Monday, May 6, 2024

විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවන බව ආන්ඩුව පිළිගනී – ප්‍රදීප් රාමනායක

කාටූනය ඩේලි මිරර් වෙතිනි.

“නවකවදය මැඩීමේ වැඩපිලිවෙල” යටතේ විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න පවසා ඇත. එය ආන්ඩුව විසින් මෙතෙක් රහසිගතව ක්‍රියාත්මක කරමින් පැවති මෙහෙයුමක්, වඩාත් ඉහල තලයක ක්‍රියාත්මක කිරීම පිලිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමකි.

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තා කල පරිදි ගුනරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත, රාජ්‍ය බුද්ධි සේවය සහ ආන්ඩුවේ වෙනත් රහස් ඔත්තු සේවාවන්ගේ සහාය ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ම ලබාදෙන බවට සහතික වී ඇත. “අධ්‍යාපන වැඩකටයුතු වලට බාධා පමුනුවන බැවින් නවකවදයට සම්බන්ධ කන්ඩායම් [විශ්වවිද්‍යාල තුලින්] ඉවත්කල යුතු” බව ඔහු පවසයි.

[title]“නවකවදය මර්දනය කිරීම”[/title]

ආන්ඩුව මෙම තීරනය ප්‍රකාශයට පත්කර ඇත්තේ “නවකවදය මර්දනය කිරීම” පිලිබඳ ආන්ඩුව විසින්ම පත්කල අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ අනුවයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පැවසුවේ සියලුම උපකුලපතිවරු මෙම තීරනයට එකඟ වී ඇති බවයි.

විශ්වවිද්‍යාල පරිපාලනයේද සහයෝගය සහිතව ආන්ඩුව තබා ඇති මෙම පියවර, සිසුන්, ගුරුවරුන් සහ අනධ්‍යන සේවකයන් ඇතුලු සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන දරුනු ප්‍රහාරයකි. සිසුන්ට තම අධ්‍යන කටයුතුවල නියැලීමට සිදුවන්නේ තමන් වෙත නිරතුරුව ඇස ගසාගෙන සිටින ඔත්තු ජාලයක් ක්‍රියාත්මක වන තත්වයක් යටතේ වන අතර, මෙය, එලිමහන් සිර කඳවුරු තුල ජිවත් වීමට සමාන තත්වයකි.

කොමිසමේ සභාපතිවරයා විසින්ම මෙම මර්දනකාරී වටපිටාව විස්තර කරමින් පවසා තිබුනේ රාජ්‍ය බුද්ධි අංශ සහ විශ්වවිද්‍යාලවල දැනට සේවයේ යොදවා ඇති විනය ආරක්ෂක නිලධාරීන් (මාෂල්වරු) ඒකාබද්ධ කෙරෙන ජාලයක් හරහා තොරතුරු හුවමාරු කරගැනීම මගින් වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට විශ්වවිද්‍යාල පරිපාලනය බලාපොරොත්තු වන බවයි.

[title]ඇත්ත අරමුණ මර්දනයයි[/title]

නවකවදය මැඩලීමේ කඩතුරාව යටතේ විශ්වවිද්‍යාල තුලට ඔත්තුකරුවන් යෙදවීම පසුපස ඇත්තේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ප්‍රවිෂ්ට වන සිසුන් මෙන්ම, අධ්‍යයන සහ අනධ්‍යන සේවකයන් දඩයම් කිරීම සඳහා රුදුරු මර්දන යාන්ත්‍රනයක් ඇටවීමේ උවමනාවයි. අධ්‍යයන සුබසාධන ගැටලුවලට එරෙහිව උද්ඝෝෂන ඇතුලු වෙනත් විරෝධතාවලට සක්‍රියව සහභාගී වන සිසුන්ගේ ලැයිස්තු දැනටමත් මාෂල්වරු සතුව පවතින අතර ඒවා නිසැකවම රාජ්‍ය ඔත්තුකරුවන්ගේ අතට පත්කෙරෙනු ඇත.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයට මෙම වසරේ ජනවාරියේදී නවක සිසුන් බඳවාගැනීමේ උත්සවයකදී එහි උපකුලපතිවරයා සෘජුවම පැවසුවේ දැනටමත් විශ්ව විද්‍යාලය තුල රාජ්‍ය ඔත්තුකරුවන් ක්‍රියාත්මක වන බවයි. “සෑම වසරකම ශිෂ්‍යයන්  විදියට, ආචාර්යවරුන් ලෙස, ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ලෙස බුද්ධි අංශ සාමාජිකයින් 34 ක් හෝ 35 ක් සිටිනවා. අපි හැමෝම ප්‍රවේසම් විය යුතුයි” යනුවෙන් එහිදී ඔහු පැවසීය.

පසුගිය කාලය මුලුල්ලේම ශිෂ්‍ය ක්‍රියාකාරීන් බියවැද්දීම සඳහා නේවාසිකාගාර සහ ඔවුන්ගේ නිවෙස් වලට පවා පොලීසිය කඩාවැදුනේ මෙම ඔත්තු යාන්ත්‍රනයන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල හැටියටයි. මෙතක් රහසේ ක්‍රියාත්මක වෙමින් පැවති මෙම ජාලය සම්බන්ධව ගුනරත්න වඩා විවෘතව ප්‍රකාශ කිරීමේ අර්ථය වනුයේ ඉදිරියේදී වඩා පුලුල් ලෙස එම යාන්ත්‍රනයන් ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

[title]මිලිටරිකරනයේ දිගුවක්[/title]

විශ්ව විද්‍යාල තුල කෙරෙන මෙම නව මැදිහත්වීම, ජන ජීවිතයේ සෑම අංශයක්ම මිලිටරීකරනයට යටත් කිරීම සදහා රාජපක්ෂ ආන්ඩුව

ක්‍රියාවට නංවන ආඥාදායක සැලසුම්වල අත්‍යන්ත කොටසකි. කම්කරුවන් අතර ගොඩනගමින් පවතින යාන්ත්‍රනයන් මේ අයුරින්ම විසකුරුය. සිවිල් පරිපාලන ආයතන වලට අලුතෙන් බඳවා ගැනෙන උපාධිධාරීන් සඳහා හමුදා පුහුනුවක් ලබාදීම ආරම්භ කර ඇත. එමන්ම පසුගිය වසරේ දෙසැම්බරයේදී රාජපක්ෂ ආන්ඩුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ගොඩනැගීමට තීන්දු කල අතර, අඩු ආදායම්ලාභි පවුල්වල රැකියා විරහිත හා නුපුහුනු තරුනයන් 100,000 ක් ඒ සඳහා බඳවා ගැනෙමින් පවතියි. මෙම බලකායට පුද්ගලයන් බඳවා ගැනුනු සම්මුඛ පරීක්ෂන සෘජුවම මිලිටරියෙන් අධීක්ෂනය විය. දැන් ඔවුනටද මෙම මිලිටරි පුහුනුව ලබාදෙන බවට වාර්තා වෙයි.

මෙම ඊනියා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට, සිසුන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව මුගුරක් ලෙස යොදාගත හැකිවන පරිදි, කම්කරු පන්තිය තුලින්ම, රාජ‍ය බුද්ධි අංශය ඇතුලු ආරක්ෂක ජාලය සමග සමීපව වැඩකටයුතු කරන සහායක බටකායක් ලෙස යොදවා ගැනීම රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කය වී ඇත.

පසුගිය වසරේ තමන් බලයට පත්වූ තැන් පටන් ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය පුලුල් කිරීම ඇරඹූ රාජපක්ෂ, විශ්‍රාමික හමුදා නිලධාරීන් තීරනාත්මක රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බවට පත්කලේ, මෙම ආඥාදායක තන්ත්‍රය ගොඩනැගීමේ පියවර ලෙසය. ජුනි මාසයේදී ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ද ඇතුලු 13 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූ අතර, එය, ඕනෑම රාජ්‍ය ආයතනයක පරිපාලනය සෘජුව මෙහෙයවීමේ බලය මිලිටරිය අතට ගොනු කිරීමකි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම ජනාධිපති ආඥාදායකත්වය කූටප්‍රාප්තියක් කරා ගෙනයාම රාජපක්ෂ ගේ අභිප්‍රාය යි.

විශ්වවිද්‍යාල තුල මර්දනය වඩාත් පහසුකර ගැනීම සඳහා තමන්ට මුලුමුනින් අවනත උපකුලපතිවරුන් ආන්ඩුව විසින් පත් කරගෙන ඇත. 1978 විශ්වවිද්යාල ආඥාපනත යටතේ අයදුම්පත් කැඳවීමෙන් පසු සහ නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත මන්ඩලයක ඡන්දය අනුව විශ්වවිද්‍යාලයක් සඳහා උපකුලපතිවරයා තෝරාගත් නමුත් මෙම වසර මුලදී නිකුත් කෙරුනු ගැසට් පත්‍රයකින් එම ක්‍රමවේදය අහෝසි කර උසස් අධ්‍යාපන ඇමතිවරයාට සෘජුව බලපෑම් කල හැකි පංචපුද්ගල කමිටුවක නිර්දේශ මත උපකුලපතිවරුන් පත්කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කර තිබේ.

රාජපක්ෂ ආන්ඩුවේ නව අධ්‍යාපන ඇමති සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති ජී.එල් පීරිස් පසුගිය මාසයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී පැවසුවේ තමන් “නවකවදය සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොමැති” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. එහි අර්ථය වනුයේ, උපරිම මට්ටමක මර්දනයක් විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගෙන සංස්කරණය කරන ලදී. සම්පුර්ණ ලිපිය මෙහි කියවිය හැක.

 

Archive

Latest news

Related news