Friday, May 3, 2024

ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා. – රංජිත් හේනායකආරච්චි.

ගෝලීකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව රටවල් තනි තනි වෙන්ව පැවතීම, වෙන්වීම, ආපසු තම ජාතික පදනමට යාම, සියල්ල තම දේශී්ය සුපරික්ෂාකාරීත්වය මත පවත්වා ගැනීම ආදි වචන මාලාවකි. එම වචන පද්ධතිය ලොව පුරා ජනප්‍රියවාදීන්ගේ ජාතිවාදීන්ගේ මේ අවධියේ ප්‍රධාන දේශපාලන වචන බවට පත්වි ඇත.

ලෝකය එකට බැඳී ඇති බැමිවලින් එසේ නැත්නම් අද වන විට ලෝකය එකට වෙලී ඇති ක්‍රියාදාමයන්ගෙන් එය මුදවා ජාතික රාජ්‍යයන් ලෙස එකිනෙක පවත්වාගැනීම යන අර්ථය මෙම වචනයන්හි මූලික හරයයි. මෙම ජනප්‍රියවාදී මත ප්‍රචලිත කරන ජාතික තලයේ නායකයින් තම පටු දේශපාලන වාසි වෙනුවෙන් රටෙහි ඇති දේශපාලන ප්‍රශ්න වලට ඇති විසඳුම නැවත තනි ජාතික රාජ්‍ය වෙත ආපසු ගමන් කිරීම බව පුන පුනා පවසති. දැන් කලක සිට මෙම දේශපාලන තලයේ ජනප්‍රියවාදීහු ලෝකය පුරා ප්‍රචලිත කරමින් පවතින වෛරක්කාරී මතයන් තීව්‍ර කරමින්, මෙසේ වෙන්වීමට සහ රටවල් අතර සහයෝගීතාවය ආපසු හැරවීමට අවශ්‍ය බව පවසති. තනිවීම ජාතික රාජ්‍යයන් තුල ඇති ප්‍රශ්න වලට විසඳුම බව ඔවුහු පුන පුනා පවසති. ලෝකය පුරා එකට වෙලී, සියල්ල එකට ඈඳී ඇති ආර්ථික නිශ්පාදන සහ සේවා ක්‍රියාදාමයක් තුල රටවල් තනිකරන පිළිවෙත කලහැකි දෙයක්ද?

අප කැමැති වුවද නැද්ද ගෝලීය ලෝකය තුළ රටවල් එක යායකට බැඳී අවසානය. ලොව කිසියම්ම රටකට තනිව පැවතිය නොහැකි බව පැහැදිලිය. එසේ තනිවූ රටකට තනි විය හැක්කේ ගල් යුගයට යමිනි. නමුත් දියුණු ලෝකයේ කිසිවකු එම ගමනට සූදානම් නැත.

[title]ඉතිහාසයේ සරදම[/title]

ඉතිහාසයේ සරදමක් ලෙසින් අද වන විට කොරෝනා වෛරසය මෙම වෙන් කිරීම සහ තනි කිරීම වෙනුවෙන් පෙනී සිටී. නමුත් ඒ සමගින් ම එම වෛරස විසින්ම පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ ලෝකයේ කිසිවක් තනිව පැවතිය නොහැකි බවත් සියල්ල එකට ඇඳී ඇති බවත්ම නොවන්නේද?

මෙම වෛරසය විසින් ගෝලීය ලෝකය තුළ ආර්ථික සමාජ සබඳතා තනි කිරීම වෙත ඇද දමා ඇත්තේ ලෝක ආර්ථිකයේ නාඩි වැටීම එසේ නැත්නම් එය ක්‍රියාත්මක වන සුපුරුදු ක්‍රියාදාමය තැති ගැන්වීමකට ලක් කරමිනි. මේ වන විට ලෝකය පුරා තිබෙන සංචාරක ව්‍යාපාරය තිගැස්සී ඇති අතර ජාත්යන්තර ගුවන් ගමන් සේවාවන් අඩපණ වී තිබේ.

තනිවීම හෝ වෙන් කිරීම පැතිරෙන රෝගයකදී එසේ නැත්නම් වසංගත රෝගයකින් ආරක්ෂාවීමට අවශ්‍ය වේ. නමුත් ඒ සමගම එවැනි වසංගතයකදී එයට ප්‍රතිකාරයන් සහ ප්‍රතිශක්තිකරණ සෙවීමට ලෝකයම එකට සහයෝගයෙන් වැඩ කටයුතු කළයුතු බවද ඒ තුළින්ම පැහැදිලි කරනු නොලබන්නේ ද?

පසුගිය අවදියේ දිගු කාලීන ලෝක දේශපාලනයේදී, විශේෂයෙන්ම ගෝලීකරණ අවදියේ දේශපාලනයේ දී නොසලකා හැරි කාරණා ගණනාවක් අද අර්බුදයේ මුලික හේතුන් වෙති. ලෝකය එකකට එකක් ඇඳෙන විට එම බැඳීම තුළ ම හැමතැනක ම සමානාත්මතාවය ද එකට වැඩිය යුතුව තිබුණි. ප්‍රාග්ධනයයේ ගලා යාමට රටවල්වල දේශ සීමාවන් ඉවත් වන විට මේ ඉවත් වන ප්‍රදේශවල තිබූ සමාජ වෙනස්කම්ද ඉවත් විය යුතුව තිබුණි. සෑම රටකම සමානව මිනිස් අයිතීන් තහවුරු විය යුතුව තිබුණි. මේවා අවශ්‍ය ආකාරයකට ඒ ප්‍රමාණයකින් සිද්ධ නොවුණි. ප්‍රතිපත්ති, වටිනාකම්, සමාජමය හරයන් ආදිය ද සමාජය තුල, ජනයා අතර බැඳීමක් ඇති කිරීමට හැකි ආකාරයෙන් සෑම තැනම එක හා සමානව වර්ධනය වීම අත්‍යශ්‍යය වුවත් එසේ සිදු නොවීම හේතුවෙන් බෙදීම් තීව්ර කිරීමට මෙම අසමාන බව හේතු වී ඇත. එම විවිධ තරාතිරමේ වර්ධනය බෙදීමට හේතුව වන විට එය ඇතිවීමට වැරදිකරුවෙක් සෙවීමේ උවමනාව නිසගයෙන් ම පීඩනයට පත් මිනිසා තුළ ඇති විය. කලක සිටම නව ලිබරල් ප්‍රතිපත්ති නිසා විඩාවට පත්ව සිටී ජනයාට එම නවලිබරල් ක්‍රියාදාමයන් තුළින් ඉවත්වීමේ උවමනාව තිබිණි.

මේ තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැගීමට ඔහු හේතු කරගන්නේ ගෝලීය වශයෙන් බැඳී ඇති ලෝකය තුලින් අමෙරිකාව වෙන්කරගෙන නැවත ඇමරිකාවේ ආධිපත්‍ය මත ලෝකය පිහිටුවනවා ය යන ජනප්‍රිය කියමන පෙරදැරි කරගෙන ය. මේ කාලයේදීම බ්‍රිතාන්‍ය තුළ ද මේ හා සමාන ම නැම්මක් ජනප්‍රියවාදීහු සහ ජාතිවාදීහු ප්‍රචලිත කරනු ලබති. නව ලිබරල් ප්‍රතිපත්ති තුළින් පීඩාවට පත් එංගලන්ත සමාජයට මෙම පීඩාවට හේතූන් යුරෝපා සංගමය සමඟ එකට වාසය කිරීම බව ජනප්‍රියවාදී ජාතිවාදී නායකයින් වන නයිජල් ෆරේජ්ලා ප්‍රචලිත කරති. ඇමෙරිකාවටත් එංගලන්තයටත් විශේෂයෙන්ම මේ තත්වය ඇති වන්නේ රොනල්ඩ් රේගන් ගේ අවධියේත්, මාගරට් තැචර්ගේ අවදියේත් මෙම රටවල් දෙකම පූර්ණ වශයෙන්ම නව ලිබරල්වාදයට යටත් කිරීම නිසා ඇති වන දුප්පත්කම සමාජගත කිරීමේ හේතුවෙනි.

[title]නව ලිබරල්වාදී දේශපාලනය[/title]

නව ලිබරල්වාදයේ ප්‍රතිඵලවලට නැතිනම් එම නව ලිබරල්වාදී දේශපාලන සහ ආර්ථික යටපත් කිරීමේ ‍ක්‍රියාදාමයේ හේතුවෙන් උද්ගත වී ඇති ප්‍රශ්න වලට විසඳුම ලෙස ජනප්‍රියවාදීන්, ජාතිවාදීන් ඉදිරිපත් කරන්නේ වෙන්වීම, කොන් කිරීම, සීමා දැමීම සහ සියල්ල මත පාලනය දැමීම වැනි ලාබ විසඳුම් ය. නව ලිබරල්වාදී ආධිපත්‍ය ගෝලීකරණය කිරීමේ ක්‍රියාදාමයට නායකත්වය දුන්නේ රොනල්ඩ් රේගන්ගේ ඇමරිකාව සහ මාග්‍රට් තැචර් යටතේ එංගලන්තය යි. ඔවුන්ගේ නව ලිබරල්වාදී ගෝලිකරණය එදා ලෝකය පුරා ප්‍රචලිත කරනු ලැබුවේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපකාරී කරගැනීමෙනි. ආර්ථික අභිවෘධිය සඳහා වෙනත් විකල්පයක් නැති ආකාරයෙන් බොහෝ රටවල් එය වැළඳ ගනු ලැබුණි.

නව ලිබරල්වාදයේ අසාර්ථක භාවය සහ ඒ තුළින් ඇති වූ විශාල ප්‍රශ්න වලට විසඳුම් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ඇති කරගන්නා සාමූහික විසඳුම් සහ සහනයන් ඇති කරගැනීමේ ක්‍රියාදාමයක් වෙත යොමුවනවා වෙනුවට, තනිව ගමන්කිරීම, වෙන්වීම සහ සුපරීක්ෂාව අවශ්‍ය බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන්නේ නව ලිබරල් වාදයේ ආධිපත්‍ය ඔවුන් තුළ ම පවත්වාගැනීමට අවශ්‍ය වුවමනාව පෙරදැරි කරගෙන ය. එදා රේගන්ලා සහ තැචර්ලා අනුගමනය කල අය අද අන්දධානුකරනයෙන් ට්‍රම්ප්ලා ජොන්සන්ලා අනුගමනය කිරීම අරඹා ඇත.

ඒ වාගේ ම අද විවිධ ස්වරූපයන්ගෙන් පෙන්නුම් කරන ලෝක බල අරගලය චීනය සහ ඇමරිකාව අතර ලෝක ආධිපත්‍ය සඳහා පවතින අරගලයකි. එය මහා බලවතුන් අතර අරගලයකි. එළියට පෙන්වීමේදී මිනිස් සංහතියේ දියුණුව, ආරක්ෂාව, භාණ්ඩ බෙදාහැරීම ආදී නොයෙකුත් කාරණා ඉදිරිපත් කළා වුවද මෙහි හැබෑ අර්ථය වන්නේ ‌ලෝක ආධිපත්‍යය පිළිබඳ තරඟය යි.

ලෝකය තුළ මෙතෙක් කරගෙන ගිය දේශපාලන යටපත් කිරීම් සහ යුද්ධ හේතු කරගෙන ඇතිවී ඇති අර්බුදයන් වලට විසඳුම් පොදුවේ නොසොයා, තනි තනිව තමන්ගේ වාසිය සඳහා වැඩ කරන තත්ත්වයක් ඇති වූ විට ඉදිරියේ එයම විශාල අර්බුදයක් ලොව තුළ මතු කරනු නොඅනුමානය. උදාහරණයකට ඇෆ්ගනිස්තානය හෝ අරාබිකරයේ පවතින අර්බුදයන් තවත් උත්සන්න වීමට ඉඩ ඇත.

[title]වෙන්ඩ කැමති පුංචි නැපෝලියන්ලා[/title]

නූතන ජනප්‍රිය වාදීන් සහ ජාතිවාදීන්, එසේ නැතිනම් තමන් වෙන්ඩ කැමති පුංචි නැපෝලියන්ලා, තමන්ගේ ජාතිවාදී, වර්ගවාදී, අධිපතිවාදි දේශපාලනය වසා ගැනීමට ඉදිරිපත් කරන ආරක්ෂක වචනය වන්නේ ස්වෛරීභාවයයි. ඇත්තෙන් ම ස්වාදීනත්වය යන අරුත මුල්කරගෙන බිහිව ඇති ස්වෛරිභාවය යන වචනය ඇසෙනවිට එය තුළින් නිදහස්වාදී බවක් පිළිබිඹු කළා වුවද ට්‍රම්ප්ලා ස්වෛරීභාවය ගැන කතා කරන්නේ ඔවුුන්ගේ ආර්ථික සහ දේශපාලන ආධිපත්‍ය සඳහා එය අවශ්‍ය විට පමණකි. සිරියාවේදී බෂාර් අල් අසාද් ස්වෛරීභාවය ගැන කතා කරන්නේ පුටින්ගේ බෝම්බ යාත්‍රාවන් වලින් ඉඩ්ලීබ් හෝ අලෙප්පෝ වැනි නගර වලට බෝම්බ දමා ගැනීම සාධාරණය කරගැනීමට අවශ්‍ය වන විටයි. බෝරිස් ජොන්සන් ස්වෛරීභාවය යන වචනය පාවිච්චි කරන්නේ බ්‍රෙක්සිට් සමාජගත කර ගැනීමට යි. ඩුතර්ටේ මත්ද්‍රව්‍ය මර්ධනයේ මුවාවෙන් කරන මිනිස් ඝාතනයන් කරන්නේද මෙම සවෛරීබාවය යන වචනයට මුවාවෙමිනි. ඒ වාගේම ලංකාවේ රාජපක්ෂ අධිකාරිය ඔවුන් ලංකා රාජ්‍යය තුල කල සහ කරන වැරදි පිළිබඳව හෝ, රට තුළ සිදු වූ මිනිස් අයිතීන් උල්ලංඝනය වීම පිළිබඳව හෝ, යුද අපරාධ පිළිබඳව කවුරුන් හෝ කතා කරන විට ඔවුන් ඔවුන්ගේ ස්වෛරීභාවය නැමැති පලිහ පෙරට ගනී. තුර්කියේ ඒර්ඩොගාන් කුර්දිස්තාන් ජනතාවට අහසින් බෝම්බ දමන විට, රටේ දස දහස් ගණනින් මිනිසුන් දේශපාලන හිරකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා විට ජාත්‍යන්තර වශයෙන් ඒ ගැන කථා කරන සෑම විටකම තමන්ගේ ආරක්ෂක පලිය ලෙස ගන්නේ සවෛරීභාවයයි.

මේ ආකාරයෙන් ලෝකය පුරා තම වාසිය සඳහා සහ තම රටේ ජනයා යටපත් කිරීම සහ

අධිකාරී ලෙස පාලනය කිරීම සඳහා තම වර්ගවාදී වැඩසටහන් වෙත දිනාගැනීම ආදී සෑම කාරණයකදීම කෲර දේශපාලන අධිකාරීන් විසින් ගෙන හැර පාන ආකර්ශනීය ආරක්ෂක පලිහ වන්නේ ස්වෛරීභාවයයි. රාජ්‍ය බලය තම අතට ගත් සියලු අපරාධකරුවන් හා වංචනිකයන් ස්වෛරීභාවය ඔවුන්ගේ ගැලවුම්කරුවා නැතිනම් ආරක්ෂක පලිහ කරගනී.

සවෛරී භාවය යන වචනය අවසානයේ අපරාධකාරී දේශපාලන නායකයින්ට සැඟවීමට ඇති ආරක්ෂක ස්ථානය කරගෙන ඇත.

ලෝකය පුරාම පුංචි නැපෝලියන්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට අකැමතිය. ඒකාධිපතියන්ට ව්‍යවස්ථාව යනු තමන්ම ය. තමන්ගේ වචනය ව්‍යවස්ථාව වීම පුංචි නැපෝලියන්ලාගේ සිහිනයයි.

Archive

Latest news

Related news