Tuesday, July 16, 2024

බෝම්බ පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලද හිටපු එල්ටීටීඊ භටයා මියයයි.

ඡායාරූපය: තංගරාසා තෙවනේසන්.

සිය නිවසෙහිදී බෝම්බයක් පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලද 43 වියැති තංගරසා තෙවනේසන් පසුගිය 09 දින මියගිය බව වාර්තා වේ. පසුගිය 04වන දින 40% ක ශරීර පිළිස්සුම් තුවාල සහිතව කිළිනොච්චි රෝහලින් අනුරාධපුර රෝහලට ඇතුළත් කරන ලදී. මෙම පිපිරීම සිදුව ඇත්තේ ඒ-9 මාර්ගයේ පලෙයි සිය කිලෝමීටර තුනක් දුරින් පිහිටි ඉලයකච්චි නම් ගමෙහි පිහිටි ඔහුගේ නිවසේදී ජූලි 03දාය.

හිටපු එල්ටීටීඊ බුද්ධි අංශ කාඩර්වරයකු වූ බව කියන තවනේසන් මෙම බෝම්බය නිපදවමින් සිටියේ කුමණ අරමුණකින්ද යන්න ගැන විවිධ වාර්තා පළව තිබේ.

මෙම බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ තංගරාසා විසින් කලු කොටි දිනය සැමරිමට සිය නිවසේදී බෝම්බ නිපදවමින් සිට ඇති බවයි. එවැනි තවත් බෝම්බ දෙකක් සොයාගත් බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි. වෙනත් වාර්තා සඳහන් කරන්නේ මැතිවරණය කඩාකප්පල්  කිරීම සඳහා මෙම බෝම්බ නිශ්පාදනය කරන්නට ඇති බවයි.

තංගරාසා තෙවනේසන් (ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙනි.)

රාජපක්ෂවරුන්ට පක්ෂපාතී ඒෂියා ට්‍රිබියුන් නම් වෙබ් අඩවිය වාර්තා කරන්නේ තවනේසන් එල්ටීටීඊ ඩයස්පොරා්ව සම්බන්ධව සිටි අයෙක් බව. පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එය කියන්නේ ඔහු සී-4 නම් ප්‍රබල පිපිරුම්කාරකය මිශ්‍ර කරද්දී මෙම පිපුරුම සිදුව ඇති බවයි. තවද එය සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරී බව මෙම බෝම්බ පිපිරීමෙන් සනාථ වී ඇති බවය.

එසේ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවෙන් හැඟී යන්නේ මෙය තනි සිදුවීමක් බවයි. ප්‍රංශයේ ජීවත්වන ජේෂ්ඨ එල්ටීටීඊ සාමාජිකයකු උතුරෙහි සිදුවීම් ඇති කිරීම සඳහා තවනේසන්ට මුදලින් ආධාරකර ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

තවනේසන්ගේ සහකාරිය යැයි කියන පාසැල් ගුරුවරියක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු වන රත්නසිංහම් කමලකරන් සිවිල් ආක්ෂක සේවයට සම්බන්ධ බවද කියනු ලැබේ.

1994 දී තවනේසන් එල්ටීටීඊයට සම්බන්ධ වී කලු කොටි කඳවුරක පුහුණුව ලැබූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 2007 දී ටීඅයිඩීය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි අංශ කටයුතු සඳහා එල්ටීටීඊය විසින් අනුයුක්ත කරනු ලදුව ඔහු කොළඹ එල්ටීටීඊයේ බුද්ධි අංශ යටතේ ක්‍රියාත්මක වූ බවත් 2007 දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු 2012 වසරෙහිදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවන තෙක් ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා තිබූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය තව දුරටත් ප්‍රකාශ කරයි.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාකරණයන් අවම වන අතර එබැවින්ම මෙම පුවතට වෙනත් කෝණයක්  තිබේදැයි දැන ගන්නට ද නැත. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2015ට පෙරද එල්ටීටීඊය සංවිධානය කිරීමට උත්සාහ දරුවේයැයි දෙමළ තරුණයින් තිදෙනෙකු වනගත පෙදෙසකදී වෙඩි තබා මරා දමන ලද බව වාර්තා විය. පසුව වාර්තා වූයේ ඉන් එක් අයකු හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධයක් තිබූ අයෙක් බවයි. මෙම සිදුවිමට සම්බන්ධ එක් අයෙක්ද යුද හමුදාව පවත්වාගෙන යන සමාන්තර ඒ්කකයක් වන සිවිල් ආරක්ෂක සේවයේ අයකු බව ඒ්ෂියා ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම ඒ්ෂියා ට්‍රිබියුන් වෙබ් අඩවියෙහි කර්තෘ 2007 වසරෙහිදී කරුණා අම්මාන් එංගලන්තයේ පදිංචියට යැවීමට රාජපක්ෂවරුන් පෙළඹවූ පුද්ගලයා ලෙස සෙනාලි සමරසිංහ ” ලංකා ඉන්ඩිිිිපෙන්ඩන්ට්” නම් සන්ඩේ ලීඩර් ප්‍රකාශනයක  පල කරන ලද ලිපි මාලාවක සඳහන් කරන ලදී. 

 

Archive

Latest news

Related news