Sunday, May 19, 2024

පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනය ‘අන්තර්ජාලය’ ඔස්සේ අදහස් පළ කිරීමට බාධාවක් නොවිය යුතුයි!

අප්‍රේල් 01 දාතම “අන්තර් ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර” නමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් පහත අත්සන් කරනු ලබන අප සංවිධානවල බලවත් කණස්සල්ල පළ කරමු.

අදහස් ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය කෙරෙහි යම් සීමාවන් පවතින නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සෙසු අයිතිවාසිකම් ගණනාවකද පදනම වන හෙයින් ඒ හා සබැඳි කාරණාවකදී ක්‍රියාත්මක විය යුත්තේ වඩාත් වගකීම් සහගතව සහ පෘථුල අවබෝධයක් සහිතව බව පෙන්වා දෙනු කැමැත්තෙමු. මෙවැනි, ව්‍යසනයක් උද්ගතව පවතින අවස්ථාවක “ව්‍යාජ පුවත්” සහ “වැරදි තොරතුරු” සමාජගත වීම බරපතල හානියක් බව වගකිව යුතු මාධ්‍ය සංවිධාන ලෙස අපද විශ්වාස කරමු. එබැවින් එවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වාලිය යුතු අතර මේ තාක් අපද තනිවම හෝ සාමූහිකව එවැනි හානිකර තොරතුරු සමාජගතවීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇත්තෙමු. එහිලා අපගේ අත්දැකීම වන්නේ මෙවැනි අවස්ථාවලට එරෙහි ප්‍රතික්‍රියා දැක්වීම යනු අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම නොව “ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරුවලට” එරෙහිව නිරවද්‍ය තොරතුරු හා සත්‍ය හැකිතාක් ජනතාවට බෙදාහැරීම බවයි. එමගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද ආරක්ෂා වේ.

එසේම මෙවැනි නිවේදනයක ඉලක්කය සමාජ ජාල පරිශීලකයින් පමණක් නොවිය යුතු අතර වැඩි ප්‍රේක්ෂක බලපෑමක් සහිත රූපවාහිනී සහ අවශේෂ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලබන වර්ගවාදී සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්ද කිසියම් මාර්ගෝපදේශ මාලාවක් ඔස්සේ ව්‍යසන වාර්තාකරණයට අදාල යහභාවිතයට මඟ පෙන්වීම යුක්තිසහගත ය.

පොලිස් මූලස්ථානය නිකුත් කළ අදාල නිවේදනය සිංහල භාෂාවෙන් පමණක් නිකුත්වීම ද ගැටලු සහගතය. එමගින් සෙසු ප්‍රජාවන්ට දුර්භාවිතාවන්ගෙන් වැළකීමට ඇති අවස්ථාව දුරලයි. එමනිසා මෙවැනි කරුණුවලදී අදාලවන සියලු නිවේදන ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය හා නිල භාෂාවලින් නිකුත්කරන ලෙසද අප ඉල්ලා සිටිමු.

බරපතල ව්‍යසනයකදී නිරවද්‍ය හා සත්‍ය තොරතුරු පුළුල් ලෙස බෙදාහැරීම දිරිගැන්විය යුත්තේ, එමගින් මහජනයා තුළ වර්ධනය වන දැනුවත් බව හේතුවෙන්, ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම පහසු වන නිසාය. එබැවින් ව්‍යසනයට එරෙහිව ක්‍රියාකරන සියලු පාර්ශව මේ මොහොතේ තෝරාගත යුතු විකල්පය වනාහී නිරවද්‍ය හා විශ්වාසදායී තොරතුරු ජනගත කිරීමයි. මන්ද යත් දඬුවම් පැමිණවීම මගින් නිරවද්‍ය තොරතුරු සම්පාදනය කරන පිරිසද අකර්මන්‍ය විය හැකි නිසා ය. එසේම රාජ්‍ය නිලධාරීන්ගේ මෙහෙවර අගය කරන අතර ඔවුන් වැරදි සිදුකරන්නේ නම් ඒවා පිළිබඳ සාධාරණ විවේචනයක් කිරීමේ අයිතිය තිබෙන බවද අපි අවධාරණය කරමු.

අත්සන් කරන ලද්දේ,

දෙමළ මාධ්‍ය සංසදය [TMA]

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය [SWJA]

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය [FMM]

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය [SLMMF]

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය [FMETU]

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය [IMA]

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය [YJA]”

Archive

Latest news

Related news