Tuesday, July 16, 2024

කරුණා අම්මාන් දඩුකදේ ගැසීම – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය:2017 ඔක්තෝබර මාසයේදී කරුණා අම්මාන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගතවිය.

දෙදහස් ගණන් මැද භාගයේ දවසක මා නොදන්නා අංකයකින් මට දුරකථන ඇමැතුමක් ලැබුණි. අනෙක් කෙළවරේ සිටියේ කුණා අම්මාන්ය. ඔහු ගැන මා මම තීරුවෙහිම ලියන ලද විවේචනාත්මක ලිපියක් කියවූ බවත් ඒ ගැන මා හා තවදුරටත් කතා කිරීමට කැමැති බවත් ඔහු කියා සිටියේ ය. සමීපතමයින් හා කළ කතාබහකින් පසු ඔහු හමුනොවීමට මා තීරණය කළේ ආරක්ෂක හේතූන් නිසාය. ඒ වන විටත් ඔහු රජයේ බුද්ධි අංශ සමඟ එක්ව ආණ්ඩුවේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට පිරිස් සපයමින් සිටන්නේයැයි කටකතා පැතිර තිබුණි. පසුව දෙමළ සන්ධානයේ ජනප්‍රිය පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වූ නඩරාජා රවිරාජ් මහ දවාලේ කොළඹ නව නගර ශාලාව අසළදී වෙඩි තබා ඝාතනය කිරීමට එම කුලී හේවායන් සම්බන්ධ බවටද කතා පැතිර ගියේය.

[title]කාදිනල්වරයකු විතරයි අඩු![/title]

තමා යුද හමුදා භටයන් දෙතුන් දහසක් එක රැයකදී ඝාතනය කළ බවට කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ කී කතාව දැන් නොදන්නා අයෙක් නැති තරම් විය හැක. එමෙන්ම එම කතාව උඩ ඔහුට නඩු පැවරිය යුතු බවට භික්ෂූන් වහන්සේලාගේ සිට දේශපාලනඥයින් දක්වා කියන්නට පටන් ගෙන තිබේ. තවම ඊට අඩු කාදිනල්වරයකු පමණි!

විනායගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට විරුද්ධව යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවට මේ දිනවල ලොකු කතාබහක් පවතී. එස හුදෙක් දේශීය මාතෘකාවක් නොවේ. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ද මෙම ඉල්ලීමට විවිධ සාධක මත ඊට එක්ව සිටිති.

මේ අතරින් පෙරමුණ ගෙන සිටන එක් අයකු වන්නේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිය. 2020 මහ මැතිවරණ අපේක්ෂක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිළිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කළයි යනුවෙන් කරන ලද ප්‍රකාශය මත ඔහුගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් එහිමියන් විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. “ මෙබඳු සාපරාධී ක්‍රියා කළ එසේ ක්‍රියා කළ බවට ප්‍රතිඥා දෙන සාපරාධී පුද්ගලයෙක් , මිනීමරුවෙක් ත්‍රස්තවාදියෙක් කිසිසේත් මේ මැතිවරණයට ඉදිරිපත්වීමට තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. වහාම ක්‍රියාත්මකවන පරිදි මැතිවරණ තරඟ භූමියෙන් ඉවත් කළ යුතුය” යැයි එහිමියන් පවසා තිබුණී.

[title]ළමා සොල්දාදුවන්?[/title]

මෙම පාරිලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නන් අතර සිටින කසිප්පු ජාවාරම්කකරුවන්, ස්ත්‍රී දූෂකයින්, මහා පරිමාණ වංචාකාරයින් ගැන එහිමියන් කිිසිදු පැමිණිල්ලක් කර නැති බව ද අප මතකයේ තබා ගත යුතුය. කරුා අම්මාන් විසින් දෙමළ දරුවන් බලයෙන් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස යොදා ගැනීමද එහිමියන් ඇතුළු බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් වී ඇති බවත් නොපෙනේ.

ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයකු වන කඩුවෙල නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයකු වන බෝසෙත් කළෙහේපතිරණ විසින්ද මේ සම්බන්ධයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙනෙන විදිහට ඔහු හෙල උරුමයේ ප්‍රධානී චම්පික රණවකවාදී දේශපාලනඥයෙකි.

මේ අතර ට්වීටර් සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය පවසා සිටියේ එල්ටීටීඊයෙහි හිටපු අණ දෙන නිළධාරියෙකු වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතු බවයි. එල්ටීටීඊ ය විසින් ළමා සොල්දාදුවන් සමූහ වශයෙන් සංවිධානයට බඳවා ගැනීම හා පුහුණුව ලබාදීමද මෙම විමර්ශනයට ඇත්ළත් විය යුතු බව එහි සඳහන් කර තිබුණි.

[title]රජය හා හවුල් අපරාධ[/title]

හියුමන් රයිට්ස් වොච් නම් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එල්ටීටීඊ සංවිධානයේ සිටියදී මෙන්ම පසුව ශ්‍රී ලංකා හමුදාව සමග එක්වීමෙන් පසු ඔහු විසින් කරන ලද බරපතල මානව හිමිකම් කෙළෙසීම් විමර්ශනය කර නීතිමය පියවර ගත් යුතු බවයි. එය කියා සිටින්නේ එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව රජයේ හමුදාවන්ට සම්බන්ධව සමාන්තර හමුදාවක් පවත්වා ගෙන යමින්ද කරුණා අම්මාන් බිහිසුණු අපරාධ කළ බවයි. හියුමන් රයිට්ස් වොච් වනාහී යුද සමයෙහි මෙරට සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ සම්බන්ධයෙන් යුද්ධයට සම්බන්ධ වූ දෙපාර්ශයවම වග කියයුතු බව ප්‍රකාශ කරමින් එම යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ලබා ගැනීම උදෙසා ක්‍රියා කරන සංවිධානයකි.

එනයින් කරුණා අම්මාන් යනු දෙපැත්තම කැපෙන තියුණු කගපතක් වැන්න. සිංහල ජාතිකවාදි කඳවුරෙහි මෙන්ම රාජපක්ෂවාදී කදවුරෙහි දේශපාලනඥයින් ද කරුණා අම්මාන් සාධාරණය කරමින් ඔහු රැක ගැනීමට උත්සාහ කරන්නේ එනිසාය. ශ්‍රී ලංකාව තුළදී කරුණා අම්මාන්ට විරුද්ධව යුද සමයේ සිදු කරන ලද අපරාධ සමබන්ධයෙන් නඩුවක් පැවරැවහොත් ඔහු කුමක් කියනු ඇත්දැයි දන්නේ කව්ද?

[title]ගෝටා දුන් හොර පාස්පෝට් එක[/title]

2000 නොවම්බර් 7වන දින ලංඩනයේදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණා අම්මාන් අත්අඩංඟුවට ගැනුණි. ඔහු ලංඩනය බලා ගොස් තිබුණේ රජයේ සිංහල නිලධාරියකු නමින් සකස් කරන ලද ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගනිමිනි. 2018 ජනවාරී මාසයේදී ඔහුට විරුද්ධව විභාග වූ නඩුවෙහිදී වරද පිළිගත් කරුණා බ්‍රිතාන්‍ය අධිකරණයට කියා සිටියේ තමන්ට එම ව්‍යාජ ගමන් බල පත්‍රය සකස් කර දුන්නේ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් බවයි. (විනය ගරුක සමාජය!) එම විදේශ ගමන් බලපත්‍රයේ අංකය ඩී1944208 වූ අතර එහි නම සඳහන්වූයේ කොකිල ගුණවර්ධන යනුවෙනි. ඔහුට වීසා ලාබගැනීම සඳහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් යවන ලද නිල ලිපියෙහි සඳහන් වූයේ ඔහු වනජිවී සංරක්ෂන දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසය. ඇත්ත වශයෙන්ම නම් කරුණා අම්මාන් මෙළෙස බ්‍රිතාන්‍යට යවන ලද්දේ ඒ වන විටත් එරට දේශපාලන රැකවරණ ඉල්ලා තිබූ ඔහුගේ බිරිද සහ දරුවන් සමඟ එක්වීමටය. කරුණා ඉවත් කර ඒ වෙනුවට පිල්ලෙයාන් පත් කිරීමට රාජපක්ෂවරුන් විසින් තිරණය කරන ලද්දේ ඔහුට විරුද්ධව නැගී ආ යුද අපරාධ චෝදනා නිසා යැයි කියනු ලැබේ.

ප්‍රභාකරන්ට පිටු පෑ කරුණා අම්මාන් ගෝඨාභය රාජපක්ෂ පාවාදුන්නේ එළෙසය. ඔහු භයානක, ප්‍රවේසමින් පරිහරණය කළයුතු අයකු බව යුද්ධයට ඔහුගෙන් ප්‍රයෝජන ගත් අය හොදාකාරවම දන්වා ඇත. එබැවින් කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන කුන් මොර දුන්නද කිසිදු විමර්ශණයක් නොකෙරෙන බවට කැට තියා කියා සිටිය හැක. ඔහු නඩු වලින් නොව ප්‍රවේසම් විය යුත්තේ මාර්ග අනතුරකිනි.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය නිසා තමන්ගේ සිංහල බෞද්ධ ජන්ද ඉලක්ක කරගත් සිය ජන්ද ව්‍යාපාරයට හානියක් වනු ඇතැයි අගමැති රාජපක්ෂ බියවී සිටින බව ඔහු කළ ප්‍රකාශයෙන් පෙනෙන්නට තිබුණි. ඔහුගේ ප්‍රකාශය ප්‍රහාරක එකක් නොවී නිෂේධාත්මක එකක් වූයේද එනිසාය. ඔහු මෙසේ ඉල්ලා සිටියේය:

මම මහජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිහියේ තබා ගන්න කියායි. අපි රටක් හැටියට මුහුණ දී තියෙන තර්ජනයේ හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද, නොවැදගත් කාරණා මොනවද කියා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත්, අපි විනාශ වෙනවා.

කරුණා අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිවුවයි කියා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා. ලොකු චිත්‍රය යටපත් කර, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියා ඒකෙන් පේනවා. ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අප යැවුවෙත් කරුණාම තමයි.

කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැර නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕනෑ. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් සී.අයි.ඩීයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්.”

[title]රාජපක්ෂ විපක්ෂයට කපන දෙහි[/title]

මහින්ද රාජපක්ෂ චෝදනා කරන්නේ කරුණා අම්මාන්ට නොව විපක්ෂටය! ඔහු නොකියා කියන්නේ කරුණා නිවරදි බවයි. සිංහල අන්ත ජාතිවාදය සිය මතවාදය කරගත් ගෝඨාභය රාජපක්ෂවාදී පිරිස් එක්කෝ් කරුණා අම්මාන් සාධාරණ කරයි. නැතනම් කට අරින්නේ නැත.

ජනාධිපති ප්‍රේමදාස කොටි සංවිධානයට අවි ආයුධ සහ මුදල් දුන් බව රහසක් නොවේ. ඔහු ඒ සහාය එල්ටීටීඊයට ලබා දුන්නේ ඉන්දියානු සාම සාධක හමුදාවට පහර දීමටය. එයද රහසක් නොවේ. නමුත් ජනාධිපති ප්‍රේමදාසට ඉන් ලැබුණු වාසියක් නොවීය. ඒ වෙනුවට එල්ටීටීඊය ඔහු මරා දැම්මේය.

ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළුන් 18 දෙනෙකු ත්‍රිකුනාමළ වරායෙහිදී ඝාතනය කිරීම ජවිපෙ නායකත්වය දුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බාර ගත්තේ ද එකළය. මැතදී පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම්ට පොලීසිය පහර දීම හෙළාදුටු සමාජ මාධ්‍ය සටහනක අසා තිබුණේ “ ඉන්දියන් හමුදාව පිරිස් ඝාතනය කළ ගුණරත්නම්ට මෙහෙම සළකන එක හරිද” කියාය.

දැන් ප්‍රේමදාස එල්ටීටීඊට මුදල් දුන් බව පුන පුනා කියන රාජපක්ෂ එල්ටීටීඊයට කෝටි ගණනින් මුදල් දුන් බවට රහස් පොලීසියට ප්‍රකාශයක් කළ එම ප්‍රකාශයම රෑපවාහිනී කැමරා ඉදිරියේ කළ ටිරන් අලස් අද ඉන්නේ කොහිද? රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේය. (එම වීඩියෝ පහත අතුළත් කර ඇත අතර අදත් එම ප්‍රකාශය යූ ටියුබ් හි තිබේ. එය මෙහි නැරඹිය හැක). එම මුදල් ලබා දුන්නේ 2005 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට උදව් ගැනීමටය. ඒ අනුව එල්ටීටීඊය 2005 මහා ජනාධිපතිවරණය දෙමළ ජනයාට තහනම් කළේය. රාජපක්ෂ දිනුවේ ඒ නිසාය.

[title]ප්‍රේමදාසගේ හා රාජපක්ෂගේ සල්ලි[/title]

විමර්ශනය කළ යුත්තේ කරුණා අම්මාන් පමණක් නොවේ. දෙමළ කොටි, කොළ කොටි, රතු කොටි, සුදු කොටි, හෙළ කොටි, හමුදා කොටි, ප්‍රේමදාසගේ සල්ලි, රාජපක්ෂගේ සල්ලි, යනාදියෙන් පිරී ගිය දශක ගණනාවාක් වසා ගත් සමස්ත ප්‍රචන්ඩ දේශපාලන සංස්කෘතියයි. අප බොහෝ දෙනෙකු විවිධ මට්ටම්වලින් එම ප්‍රචන්ඩ සංස්කෘතියට සම්බන්ධය. මෙම කවර ස්ථානයකින් ආරම්භ කළද අනෙක් ප්‍රචන්ඩ මධ්‍යස්ථාන කරා එම විමර්ශන ඇදි යනු ඇත.

මෙවැනි සංකීර්ණ ප්‍රචන්ඩ ඉතිහාසයක් සහිත රටක් සුවපත් කිරීමේ ලොව පුරා සාර්ථකව අත්හදා බලන ලද එක් මෙවළමක් වනුයේ ‘ සත්‍ය කොමිසම”ය. මේ වන විට ලොව රටවල් 35ක් පශ්චාත්යුද්ධ හෝ පහ්චාත්ඒකාධිපතිවාදී හෝ පහ්චාත්වර්ගවාදී සත්‍ය කොමිසම නම් ක්‍රියාදාමය යොදාගෙන තිබේ.

සත්‍ය කොමිසම රටින් රටට වෙනස් වූ නමුදු එහි පොදු සාධකය වන්නේ ප්‍රචන්ඩ ඉතිහාසය පිළිබඳ ඇත්ත සොයා හෙළිදරව් කර ගැනීමයි. ඉතා පරිසිදු උදාහරණයක් වන දකුණු අප්‍රිිකානු සත්‍ය කොමිසමට සමාව දීමේ බලතල ද පවරා තිබුණි. ඒ ඇත්ත ප්‍රකාශ කොට අපරාධය පිළිගන්නේ නම් පමණි.

ශ්‍රී ලංකාවෙහි සත්‍ය කොමිසමක් පිහිටුවීමට දැරු තැත ඇමැති මංඩල මට්ටමෙහි දී පසුබස්සවන ලද්දේ සිරිසේන සහ චම්පික රණවක විසිනි. 2019 පෙබරවාරියේදීය. දැනට පිහිටුවා ඇති එකම සංහිදියා යාන්ත්‍රණය වන අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පවා අහෝසි කරන බවට දිව්රුම් දෙන රාජපක්ෂවරුන් යටතේ සත්‍ය කොමිසමක් කිසිවිටෙක ඇති නොවනු ඇත.

[title]කරුණා දැතිරෝදයක්[/title]

ප්‍රශ්ණය කරුණා අම්මාන් නොවේ. ඔහු එක් දැති රෝදයක් පමණි.

අපේ වැනි වාර්ගික වශයෙන් බෙදී ගිය රටක කවර ජනවර්ගයක  යුද අපරාධකරුවකුට දඩුවම් දීම එම එම ප්‍රජාව සළකනු ඇත්තේ තමන්ට එරෙහි පියවරක් ලෙසය. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙස් විදෙස් දෙමළ පක්ෂ සහ සංවිධාන දක්වන සමස්ත නිහැඩියාව පෙන්වන්නේ එම යථාර්ථයයි. ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් සිංහල සමාජය තුළ ඇති ආකල්පයද එයයි.

සමාව දිය යුත්තේ සමාජය සුවපත් කිරීමේ සමස්ත ක්‍රියාදාමයක් තුළය. සත්‍ය කොමිසමක කාර්ය බාරය එයයි. සමාජය සුවපත් කළ නොහැකි නම් දඩුවම් දීමෙන් හෝ සමාව දීමෙන් හෝ ප්‍රතිපලයක් නැත. කණගාටුවට කාරණය නම් අප රටක් වශයෙන් අද එවැනි සත්‍ය සෙවීමේ සංහිදාියා ක්‍රියාදාමයෙන් ඈතට ඈතට ගමන් කරමින් සිටීමයි.

එවැනි සමාජයක කරුණ අම්මාන් වනාහි හුදු දේශපාලන පා පන්දුවක් පමණි.

පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රී රාජපක්ෂ එල්ටීටීඊයට මුදල් දුන් හැටි හෙළි කළ වීඩියෝ:

Archive

Latest news

Related news