Tuesday, July 16, 2024

වරෙන්තු ලැබූ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැ.බ. පොලිස්පති ත්‍රස්තවාදය මැඩ පවත්වන්නේ කෙසේද? – ත්‍රිපුද්ගල මහාධිකරණය

වරෙන්තු ලබා සිටින රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැඩ බලන පොලිස්පතිවරයා බරපතල අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේ දැයි අධිකරණය අද ප්‍රශ්න ‌කෙළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ‌නන්දසේනගේ ජනාධිපති කොමිසමයමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට දොස් නැගූ ‌කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 12 දා වන විට ඇය අත් අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් පුද්ගලිකව උසාවියේ පෙනී සිටින්නැයි වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝග කෙළේය.

නීති විරෝධී ලෙස අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද 10 අඟහරුවාදා යළි කැඳවූ අවස්ථාවේදී විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය කේ. පටබැඳිගේ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් ‌කෙළේය.

අධිකරණයේ විභාග වන ඉහත නඩුවට අදාල ලිපි ගොනුව ජනාධිපති කොමිසමයම විසින් සීඅයිඩියෙන් රැගෙන ‌ගොස් තිබූ බැවින් එකී ලිපි ‌ගොනුව රැගෙන අධිකරණයේ පෙනී සිටින්නැයි කොමිසමයමේ ලේකම් පර්ල් කේ. වීරසිංහ නමැත්තියට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැති බැවින් ඇය අත් අඩංගුවට ගැනීමට ඉකුත් 6 ‌වෙනිදා ත්‍රිපුද්ගල අධිකරණය වරෙන්තු නිකුත් කළේය. නඩුව විභාගයට ගත් අද දිනයේ ද ඇය අධිකරණයට පැමිණියේ නැත.

[title]කොමිසම හරස් වෙයි..[/title]

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් කරන ලද නියෝගයට එරෙහිව යමින් කොමිසම විසින් නීතිපතිවරයා හට දන්වා ඇත්තේ තම සාමාජිකයකු අධිකරණය ඉදිරියේ සාක්ෂිකරුවකු ලෙස නම් කිරීම හෝ සිතාසි නිකුත් කිරීම “පූර්ණ වශයෙන් බලයෙන් පිට ක්‍රියාවක්” බවයි.

නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අදාළ කොමිසමේ ලේකම්වරියට පිළිබඳව වූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට ගත් පියවර පිළිබඳව පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල සහ සහකාර පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළහ.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි අදාළ කොමිෂන් සභා කාර්යාලයට ගිය විට එහි අදාළ නිලධාරිනිය නොසිටි බව සහ අද දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඇයගේ ලිපිනයන් ලබාගෙන ඇය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන එම නිලධාරීහු කියා සිටියහ.

පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරන පිළිතුර පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව කී විනිසුරු තුන් කට්ටුව අදාළ ලේකම්වරියගේ පත්වීම් බලධාරියා ජනාධිපති ලේකම් කාර්යාලය බවත් එම කාර්යාලයට ගියේ නම් ඇයගේ ලිපිනය සහ දුරකතන අංක පහසුවෙන් සොයාගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාව තුළින් පොලිස්පතිවරයා නීතිය දැඩි ලෙස අගෞරවයට පාත්‍ර කර ඇති බවත් ඒ තුළින් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව මුළු රටටම කණගාටුදායක පණිවිඩයක් ලබාදී ඇති බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විවෘත අධිකරණයේදී ප්‍රකාශ ‌කෙළේය.

මෙම නඩුවට අදාළ පොලිස් පරීක්ෂණ ගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රැගෙන ගොස් ඇති බවත් එම පරීක්ෂණ ගොනු නඩු විභාගය සඳහා ලබාදෙන ලෙස එහි ලේකම්වරියට අධිකරණය විසින් සිතාසියක් නිකුත් කර තිබූ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර උසාවියට සිහිපත් කළේය.

[title]කොමිසමට අර්ධ අධිකරණ බලයක්වත් නෑ..[/title]

සිතාසි නිකුත් කිරීම මගින් අදාළ කොමිසමේ කටයුතුවලට බලපෑම් සිදුකර ඇති බව දන්වමින් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසීම සඳහා හෙට දින එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නීතිපතිවරයාට නොතීසියක් නිකුත් කර තිබෙන බව පෙන්වාදුන් රජයේ නීතිඥවරයා එම කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපියක් මගින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට ද එම කොමිසමට මැදිහත් වීමට බලයක් නොමැති බව පෙන්වා දී ඇතැයි කීය.

අලි ඇතුන් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමට අදාළව තම අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළ පරීක්ෂණ ගොනු අදාළ කොමිසම විසින් රැගෙන ගොස් ඇති නිසා නඩුවේ සාක්ෂි විභාගය වෙනුවෙන් ඒවා ඉදිරිපත් කරන ලෙස පමණක් අධිකරණය අදාළ කොමිසමේ ලේකම්ට නියෝග කළ බව පෙන්වා දුන් සභාපති විනිසුරු විකුම් කළුආරච්චි දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා පත් කර තිබෙන කොමිසමට අධිකරණ බලය තබා අර්ධ අධිකරණ බලයක් වත් නොමැති බවද විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

කොමසාරිස්ලා යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය බරපතල ‌ලෙස කඩා බිඳ දානවා..
එම කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා අධිකරණය හමුවේ විභාග වන නඩු අවහිර වීමේ තත්වයක් උද්ගතව තිබෙන බව කී සභාපති විනිසුරු මේ හේතුවෙන් එම කොමසාරිස්වරුන් මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය බරපතල ලෙස කඩා බිඳ දමමින් රට අවාසනාවන්ත තත්වයකට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටින බවට අනතුරු ඇඟවීය.

මෙවැනි බරපතළ තත්ත්වයන් හමුවේ ඒවා වැලැක්වීම සඳහා නීතිපතිවරයා මැදිහත් නොවන්නේ ඇයි දැයි සභාපති විනිසුරු කළුආරච්චි රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළ අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉහළ අධිකරණයට ගොස් සහනයක් පැතීමට අපේක්ෂා කරන බව ඊට පිළිතුරු දෙමින් ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර පැවසීය.

පොලිසිය, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන විසින් සිදුකරන විමර්ශන සහ නීතිමය කටයුතුවලට අවහිරයක් නොවන පරිදි අදාල පරීක්ෂණ කොමිසම ක්‍රියාත්මක විය යුතු බවට එම කොමිසමේ අධිකාරි පත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ පිළිබඳව අදාල කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා හරිහැටි වටහාගෙන නොමැති බව පෙනී යන්නේ යැයි ද පැවසුවේය.

අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන්ට සහ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව තමන්ගේ ද දැඩි අවධානය යොමුවී තිබෙන බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු මේ පිළිබඳව ඉදිරියේදී තීන්දුවක් ලබාදෙන බවද විවෘත අධිකරණය සඳහන් කළේය.

කොමිසමට විරුද්ධව පෙත්සමක්.. [title][/title]

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පළමු ජනපති කොමිසමට විරුද්ධව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කොමිසම් සභාවට ලබා දී ඇති ඇතැම් බලතල හරහා අයිතිවාසිකම් කඩ වී ඇති බව කියා සිටී.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත දී ඇති බලතල අනුව අඛණ්ඩව සිදු වෙමින් පවතින හෝ පරීක්ෂණ කොමිසමේ කාලය තුළ ආරම්භ විය හැකි “විමසීම්, විමර්ශන සහ නීතිමය කටයුතු” වලක්වන, බාධා කරන සහ හෝ අගතියට පත් කරන නියෝග කිරීමට නිකුත් කිරීමට එයට හැකි බවට ආචාර්යවරයා අනතුරු අඟවා ඇත.

(LankaeNews.)

Archive

Latest news

Related news