Tuesday, April 23, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය සිරිසේන නොදැන සිටියේයැයි විශ්වාස කරන්න බැහැ – හිටපු ආක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

(පාස්කුImage courtesy of www.dailysabah.com)

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) අධ්‍යක්ෂ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජාතික තව්හීඩ් ජමාත් නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පිළිබඳව හිටපු ජනාධිපති සිරිසේනට දැනුම් දී නොමැති බවට කියන ප්‍රකාශ කිසිම තත්වයක් යටත් විශ්වාස කළ නොහැකි යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි.

නිලන්ත ජයවර්ධන සහ ජනාධිපති සිරිසේන අතර සුහද සම්බන්ධතාවයක් පැවති බවත් පැවසූ හේමසිරි ප්‍රනාන්දු, ඔවුන් දෙදනා අතර දිනපතා දුරකථන ඇමතුම් හතක් හෝ අටක් හුවමාරු වූ බවත් පැවසීය. “නිලන්ත ජයවර්ධන ඕනෑම වැදගත් තොරතුරක් පෞද්ගලිකව ජනාධිපතිවරයාට දන්වා සිටි බවත් තමාට ජනාධිපතිවරයාට පැවසීමට ඉඩ නොතිබූ යම් යම් කරුණු පවා තමා ජනාධිපති සිරිසේනට දැන්වූයේ ද නිලන්ත ජයවර්ධන හරහා” බව හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

විදේශ රටවලින් ලැබෙන බුද්ධි තොරතුරු පිළිබඳව සිරිසේන වෙත දෛනික වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජාතික බුද්ධි සේවය පියවර ගෙන තිබූ බව හේමසිරි ප්‍රනාන්දු කොමිෂට කියා සිට තිබේ.

ජාතික බුද්ධි සේවය විසින් තමාට ලබා දුන් බුද්ධි තොරතුරු කිහිපයක් පිළිබඳව තමා අවස්ථා කිහිපයකදීම සිරිසේනට දැනුම් දීමට උත්සාහ කළ නමුත් එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා කියා සිටියේ එම තොරතුරු පිළිබඳව තමා ජයවර්ධන විසින් දැනුවත් කළ බව බවත් හේමසිරි ප්‍රනාන්දු කියා සිටි තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම ඉදිරියෙහි සාක්ෂි දෙමිනි.

මෙම ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රෙල් 21 දින පුද්ගලික සංචාරයන් සඳහා සිරිසේන සිංගප්පූරුවට ගොස් සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන දෙදනාම අත් අඩංඟුවට ගන්නා ලදී.

කොමිසම හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ වගකීම භාර ගෙන වකට පොලිස්පති වූ පූජිත ජයසුන්දර ඉල්ලා අස්වන්නේ නම් ඔහුට විශ්‍රාම වැටුප සහ ඔහු කැමති ඕනෑම රටක තානාපති තනතුරක් ලබා දෙන බවට ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර තිබූ බවයි.

පූජිත ජයසුන්දර මේ සම්බන්ධයෙන් තමන්ගෙන් උපදෙස් පැතූ නමුත් ඔහුට කාරණය ඉතා බැරෑරුම් නිසා තමාට උපදෙස් දීමට නොහැකි බව පවසා සිය පවුලේ අය සමඟ සාකච්ජා කරන ලෙස තමා ඔහුට කී බවත් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේය.

2019 අප්‍රියෙල් 21 වන දින බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු හිටපු ජනාධිපති සිරිසේන මහතා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සහභාගී නොවන ලෙස තමාට උපදෙස් දුන් බවද හේමසිරි ප්‍රනාන්දු පවසා තිබේ.

මේ අතර, 2019 අප්‍රියෙල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට 2019 අප්‍රේල් 20 වන දින ලැබුණු තොරතුරු අගමැති වික්‍රමසිංහ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට දැනුම් නොදුන්නේ මන්දැයි කොමිසමේ සාමාජිකයෙකු විමසන ලදුව හේමසිරි ප්‍රනාන්දු කියා සිට ඇත්තේ ඔවුන්ට කතා කිරීම සිරිසේන විසින් තමන්ට තහනම් කර තිබූ බවයි.

මම ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ සිරිසේන සහ වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධය අතිශයින්ම විෂ සහිත විය. සිරිසේන ඉදිරියේ වික්‍රමසිංහගේ නම සඳහන් කිරීමට පවා නිලධාරීන් බිය වූහ” යැයි  හේමසිරි ප්‍රනාන්දු කියා සිටි තිබේ.

ඔහු ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ සිරිසේනට බුද්ධි තොරතුරු ලබා දී නැත.

හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් මෙසේ පවසා තිබේ.බෝම්බ ප්‍රහාරයෙන් පසු මම ජනාධිපතිවරයා මුණගැසුණු විට, ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව පිළිබඳව ඩතොක බුද්ධි සේවය වෙත ලැබුණු තොරතුරු ගැන එහි ප්‍රධානී ජයවර්ධන ඔහුට දැනුම් දුන්නේදැයි මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු නැතැයි කීවේය. එසේ නම් හිටපු පොලිස්පති (අයි.ජී.පී.) සහ මා බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු යැයි ජාතියට අමතා කියා සිටියේ ඇයිදැයි අසුවෙමි. ජනාධිපතිවරයා කිසිදු පිළිතුරක් නොදී බිම බලා සිටියේය.”

සිය සාක්ෂියේදී හේමසිරි ප්‍රනාන්දු විසින් ජනාධිපති සිරිසේන විසින් අපරාධ පරීක්ෂන සහ පොලිස් මාරු කිරීම් යනාදියට බලපෑම් කළ බවත් ඒනිසාම නිසි ක්‍රියාපාරිපාටි අනුගමනය කරමින් තමන් විසින් ගත් තීරණ 20-30ත් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක කල නොහැකි වූ බවත් ප්‍රකාශ කර තිබේ. “තමා ආරක්ෂක ඇමැති බැවින් තමා කියන පරිදි කටයුතු කරන්න”යැයි සිරිසේන කියා සිටි බවද ඔහු සදහන් කරයි.

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් වශයෙන් පත්වීම බාර ගන්නා ලද්දේ සිරිසේනගේ 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණ අවස්ථාවෙහිය. දේශපාලන සදාචාරයක් තිබුනි නම් එවැනි අවස්ථාවක ආරක්ෂක ලේකම් තනතුර බාර ගැනීමට පෙර ඔහු දෙවරක් කල්පනා නොකළේ මන්දැයි එම දිනවල විචාරක පිරිස් ප්‍රශ්ණ කළහ.

මෙම සාක්ෂිය සම්බන්ධයෙන් සිරිසේනගේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හේමසිරි ප්‍රනාන්දු කියන්නේ බොරු බවය.

කොමිෂන් සභාවට අවශ්‍ය නම් ජාතික බුද්ධි සේවයේ එවකට ප්‍රධානී වූ නිලන්ත ජයවර්ධනගේ දුරකථන ඇමැතුම් පරීක්ෂා කර බැලීමෙන් ඔහු සහ සිරිසේන අතර වූ තොරතුරු හුමමාරුව සොයා ගත හැකි බව ආරක්ෂක මාධ්‍ය අංශ ප්‍රකාශ කරයි.

 

Archive

Latest news

Related news