Saturday, April 20, 2024

නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය

ඉහත පින්තූරය. පදගතාර්තයෙන්ම වචන දහසකට වඩා වටී.

මෙම පින්තූරයේ දැක්වෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පසුගියදා පැවැති ආනන්ද- නාලන්ද මහ ක්‍රිකට් තරඟය අතර තුර සතුටු සාමීචියක යෙදි සිටින අන්දම යි.

වසන්ත කරන්නාගොඩ යනු නිවික හමුදා බුද්ධි අංශ විසින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍යව සිටින චුදිතයෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොලඹ මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් මේ වනවිට සිවි වතාවක් වරෙන්තු නිකුත් කර තිබේ. තෙවතාවක්ම ඔහු සොයා ගැනීමට නැතැයි පොලීසිය අධිකරණයට වාර්තා කළේ ය. එබැවින් සිව් වන වතාවෙහි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ ආරක්ෂක ලේකම්වරයා හරහා එම වරෙන්තුව ඔහුට ලබා දෙන ලෙස යි.

මහේස්ත්‍රාත්වරයාගේ එම නියෝගය පස්ස පිසින කඩදාසියක්වත් තරම් නොසළකන බව පෙන්වීමට මෙන් වසන්ත කරන්නාගොඩ දැන් ආරක්ෂක ලේකම්වරයා සමඟ ප්‍රසිද්ධීයේ පෙනී සිටී. ආරක්ෂක ලේකම්වරයා හරහා බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කල වරෙන්තුවට කුමක්වීද? එය කමල් ගුණරත්නගේ කුණූ කූඩයේ ද?

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්ෂණයක් වන්නේ නීතිය ඉදිරියෙහි සියල්ලන් සමානය යන්න යි. නමුත් ගෝඨාභය ආණ්ඩුවේ ඇමැතිවරයකු වන බන්ධුල ගුණවර්ධනට අනුව එය එසේ නොවේ. ඔහු කියන්නේ හිටපු නාවික හමුදාපතිවරයකු වන බැවින් කරන්නාගොඩට අධිකරණයට නොගොස් සිටීමට අයිතියක් ඇති බවයි.

සාමන්‍ය මිනිසුන් වන අප වැනි අය අත් අඩංඟුවට ගැනීමට අධිකරණය වරෙන්තුවක් නිකුත් කළහොත් කුමක් සිදුවනු ඇත් ද? පොලීසිය පැමිණ අපව කුදලාගෙන යනු ඇත. හිටපු ඇමැතිවරුන් වන චම්පික රණවක සහ රංජන් රාමනායකට පොලීසිය විසින් අත් අඩංඟුවට ගෙන රැගෙන යනු අපි දුටුවෙමු.

වරෙන්තු මග හැර සිටින වසන්ත කරන්නාගොඩ ආන්නද නාලන්ද තරඟය මැද ජනාධිපති සමඟ

රාජපක්ෂවරුන්ගේ සුරතලුන්ට වෙනම නීතියකුත් අනෙක් ජනයාට වෙනම නීතියකුත් දැන් ශ්‍රී ලංකාවේ ඇත්ද?

ගෝඨාභය රාජපක්ෂ බලය ඉල්ලා සිටියේ විනය ගරුක රටක් හැදීමට ය. අධිකරණ නියෝග නොසළකා හැරිමට සිය ආරක්ෂ ලේකම්වරයාට බලය පවරන ජනාධිපතිවරයකුගෙන් බලාපොරොත්තු විය හැකි විනය ගරුක පාලනය කුමක් ද? පෙනෙන විදියට ඔවුන්ගේ විනය ගරුක පාලනය යනු තමන්ට අවශ්‍ය නම් නීතිය නොසළකා සිටීමට ඇති බලයයි.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙරට අධිකරණයට දෙන පණිවිඩය පැහැදිළිය. එනම් “අපේ මිනිස්සු අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ. අධිකරණය නියෝග අප ගනන් ගන්නේත් නෑ” යන්න නොවේ ද?

මෙම පණිවිඩය කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ අධිකරණය බිය වැද්දවීමකි. එය නොසළකා හැරීමකි. අපහාසයකි.

මෙම තත්වයට ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද පළිගැනීමේ කොමිසම විසින් අධිකරණය නොසළකා හැරීමත් එයට නියෝග දීමත් අප එක් කළ යුතු ය.

සියල්ලටමත් වඩා මේ වනාහී මහා මැතිවරණයෙන් පසු මෙරට ඇතිවීමට නියමිත ඒකාධිපති පාලනයේ පෙර නිමිති ය. අද මෙසේ නම් රනිල් වික්‍රමසිංහගේ සහයෝගයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට රාජපක්ෂලාට හැකි වුව හොත් මෙනෙවා වෙනු ඇත්ද?

Archive

Latest news

Related news