොකු පුතාය.
2015 මහා මැතිවරණයෙන් පැරදී මහින්ද රාජපක්ෂ ජනේලයේ එල්ලී දේශපාලනය කරත්දී මහින්ද සුළඟ නිර්මාණය කළේ විමල් වීරවංශය.
එකළ බැසිල් රාජපක්ෂ සිටියේ සිය දෙවැනි මව්රට වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිය පවුල සමඟ විවේක සුවයෙනි.
ඒ මහින්ද සුළඟට ව්‍යුහාත්මක පදනමක් ලබා දී එම ස්ථීරසාර දේශපාලන බලවේගයක් බවට පත් කරන ලද්දේ බැසිල් රාජපක්ෂ විසිනි. ඔහු දිය යටින් ගින්දර ගෙන යෑමේ කලාව ප්‍රගුණ කර ඇති දේශපාලනඥයෙකි.
ඒ ගාමිණි දිසානායකගේ අනුහසින් විය හැකිය. මහවැලි ගග බාන්ස් පෙදෙසට ගැලූ ඒ කාලයේ ඔහු ගාමිණි දිසානායකට පමණක් නොව ඔහුගේ ලේකම්ටද කීවේ සර් කියාය. දැන් ඔහුට ගෝටා සර් සිටී.
බැසිල් රාජපක්ෂ දේශපාලන චෙස් ක්‍රීඩකයකු වන අතර විමල් වීරවංශ දේශපාලන ලවුඩ්ස්පීකරයකි. බරක් නැති වීරවංශ ගේ කතා බෙලෙක්කයට ගල් දමා සොළවන විට නැගෙන හඩක් වැනිය. එකවරක් ඇසූ පසු රසක් නැත.
වීරවංශට ජනප්‍රවාදගත වීණාවාදකයට මෙන් ජනයා මෝහනය කළ හැක. නමුත් ඔහු වැයුව යුතු තනුව රාජපක්ෂයය.
බැසිල් රාජපක්ෂ කෙයිතරම් ශූක්ෂම වැඩකරුවකුද යත් ඔහු විසල් බංගලාවක් හැදුවේ අයිතිකරුවකු සොයා ගන්න බැරිවන විදියටය. එය ඉක්මනින්ම ඔහුට ලැබෙනනත් ඉඩ තිබේ.
ජනාධිපතිවරණයටත් පෙර සිටම වීරවශලා ගම්මන්පිළලා නිසා පොදු ජන පෙරමුණට දෙමළ සහ මුස්ලිම් ජන්ද ලබා ගත නෙැහැකි බව බැසිල් රාජපක්ෂ සමීපතමයන් සමඟ කියමින් සිටියේය.
වීරවංශගේ දේශපාලනයේ ලාභ ජාතිකවාදය හැර කිසිවක් නැත. ඔහු තවමත් ඉන්නේ 1983න් පසු ගොඩ නැගුණු උග්‍ර ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණේය. නැත්නම් 71 ජවිපෙ නායකයකු වූ පියතිලක සමරරත්න කියන්නට පුරුදුව සිටි “අපි වේගයෙන් යමු- ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් යමු” කියන සටන් පාඨයේ මතවාදයේය.
ඇත්ත ගැටුම ඇත්තේ බැසිල්ගේ දේශපාලනය සහ වීවරංශගේ දේශපලනය අතරය. එය දැන් එළියට පැන ඇත්තේ ද්විත්ව පුරවැසියන්ට මෙරට ජන්ද අයිතිය තිිබිය යුතුද යන කාරණය උඩය.
ගෝඨාභයගේ විසිවන සංසෝධනයෙන් ශ්‍රී ලංකා- ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණ අගමැති දක්වා ඉහළට යාමට අවස්ථාව සළසා දී තිබේ. වීරවංශ නයා නම් බැසිල් අදු කොළය. එබැවින් වීරවංශ ඊට විරුද්ධය.
ගෝලීයකරණය වූ ලෝකයක ද්විත්ව පුරවැසි විරෝධය පුස්සකි. අප කල්පනා කළ යුත්තේ දකුණු ආසියානු හෝ ලෝක පුරවැසියන් වන්නේ කෙසේද යන්න ගැනය. ද්විත්ව පුරවැසියන් ඒ ඒ රටවල යුද්ධයන්ට යා යුතුය යන කතා බයිල පමණය.
වීරවංශ සිය ප්‍රහාරය දියත් කළේ සිය දේශපාලන සගයකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර හරහාය. ඔහු විසිවන සංසෝධනට තදින්ම පහර ගැසුවේය.
ඉට ප්‍රතිචාරයක් ලෙස බැසිල් රාජපක්ෂවාදියකු යැයි කියැවෙන ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩළයේ සභාපති මහින්ද පතිරණ සිය මුහුණු පොත් හරහා වීරවංශට කියා සිටියේ ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්න කියාය.
බළලුන් ලවා කොස් ඇට බැවීම වෙනුවට ප්‍රහාරය සිය අතට ගත් වීරවංශ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මංත්‍රීවරුන්විමේ විසිවන සංසෝධනයේ එන වගන්තිය ඉවත් නොකරන්නේ නම් තමන් සිදුවන කිසිවක් ගැන වගනොකියන බව කියමින් අගමැති රාජපක්ෂට ඊයේ ලියුමක් යැවුවේය.
ලියුමට අත්සන් කළේ වීරවංශ පක්ෂයේ ලේකම් ය. එහි මෙස් කියයි:
“ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු”
වීරවංශ තර්ජනය කරන්නේ සිය යෝජනා පිළි නොගන්නේ නම් තමන් එම වගන්තිවලට විරුද්ධව ජන්දය දෙන බවටය.
වීරවංශගේ ලිපියට වක්‍ර පිළිතුරක් දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ දීර්ඝ නිවේදනයක් නිකුත් කරන ලද අතර එමගින් කියා සිටියේ වීරවංශ කරන චෝදනා විපක්ෂයේ බොරු පුචාර බවය.
වීරවංශගේ දෙවැනි චෝදනාවට ද පිළිතුරු දෙන අගමැති රාජපක්ෂ කියන්නේ විසිවන සංසෝධනය මගින් විගණන කටයුතු සීමා කර ඇති බවට කැරෙන විවේචනයද අමූලික බොරුවක් බවය.
වීවරංශගේ තුන්වන චෝදනාව වන විසිවන සංසෝධනය මගින් ද්විත්ව පුරවැසියනට පාර්ලිමේන්තු මංත්‍රීන් සහ තානාපතිවරුන් වීමට ඉඩ සළසන්නේය යන්න පිළිතුරු දිය යුතු විවේචනයක් ලෙසවත් අගමැති රාජපක්ෂ විසින් සළකා නැත.
අගමැති රාජපක්ෂගේ පිළිතුරු ලිපියට වීරවංශ තවමත් පිළිතුරක් දී නැත. එනමුත් වෛද්‍ය වසන්ත බණ්ඩර වීරවංංශවාදී වෙබ් අඩවියකට කතා කරමින් අගමැති රාජපක්ෂ විවේචනය කර තිබේ.
තවම බැසිල් රාජපක්ෂ කට ඇර නැත. ඔහු යෙදී සිටින්නේ චෙස් ක්‍රීඩාවේය. තරඟය අවසන්වීමට නියමිතව ඇත්තේ වීරවශට පරාජය අත්කර දෙමිනි. ඔහුගේ සහායට මළකඩ කෑ කඩුකාර ගම්මන්පිළිවත් පැමිණ නැත.
මෙම ගල උඩ සටන කෙළෙස අවසන් වුවත් එය විසින් කුපිත කරන ලද ලේ නිවී යනු ඇතැයි සිතිය නොහැක. තවද රාජපක්ෂ විසින් උපවාසයේ යෙදී සිටි වීරවශට පෙවූ තැඹිළි වතුරට වඩා ලේ ඝනකම බව අවසානයේදී පෙනී යනවාද ඇත.
රජ පවුලක් සමඟ ඔට්ටුවීම ලෙහෙසි නැත. එවැන්නක් කළ හැක්කේ, මාඕ සේතුං කි පරිදි අධිරාජ්‍යයා අසුපිටින් ඇඳ දැමීමට සුදානම් නම් පමණි. විරවංශට වඩා වැදගත් වනු ඇත්තේ ඔහුට විරුද්ධවව පැවරී ඇති අල්ලස් නඩුය. ඒවා ඩැමොක්ලීස්ගේ (එනම් හිසට ඉහළින් එල්ලෙමින් ඇති) කඩුය.