Friday, March 29, 2024

විස්සට දීපියව්,කොළඹම නැවතියව්! – පුංචිහේවා

යාය දහඅටේ අන්දිරිස්ගෙ බාල පුතා නේද?
හරි නේ.තාත්තගෙ මූණමයි.
හැබෑටම කවුද  බං  උඹට පාර කිව්වෙ? නැත්නම් පාර වැරදිලාවත් ද?
හිතන තරම් ලෙහෙසියෙන් අපට පාර වරදින්නෙ නෑ සර්.
උඹලගෙ තාත්ත හැත්තෑඑකේ සිද්ධියට මාත් එක්කම කූඩුවෙ  ලැගපු මගේ කල්‍යාණ මිත්‍රයෙක්.ඉතිං..ඉතිං..මොකෝ හදිසියෙම? කොළඹ ආපු ගමන් නිකමට ගොඩවෙලා යන්න හිතුනද?
 
නිකම් ආවා, නිකම් ගියෝ ගමන් අපට නැහැනේ සර්.අර්ථවත් ගමනක් නැත්නම්  අපි එතැනම වාඩිවෙලා ඉන්නව.
 
නෑ ඉතිං  උඹ පහුගියකාලෙ අයියෝ   සිරිසේන! කෝ මේ සිරිසේන! කිය කියා හන්දිගානෙ බෝක්කුගානෙ  මං හොයපු නිසයි එහෙම ඇහුවෙ. අරියාදුවටම එන්නෙ නැතිව  ඔන්න ඔහෙං වාඩිවෙයංකො.
චෑ චෑහ් සර් ඔය පරණ කතාවක් නේ.කාපු බීපු වෙලාවට කියන කතා මතක තියාගෙන ඉන්න එපා
අනික සර් දේශපාලනයේ සදාකාලික මිතුරෝ ද නැත,   සදාකාලික හතුරෝ ද නැත කියල පඬිවරුත් කියලතියෙනව නේ.
ඒකත් ඔය පඬියෙක්   කාපුබීපු වෙලාවක කියපු කතාවක් තමයි බං
 
විහිලු කර කර ඉන්නනම් ආසයි,ඒත් මේ ඒකට වෙලාව නොවෙයි සර්.හදිසිම අත්‍යවශ්‍ය වැඩක්.සර්ගෙ වචනෙ විතරයි  අපට අඩුවකට තියෙන්නෙ.
සර් දන්නවද   දැන් අපට කියන්න සිද්ධවෙලා තියෙන්නෙ   මොකක්ද කියල?  දෙයියෝ සිරිසේන! කෝ මේ සිරිසේන ? කියල.
 
නැහ්! අම්මප කියපං!
අහන්නත් සංතෝෂයි නොවැ..ඉතිං ඉතිං කාරණාව කිව්වනම්.මොකක්ද මගෙන් කෙරෙන්න ඕන ?
 
සර් මේ අහන්න, මහින්ද මහත්තය අපේ රට බේරගත්ත නේ . ඊටපස්සෙ  මහින්ද මහත්තයගෙන් රට බේරගත්තෙ සර් නේ .
ගෝටාභය සර් අපේ රට බේරගත්ත. දැන් ගෝටාභය සර් ගෙන් රට බේරාගැනීමේ  වගකීමත් දෛවය විසින් සර්ටම බාරදීල.
මෙන්න මේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගකරල විස්ස කුනුකූඩෙට දාන්න.එපමණයි සර්ට  කරන්න තියෙන්නෙ.
මං හිතුව හරියටම හරි!උඹට පාර වැරදිලාම තමයි.
මනුස්සයෝ මෙතැන ඩාර්ලි පාරෙ   අපේ පක්ෂමූලස්ථානය.
උඹේ පෙත්සම බාරදීපං අලුත්කඩේ ට.
 
මෙතැන අලුත්කඩේ  නොවනබව හැබෑව තමයි සර්. නමුත් මෙතැන අපේ පරණ මහගෙදර.ප්‍රගතිශීලීන්ගේ වාමාංශිකයින්ගේ දේශපාලනික මහගෙදර.විස්ස පරාජයකිරීමේ තීරණාත්මක බලය පවතින ජනබලයේ නිදාගත් යෝධයා වාසයකරන මහගෙදර. මේ පෙත්සම  මේ මොහෙතෙ සර්  බාරගන්නම ඕන.
 
හරි හරි වරෙන් ගමන්මහන්සියට   මොනවහරි කාලම කතාකරමුකො.මේ යෝදය  බඩගිනි විකාරෙන් දොඩවනවද කොහෙද?
 
ආප්ප නැතුව ඕනෑම දෙයක් කමු සර්. හැමෝටම ඉතිරි කෑම කන්න වෙන්නෙ විස්ස සම්මතවුනාට පස්සෙ නොවැ. නමුත් වරදවා හිතන්න එපා සර්.
මගේ සගයො මාරාන්තික උපවාසයක යෙදෙන වෙලාවක සර්ගෙ භෝජන සංග්‍රහයනම් බාරගන්න බෑ.ප්‍රමාදනොකර මේ පෙත්සම බාරගත්තනම්.
 
පෙත්සම්!මාරාන්තික උපවාස!විකාර දොඩවනවද මන්ද! මොකෝ උඹට දෙයියන්ගෙ හාල්වත් කැවිලද?
දෙයියන්ගෙ හාල් නෙවෙයි අපි කන්නෙ ඩඩ්ලිගෙ හාල්.ඔහේගෙ මල්ලිගෙ හාල්.
අපේ සටන හෑල්ලුවට  එහෙම ගන්න සූදානම්වෙන්න   එපා සර් හරිය! මටත් තදවෙනව හොඳේ.
ඔහේ දැනගන්න සර් විස්සට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ඔහේම තමයි.
 
මේ මම? මෛත්‍රීපාල සිරිසේන? ඒ මොකටද බොංඩිගෙපුතෝ මම විස්සට වගකියන්නෙ?
ඇයි තෝ දැක්කෙ නැද්ද තොපේ  ගෝට සර් ප්‍රසිද්ධියෙම විස්සෙ  වගකීම බාරගන්නව?
තොපිමනේ උඩපැනගෙන රාජපක්ෂලට කෙරුවෙ.මහින්ද සමග නැගිටුමු කියල මට හිටං හුටං ගගා මහලොකුවට නැගිට්ට.බැලින්නම් නැගිටල තියෙන්නෙ බැසිල් එක්ක,ජීඇල් එක්ක, මිලින්ද මොරගොඩ එක්ක.තව ලැජ්ජත් නැතුව පංකාදු  කතාත් කියවන්න එනව.
 
කේන්තිගන්න එපා සර්.විග්‍රහය සරලයි.යහපාලනයේ වචනාර්ථයයි ඔහේලගෙ කෙරුවාවයි සසඳන්නකො.පොහොට්ටුවේ  ජයග්‍රහණයේ  ප්‍රධානම හේතුව  සර්ලගෙ නාමික යහපාලනය. ඡන්ද ලක්ෂ හැටනවය  කියන්නෙ නාමික යහපාලනයේ ඵලදාව.
 
හැබෑට!  එහෙනම් උඹත් තව කොමිසමක් දාලවගෙයි යහපාලනයයි විස්සයි අතර සම්බන්ධය හොයන්න.යකෝ මේක පුදුම අවනඩුවක් නොවැ!
පාස්කු බෝම්බෙ ගැහුවෙ සහරාන් නොවෙයි මමලු! ඒ මදිවට තෝත් පිස්සුතදවෙලා පෙත්සමකුත් කරතියාගෙන ඇවිත් කියවනව විස්සට වගකියන්න ඕනත් මමලු.
 
යහපාලනයෙ කඹඇදිලියි නොසැලකිල්ලයි  නිසා අහිංසකජීවිත සියගණනක් බිලිගත්තුහැටි මතක නැද්ද සර් ට?ශිරන්ති නෝනලගෙ,රාජපක්ෂලගෙ නඩු යටගහපුහැටි මතක නැද්ද සර් ට?
 
මතකයි, මතකයි. පූජිතයයි හේමසිරියයි තොපේ ඉස්තෝප්පුවටම ඇවිත්   දිගටහරහට  මතක්කොරන්නෙ.
මේ අහපං අන්දිරිස්ගෙපුතෝ; උඹේ ඔය බම්බුවෙ පෙත්සමත් අරගෙන වහාම බැහැපන් එළියට මං නරක මිනිහ නොකර.නැත්නම් උඹේ කොරනෙල්විභාගෙත්   මෙතැනම කොරන්නවේවි. එනව මෙතන බකපණ්ඩිතය වගේ හැම මගුලටම කටදාගෙන.මහලොකු කෙරුම!
 
ඒ ජාතියෙන්ද සර් එන්න හදන්නෙ? එහෙනම් ජනේලයෙන් එබිල බලන්නකො පාර දිහා.
 
මොකක්! මගෙ දෙවියනේ දස දහස් ගණනක ජනගඟක්!පක්ෂ මූලස්ථානයම වටකරල! 
කහසිවුරු.නිල් රතු කොල කොඩි ලෙලදෙනව!බැනර්,බෝඩ්!සටන් පාඨ!  දෙවියනේ  මම මේ දකින්නෙ හීනයක් ද?
 
මට සමාවෙයන් ඉලංදාරිය.මට දැන් ඉතිරි සියල්ලම තේරෙනව පුතේ.උඹට තියෙන්නෙ අන්දිරිස්ගෙ මූණ විතරක් නොවෙයි කියලත් මට දැන් තේරෙනව.
එදා චීන කොමියුනිස්ට් පක්ෂයෙදි උඹලගෙ තාත්ත මුණගැහුන  මුල්ම   දවසෙ   ඒ ඇස්දෙකේ තිබුන අධිෂ්ඨානය උඹේ ඇස් දෙකෙන් එළියට  පැනල  මගේ දේශපාලන ආත්මයම ප්‍රශ්නකරනව වගේ මට දැනෙනව.
දීපං පෙත්සම.ඔන්න මම ශ්‍රී ලංකාවාසී සියලුම ජනයා වෙනුවෙන් විස්ස පරාජයට ප්‍රතිඥාදෙනව.
 
උඹ කියන ඕනෑම අවදානමක් ගන්න උඹගෙ තාත්තගෙ යාලුව පස්සගහන්නෙ නෑ.තාත්ත විශ්වාස කළා වගේම මං විශ්වාසකරපං.
හැටඅටේදි මට මහපාරෙ පොලිස් බැටන්පහරවල් එල්ලවෙනකොට  උඹගෙ තාත්ත මැදට පැනල මං වෙනුවෙන් පහරකෑව මට දැන් වගේ මතකයි.ඒකට හිලව්වෙන්න උඹ වෙනුවෙන් මම මේ අරගලය මැදට පනිනව පනිනවමයි.මොනතරම් දේශපාලන තුවාල සිදුවුනත් මම තිබ්බ අඩිය පස්සට ගන්නෙ නෑ පුතේ. කියපං පුතේ මම ඊළඟට කරන්න ඕන මොකක් ද?
 
කඳුලු පිහදගන්න සර්.
 
මේ රටේ අද ඉන්න දේශපාලුවො එක්ක සැසඳුවම සර් නරකම දේශපාලකයෙක් නොවෙයි.සර්ගෙ ඇඟ ඇතුලෙ ඉන්න නියම මෛත්‍රී එළියට ගන්න මේ රටේ
වාමාංශික නායකයො අසමත්.මට හැකි පමණින් මේ උත්සාහය අවසානය දක්වා කරනව.
 
ඔන්න අපි ඉබ්බ අල්ලල දියට දැම්ම.සර්ට තියෙන්නෙ දියයටින් පීනල යන එක විතරයි.
 
හැබෑට   පුතේ කවුද අර උපවාසයෙ යෙදෙන පස්දෙනා.හාමුදුරු කෙනෙකුත් මට පේනව.
 
ඒ තමයි සඟ වෙද ගුරු ගොවි කම්කරු පංචමහාබලවේගයේ නියෝජිතයො.දෙමළ මුස්ලිම් ව්‍යාපාරිකයො දෙන්නෙකුත් උපවාසයෙ යෙදෙනව.සර්ට පේනවද රෝදපුටුවෙ ඉඳගෙන උපවාසයෙ යෙදෙන රණවිරුව?
 
ඇයි පුතේ වීරවංශයි දඹර අමිල සාදුයි  උපවාසයට නැද්ද?
කිරි කළයට ගොම දාගන්න තරම් අපි මෝඩ නෑ සර්.
 
එතකොට සජිත් අනුර හරින් රුවන්?
තනිකරම දේශපාලන ටෙලි නලුවො සර්.මෙලෝරහක් නෑ.කැමරාව එල්ලකරපියෝ නැත්නම් අපි නැතෝ කියල පාර්ලිමේන්තුවෙ බෑඟිරි ගගහ අඬනව.
සටන්බිමේ ඉන්නෙ නිල් රතු කොල පොදුජනයා පමණයි සර්.
 
එතකොට පුතේ නායකයො කට්ටිය ගෙදරටවෙලා බුදිද?
 
නෑ සර්.නායකයො සෙට් එකට මම වෙන වැඩසටහනක් හදල දුන්න.
අලුත්කඩේ උසාවිය ඉස්සරහ ප්‍රේමදාස පිළිරුව ළඟ සත්‍යග්‍රහයක්.සටනේ තේමා පාඨය තමයි.
‘චොකා උසාවියට කොකා ගස්සයි,චොකාට කොකා පෙන්වීමට එන්න අප හා එක්වන්න’
හරින් රුවන් ඩබලම එක පයින් වැඩේට එකඟවුනා.මොකද සර් ඇඟබහින්නත් එක්ක යෝගාසනයකින්ම සත්‍යග්‍රහයෙ යෙදෙනවලු.දවසට එක මන්තිරිය බැගින් දවස් පනස්ගණනට බෙදාගෙන වැඩේ යනව සර්.
 
උඹනම් මාරපුත්තයෙක්ම තමයි බං ! අපරාදෙ මම ජනාධිපතිකාලෙ උඹ මගේ ළඟට ගන්න බැරිවුනානේ.
 
අනේ නිකං යන්න සර් චාටුකතා නොකිය.ශිරාල් ලක්තිලක මහත්තයලට වගේ අපේ නමට ඉස්සරහින් කෑල්ලකුයි පස්සට ඉංගිරිස් අකුරු දෙකතුනකුයි තිබුනනම් ඔහේටත් අපි මතක්වේවි.
හැබැයි සර්   මම  සර් ළඟ හිටියනම් අදත් ලංකාවෙ ජනාධිපති සර්!අන්න ඒක  විතරක්  හොඳින් තේරුම්ගන්න.
සර් මට පරක්කුයි.BBC,CNN,අල්ජසීරා හෝ ගාල ලෝකෙපුරා අපේ වැඩේ  ලයිව් දෙනවලු.දේශබන්දු ලොක්ක සෙට් එකත් එක්කම හූ කාගෙන දුවනවලු.දැක්කද ජනබලයෙ පවර් එක!
සර්ට මතකනේ අධ්‍යාපන ධවල පත්‍රිකාවෙදි ජනතාව ඉල්ලපු ගේම.
 
තත්පරයක් දීපං.මේක  පුතේ රහසක්.අපි දෙන්නගෙ කන් හතර විතරමයි දැනගන්න ඕන.
 
අමරවීර සුසිල් එස්බී බයවෙන්නත් එක්ක හොඳ සටන් පාඨයක් දාල පෝස්ටර් වටයක් ගහපං.එතකොට මට වැඩේ ලෙහෙසි වෙනව. නිල්පාටින් ලියල අමරවීරගෙ ගමහතරවටේම අලවපං.
 
ඒව දැනටම සෙට්කරල ඉවරයි සර්. එහෙනම්  සර්ම කියන්නකො බලන්න  හොඳ සටන් පාඨයක්.
 
මමත් හිටිවන කවිකාරය වුනාට එක සැරේටම ඔලුවට එන්නෙ නෑ බං.මිනිත්තුවක් දීපංකො.හරි,ආව.මෙහෙම ලියපං.
විස්සට අත උස්සා..ගමට නුසුදුස්සා..ගෝටා සුදුස්සා..කියන බයියෝ වෙන කොයින්දා..
 
චෑ චෑ සර් ඒක මා වැනි බිළින්දා වගේ නේ .අයියෝ කිසි ගැම්මක් නෑ.සර්ගෙ අමරබන්දු රූපසිංහ කවිය ඊට වැඩිය හොඳයි.මේ වැඩේට මයිල් ඉස්මයිල් වෙන ත්‍රාසජනක සටන්පාඨ දාන්නඕන.
 
එහෙමද? එහෙනම් මට තත්පරයක් දීපං. වෙන එකක් ඔලුවට ගන්න.
 
සර්..කොළඹට පොලිස් ඇඳිරිනීතිය දාලලු.මැසේජ් එකක් ආව.දැන් මම සටන්භූමියේ ඉන්නම ඕන වෙලාව.
පොඩ්ඩක් හිටපං පුතේ බඩු ඔලුවට ආව මෙන්න මෙහෙම ලියපං.අමරවීරයගෙ ගේට්ටුවෙම අලවපං
විස්සට දීපියව්,කොළඹම නැවතියව්!
අප්පට සිරි කිව්වලු! චීනකොමිනිස්ට් විප්ලවකාරය පැන්න නේද  එළියට! සිරාම තමයි සර්.    එකරැයෙන් රටම වැහෙන්න පෝස්ටරේ ගහන්නම්කො.
වැඩේ හරි නේ.මම ජනතාව අතරට යන්න ඕන.  ප්‍රමාදවුනොත් අපි පරාදයි සර්
 
කෝ ඉතිං මම ඊළඟට කරන්න ඕනදේ උඹ කිව්වෙ නැහැනේ පුතේ.
 
සර් ජනතාවගෙ පෙත්සම බාරගෙන ප්‍රතිඥාව දුන්නනේ.එච්චරයි වෙනත් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නෑ.
තව මිනිත්තු දහයෙන් මහින්ද මහත්තය සර්ට කෝල් කරාවි.එතකොට මම මේ කියන අදහස සර්ගෙ ස්ථාවරය විධියට  ගලපල බොක්කෙන්ම හැඟීම්බරව මහින්ද මහත්තයට කියලදාන්න.ඉතිරි වැඩේ මහින්ද මහත්තය සුපිරියටම කරනව   ඒකෙසැකයක් නෑ.
 
මොකක් කිව්ව?උඹලගෙ මේ වැඩේ කොනක මහින්දත් ඉන්නවද?
පිස්සුද සර්? වතුරට වඩා ලේ උකුයි,ඇලෙනසුලුයි වගේම රාජපක්ෂල එකිනෙකාගෙ ලේ ලාටු වගේ ඇලෙනසුලුයි කියනඑක සර් වගේම මමත් දන්නවනේ.
අපේ වැඩේ ඇමරිකාවෙත් දැන් නිවුස් එකක්.එහෙම වෙලාවක  ලංකාවෙ අගමැති මහින්ද මේ කලබලය පිළිබඳව සර්ගෙන් විමසනවමයි.
සර් කියන්න ශ්‍රීලනිපය පොදුජනමතයට හිසනමන්න තීරණයකළා. විස්සට ඡන්දයදීම කිසිසේත්ම කළ නොහැකියි.
ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිට පංච මහා බලවේගයේ භුමිපුත්‍රයෙකු දිවිපිදුවොත් බණ්ඩාරනායක නමට කැළලක් විතරක් නොවෙයි එම මරණයට වගකිවයුත්තා ඩී.ඒ.රාජපක්ෂගෙම ලෙයින් ජනිතවූවෙක් නිසා ඩී.ඒ.රාජපක්ෂගෙ සොහොන් කොතත් මැදමුලනෙ අනුස්මරණ කෞතුකාගාරයත් දෙදරුම්කාල ඉරිතලාවි. මමත් උඩ තට්ටුවෙන් බිමට  පැනල මැරෙනව මැරෙනවමයි.
මහින්ද ඔයා සයිඩ්ගහල ඉන්න එපා.වහාම මේකට මැදිහත්වෙන්න.පරණ ආමන්ත්‍රණය විධියට මහින්ද අයියේ කියල ඉකිගහල අඬාගෙන ෆෝන් එක බිම අතහරින්න.
 
උඹේ මොළේ තමයි බං මොළේ! දෙන්නම් ඇක්ටිංපාර පොරිහැලෙන්න.කුලුමීම කුපිතවෙලා ආපහුහැරිල පහරදෙනව වගේ මහින්ද සරම උස්සගෙන බැහැපුගමන් දේශබන්ධුට කමල් ගුණරත්නට බලඇණි දහයක්යෙදුවත් නවත්වනව බොරු පුතෝ බැසිල් කෙළින්ද රෝඩ් නිව්යෝර්ක්,වොෂිංටන්! හැක් හැක්!
සර්ගෙ ප්‍රතිචාරයත් එක්කම පොකුරු බෝම්බ වැලක්වගේ දේශපාලන  ගින්නපත්තුවෙන්නෙ!!
අපේ ලොකු දේශපාලන බෝම්බයේ කම්පනයට වීරවංශල හාමුදුරුවරු ජාතිවාදියො ජාතිකවාදියො අටවලතිබුන පොඩි පොඩි දේශපාලන බෝම්බ පට පට ගාල පුපුරන්න පටන්ගන්නව. විස්ස කුනුබක්කිය පිටින්ම බොරැල්ල කනත්තෙ ආදාහනාගාරයෙ දැවී අලුවී  සුදු අහසේ කලු දුමාරයක් විධියට ඈතටම පාවෙලා පෙනී නොපෙනී යනව.වැඩේ අහවරයි.
සර් මේ අහන්න.සල්ලිගෙවල මන්ත්‍රීල මිලට අරගෙන විස්ස දිනුවත් ආණ්ඩුව පරාදයි.සිංහල-බෞද්ධ ජන පදනම දෙදරල බව ඒකෙන්ම ඔප්පුවෙනව.ඒ නිසා මේ ගේම් එකේ අපි දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්.
 
යාපනයේ දෙමළ ජනයා ශ්‍රීලනිපයට  මන්ත්‍රීකමක් දීල සංඥා කෙරුවෙ මෑතදී  ලේ ගංගාවකින් වෙන්වුනත් අතීතයේ සිරිමා-කොබ්බෑකඩුව යුගයේ උතුරේ නිල්-රතු බලකොටුවේ අඩිතාලම තවමත් නටඹුන් විධියට ඉතිරිව සුරැකිව තියෙන බව.
 
අනික සර් මහින්ද මහත්තයගෙ ආයුෂත් එක්කම පොහොට්ටුවෙ ආයුෂත් ඉවරයි.මහපොළවෙ යූඇන්පී කාරයො ඉන්නව.ජේවීපී,සමසමාජ,කොමියුනිස්ට් කාරයොත් ඉන්නව.
නමුත් පොහොට්ටුකාරයෝ කියල ජාතියක් මහපොළවෙ තවම නැහැ.ඒ ඔක්කොම පොහොට්ටුවෙ ටීෂර්ට් ඇඳගෙන ඉන්න ශ්‍රීලංකාකාරයො. ඒ  නිසා ශ්‍රීලනිපයේ අනාගතය සුබයි සර්!
සර්ට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියද්දි ගහපු මනාප ගණනින් ශ්‍රීලංකකාරය බැසිල් උන්නැහේට දීපු පණිවුඩය   තමයි ‘අපි බයියෝ බව ඇත්තය.එහෙත් අපි නුඹලාගේ වහලුන් නොවේ’කියන එක.
අද මුලුරටේම එකම හඬ ‘අපි නුඹලාගේ වහලුන් නොවේ’!!

Archive

Latest news

Related news