Monday, May 6, 2024

පොලිස් විශේෂ කාර්ය සාධක බලකා යතුරු පැදි කණ්ඩායම් ප්‍රදේශ ගණනාවක නිරන්තර මුර සේවයක් අරඹයි.

පානදුර සිට මීගමුව දක්වා වෙරළබඩ තීරයේ විශේෂ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම පියවර ව්‍යාප්ත කරමින්  රට පුරා තව තවත් ප්‍රදේශවල මෙවැනි හමුදා කන්ඩායම් යොදවන බව විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍ය තත්වයක දි මෙළෙස විශේෂ ආරක්ෂක මුර සේවාවන් ක්‍රියාත්මක නොවේ. මෙම තත්වය කොපමණ කළක් පවත්වා ගන්නේ ද යන්න දැන ගන්නට නැත.

මින් එක් කණ්ඩායමක් යතුරුපැදි හතකින් සමන්විත වනු ඇත. ගෝනහේන සහ හොරණ විශේෂ කාර්ය බළකා කඳවුරු තුළ සිටින මෙම යතුරුපැදි කණ්ඩායම් දෙකක් කොළඹ සිට මීගමුව දක්වා ආරක්ෂාව සැලසීම සඳහා මෙහෙයුම් සිදුකරනු ඇත.

මොරටුව සහ ජයවර්ධනපුර කඳවුරුවල සිටින කණ්ඩායම් දෙක විසින් කොළඹ, කිරුළපන, ගල්කිස්ස, පානදුර, මොරටුව ඇතුළු ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂක මෙහෙයුම් දියත් කරනු ලැබේ.

මේ පිළිබඳව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉදිරියේදී හලාවත, පුත්තලම දක්වාද මෙහෙයුම් සිදු කිරීමට කුරුණෑගල කඳවුරේ යතුරුපැදි යොදා ගැනීමටද අදහස් කරන බවත්, ඉරිදා දිනවලදී ක්‍රිස්තියානි පල්ලිවලට විශේෂ ආරක්ෂාව සැපයීමක් සිදු කරන බවත් හෙතෙම පැවසීය. එසේම මෙම මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටි තිබේ.

(aruna  ද ඇසුරිණි)

Archive

Latest news

Related news