Saturday, April 20, 2024

රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!

ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා මේ ‘ලීක්’ වෙලා තිබෙන හඬ පට ඔබතුමාගේද? නැද්ද?

පිළිතුර- මෙහෙමයි. මේ සේරම රේකෝඩින් මගේමද කියලා මම දන්නේ නැහැ. සමහර විට වෙනස් කරපු ඒවා තියෙන්න පුළුවන්. තවත් සමහර ඒවාට අලූත් දේ එකතු කරලා තිබෙන්න පුළුවන්. හඬ කවලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මගේ රේකෝඩින් මගේ කියන්න මම බය වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය- ඔබ සමග කුමන තරාතිරමේ මිනිස්සු කතා කරත් ඒ කතා කරන්නේ ඔබ ගැන ඇති විශ්වාසයෙන්. ඒ අනුව ඔබ කරපු වැඬේ හරි කැතයි, අශික්කිතයි නේද?

පිළිතුර- මල්ලී මෙහෙමයි. සමහර දේවල් අනාවරණය කර ගන්න ඹබැඑයසජ්ක (සදාචාරාත්මක නොවන දේ) දේවල් කරන්න වෙනවා. මෙයත් එහෙම දෙයක්.

ප‍්‍රශ්නය-මේ දේවල්ක ඔබට කරන්න ඕන වුණේ ඇයි?

පිළිතුර- මම පස් මාෆියාවට එරෙහිව නිරන්තරයෙන් කතා කළා. ඒ වගේම මැදපෙරදිග ගෘහ සේවිකා ප‍්‍රශ්නය වෙනුවෙන්, කුඩු, එතනෝල් සහ ගංජා ජාවාරම ගැන, මිනීමැරුම් ගැන, පාතාල කි‍්‍රයාකාරකම් ගැන නිරන්තරයෙන් කතා කළා. පක්‍ෂ පාට නොබලා කළ මේ කළ කී දේ නිසා මට දිගින් දිගටම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ආවා. ඒ වගේම අපේ රටේ මිනිස්සු කිව්වොත් කියන්නේ බොරු. දැන් කියපු දේ ඊළඟ මොහොතේ නැහැ කියනවා. මේ හැමදේම නිසා තමයි දුරකථන ඇමතුම් පටිගත කරන්න පටන් ගත්තේ. මතක නැහැ, දන්නේ නැහැ, කළේ නැහැ කියන එක මේ රටේ හරි සරල දෙයක් වෙලා තියෙන්නේ. අපි මොනවා කළත් ‘එවිඩන්ස්’ තියා ගන්න ඕන. ඊට හොඳම දේ තමයි මේ කෝල් රෙකෝඩින් කියන එක.

ප‍්‍රශ්නය- ඔබ දැන් රේකෝඞ් කළේ තර්ජනය කරපු ඒවා සහ තොරතුරු හොයා ගන්න ඒවා විතරක් නෙමෙයිනේ මන්තී‍්‍රතුමා.

පිළිතුර- නැහැ. සියලූ කෝල් ඔටෝ රෙකෝඩින් වෙනවා. ඒවායින් මෙමරි ෆුල් වුණාම එය බැකප් එකකට නැවත යොමු කරනවා. ‘කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් ඔබගේ ඇමැතුම් පටිගත වන බව කරුණාවෙන් සලකන්න’ කියලා බැංකුවකට කතා කළහම කියන්නෙ නැද්ද? එතකොට ත්‍ක්‍ෂෘ එක කෝල් රෙකෝඞ් කරන්නේ නැද්ද? බ‍්‍රයිබරි එක එහෙම කරන්නේ නැද්ද? ‘සීඅයිඒ’ එක, ‘කේජීපී’ එක, ‘රෝ’ එක කෝල් රෙකෝඞ් කරන්නේ නැද්ද? ඒ වගේ තමයි මමත් කළේ.

ප‍්‍රශ්නය- ඔබ හොරු අල්ලන්න කෝල් රෙකෝඞ් කරා කියනවා. නමුත් සමහරු කියන්නේ මිනිස්සු බ්ලැක් මේල් කරන්න මේ දේ කළා කියලයි.

පිළිතුර- එහෙනම් මල්ලී ඒ කෝල් රෙකෝඞ්වල එහෙම දෙයක් තියෙන්න ඕන නේද? පුළුවන්නම් එහෙම එක දෙයක් පෙන්නන්න.

ප‍්‍රශ්නය- නැහැයි කියන්න බැහැ මන්තී‍්‍රතුමා. එක දුරකථන පටිගත කිරීමක මැරෙනකම් පැන්ෂන් කතාවක් තිබෙනවා.

ranja2පිළිතුර- පොඩි දෙබසකින් සියල්ල තේරුම් ගන්න බැරි වේවි. හොරු අල්ලන බවට යහපාලනයෙන් දුන් පොරොන්දුව අත්නොහැර සිටි එකම පුද්ගලයා මමයි. මම හුදකලා සටන්කරුවෙක්. එහෙම කටයුතු කරද්දී මම පොලිසිය සමග බ‍්‍රයිබරි නිලධාරීන් සමග, සීඅයිඞී එකේ අය සමග, අධිකරණ ක්‍ෂේත‍්‍රයේ අය සමග දේශපාලනඥයන් සමග, ගණිකාවෝ සමග, ගෑනු ළමයි සමග, පාතාලේ අය සමග ඇතුළු බොහෝ අය සමග කතා කරන්න වෙනවා. ඒ කතා කරන ඒවා මට ඕන විදිහට වගේම ඒ අයට ඕන විදිහටත් කරන්න වෙනවා. මම බ්ලැක් මේල් කරලා සල්ලි ගත්තනම් මට ගෙයක් වාහනයක් තියෙන්න ඕන නේද? ඔය මුකුත් මට නැහැ. මේ ග‍්‍රහලෝකේ එක පර්ච් එකක් මට නැහැ මල්ලී. කවුරු මොනවා කිව්වත් මගේ සටන මම ඉදිරියට ගෙන යනවා. ඔය චෝදනාව මම ප‍්‍රතික්‍ෂේප කරනවා. කවුරුන් මට එහෙම චෝදනා කරලත් නැහැ.

ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා අනිත් ගැටලූව තමයි හරි හෝ වැරදි ඔබ කළ පටිගත කිරීම් තවත් පාර්ශ්වයකට ගියේ කොහොමද කියන කාරණය.

පිළිතුර- එක එක දේවල් කියෙනවා. ඒත් දුරකථන නිෂ්පාදන සමාගමක යන්ත‍්‍රයක් හරහා දුරකථන ඇමතුම් ගත්තා කියනවා. තවත් කියන කාරණයක් තමයි දුරකථන සමාගම් හරහා ගත්තා කියන එක. තවත් දෙයක් තමයි ටැප් කරා කියන එක.

ප‍්‍රශ්නය- ඔබ සමග සිටි සමීපතමයෙක් ඔබට ගුණමකුවෙක් වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

පිළිතුර- දන්නේ නැහැ. ජේසුස් වහන්සේ ළඟ සිටි කෙනෙක් රිදී තිහකට උන්වහන්සේ පාවා දුන්නා. බුදුරජාණන් වහන්සේ ළඟ සිටි දෙව්දත් උන්වහන්සේට ගල් පෙරලූවා. මෙය ඉතිහාසයේ සිට වෙන දෙයක්.

ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා අප රටේ මිනිසුන්ට තවමත් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් භය පක්‍ෂපාතීත්වයක් තිබෙනවා. ඔබ ඇතැම් විනිසුරුවරුන්ට විනිසුරුවරියන්ට කතා කරන හඬ පට රට හමුවේ දැන් නිරාවරණය වෙලා අවසන්. ඇත්තටම ඔබ අධිකරණයේ ගෞරවය කෙලසා දමා තිබෙනවා නොවේද? ඒ වගේම අධිකරණයට බලපෑම් කර තිබෙනවා නොවේද?

පිළිතුර- කිසිසේත් නැහැ. ගරු අධිකරණය හා ගරු විනිශ්චයකාරවරුන් ගැන ඇති ගෞරවය මේ හඬ පට නිසා නැතිවී නැහැ. මම කතා කළ දේ ගැන බුද්ධිමත්ව අවධානයෙන් බලන්න. මම එක පුද්ගලික කාරණයක් ගැන ඔවුන් සමග කතා කර තිබෙනවාද? මට දැනට නඩු 34 ක් තිබෙනවා. එහෙම නම් මම මගේ නඩු අවසන් කර ගන්න ඕන. තත්ත්වය එලෙසනම් මම අධිකරණයට බලපෑම් කරා යැයි කියන්නේ කොහොමද?

මල්ලී මම පොඩි කතාවක් කියන්නම්. කුඩු බිස්නස්කාරයෙක් වන නව්ෆර්ට මරණ දඬුවම දුන්න කියලා විනිසුරු සරත් අඹේපිටිය මහත්මයාට වෙඩි තියල මරා දැම්මා නේද? ඒ වගේම මෑත ඉතිහාසයේ එවැනි තීන්දුවක් දුන් විනිසුරුවරියකට දිගින් දිගටම මරණ තර්ජන ඇවිත් තිබුණා. කොළඹ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ඇගේ දරුවාට ඇසිඞ් ගහන බවට තර්ජනය කර තිබුණා. මට මේ ගැන ආරංචි වූ පසු පොලිස්පතිවරයාට කතා කර ඇගේ දරුවාට පොලිස් ආරක්‍ෂාව ලබා දුන්නා. එහෙම කළේ නැත්නම් අද එම විනිසුරුවරියටත් වන්නේ සරත් අඹේපිටිය මහත්මයාට සිදුවූ දෙයම තමයි. අධිකරණ ක්‍ෂේත‍්‍රයේ මේ වගේ ගැටලූ ගැන මම දැන ගත්තේ ඒ අය සමග කතා කිරීමෙන්. ඔවුන්ගේ උසස්වීම්, පඩිනඩි පිළිබඳ මම පාර්ලිමේන්තුවේ කතා කළේ ඒ නිසයි. මේ කිසි දෙයකින් මම ගත්ත දෙයක් නැහැ. මේවායින් යම් ප‍්‍රයෝජනයක් වුණා නම් එය සිදුවූයේ රටටයි.

ප‍්‍රශ්නය- ඔබ පසුගිය කාලයේ පැවැසූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් තමයි මේ රටේ විනිසුරු විනිසුරුවරියන්ගෙන්, නීතිඥයන්ගෙන්, නීතිඥවරියන්ගෙන් සියයට 75 ක් දූෂිතයි කී කාරණය. ඔබගේ හඬ පට නිසාම එය දැන් ඇත්ත වෙලා නොවේද?

පිළිතුර- ඔය තොරතුරු මට ආවේ අධිකරණ ක්‍ෂේත‍්‍රයෙන්මයි. මම ඒ අය සමග සම්බන්ධකම් නොපැවැත්තුවනම් ඔය තොරතුරු එකක්වත් හොයා ගන්න පුළුවන් වේවිද? මම පසුගිය කාලයේ කළ සිත්ගත් සෑම ප‍්‍රකාශයකටම මූලාශ‍්‍රයක්.

සම්බන්ධයක්, ඉතිහාසයක් සහ ඔප්පු කළ හැකි සාක්‍ෂි තිබෙනවා. තව දෙයක් මල්ලී, ඔයාට මතකද මම මැති ඇමැතිවරු කොකේන් ගහනවා කී කතාව. ඒ තොරතුරු මම ගත්තේ ඔවුන් සමග එකට කොකේන් ගහන නිළියන්ගෙන් සහ ගෑනු ළමයින්ගෙන්. ඒ පිළිබඳ ඡායාරූප, හඬ පට මා ළඟ තිබෙනවා. මම මේ කිසි දෙයක් සාක්‍ෂි නැතිව කළේ නැහැ මල්ලී.

ප‍්‍රශ්නය- ඔබ ඔය කියන කතා හරි වෙන්න පුළුවන් මන්තී‍්‍රතුමා. නමුත් අධිකරණය සම්බන්ධයෙන් ඔබගේ මැදිහත්වීම බරපතළ බව පෙනී යනවා. යම් යම් උසස්වීම් ගන්න ඇතැම් විනිසුරුවරියන් ඔබ හා සාකච්ඡා කළ ආකාරය හරිම ජුගුප්සාජනකයි නේද?

පිළිතුර- නැහැ. එය වැරදි අර්ථකථනයක්. නඩු කටයුත්තක් නිසා මේ ගැන පරිස්සමෙන් කතා කරන්න ඕන. සමහර විනිසුරු විනිසුරුවරියන් ඇතැම් නඩු තීන්දු දුන් පසු ජීවත් වෙන්නේ බියෙන්. ඇතැම් අය විශ‍්‍රාම ගන්න බයයි. ඒ අයව මරන්න පාතාලය බලාගෙන ඉන්නවා. ඒ අය ආරක්‍ෂා පිට ඉන්න ඕන. ඇතැම් විට ඒ අයට උසස්වීම් ලැබෙන්න ඕන. දක්‍ෂතා අනුව නිසි තැන ඒ අයට ලැබෙන්න ඕන. ලංකාවේ ක‍්‍රමය අනුව අගවිනිසුරු පත්කරන්නේ ජනාධිපතිවරයා. ව්‍යවස්ථාදායක සභාවකට එය ආවේ දැන් තමයි. ජනාධිපති නීතිඥකම් දෙන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා හොරකම්, වංචා නැති අපි වගේ අයට ඔවුන් තමන්ට සිදු වූ අසාධාරණකම් කියනවා. එහෙම කිව්ව පසු අපට පුළුවන් විදිහට නිසි තැන්වලට ඒ ගැන කියන්න මම කි‍්‍රයා කර තිබෙනවා. ඒ ගැන මම නැහැ කියන්නේ නැහැ. මම රාජ්‍ය ඇමැතිවරයෙක්. එහෙම නැතිව මම කිසිවකුට බලපෑමක් කර නැහැ.

ප‍්‍රශ්නය- නමුත් මන්තී‍්‍රතුමා දැනට එළියට ඇවිත් ඇති හඬ පටයකට අනුව ඔබ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් වන කාරණයට මැදිහත්වී තිබෙනවා.

පිළිතුර- ඒක මම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරනවා. මම එහෙම කිසිදු බලපෑමක් කර නැහැ. දුමින්ද සිල්වා සිද්ධියේදී හිරු එකත් සමග හැප්පෙන එකේ සම්පූර්ණ අවාසිය මට කියලා ඕන කෙනෙකුට තේරෙනවා. මොකද එය ජනපි‍්‍රය නාලිකාවක්. ඔවුන් සමග සුහදව වැඩ කරානම් ඉන් මට ලැබෙන ප‍්‍රතිලාභ ඉතා වැඩියි. නමුත් මම එහෙම කෙනෙක්ව තරහ කර ගන්නේ ඇයි. ඔහුගේ නඩුව අරන් බලන්න. කොළොන්නාවේ සිද්ධියේදී හතර දෙනෙක් වෙඩි වැදී මිය ගියා. හිස් පතරොම් කොපු 150 ක් එතන තිබුණා. වෙඩි වැදුන වාහන එතැන තිබුණා. එම නඩුව ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වසර ගණනාවක් තිස්සේ විභාග කළ නඩුවක්. අවසානයේ මෙය ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල මිනීමැරුමක් බව තීන්දු කළා. පසුව එය පංචපුද්ගල විනිසුරු මඬුල්ලත් අනුමත කළා. විනිසුරුවරු අට දෙනෙක් දුන් නඩු තීන්දුව රන්ජන් රාමනායක වගේ මිනිහෙක් වෙනස් කරන්නේ කොහොමද?

අගවිනිසුරු, මහාධිකරණ විනිසුරුවන්ට මම කොහොමද එහෙම බලපෑම් කරන්නේ. එහෙම කරන්න මම කවුද? එහෙම නම් මට මල්ලි ඔයාව හිරේ දාන්න, එල්ලූම්ගස් යවන්න කියලා කියන්න පුළුවන් වෙන්න එපැයි. මට එහෙම ‘කරන්න බැහැ නේද’ මෙය අභූත චෝදනාවක්. ඔය හුඟක් දෙනා කතා කරන්නේ සල්ලිවලටයි.

ප‍්‍රශ්නය – නමුත් මන්ත‍්‍රීතුමා ඔය එක අවස්ථාවක විනිසුරුවරයකුට කියනවා මැතිතුමා ඕන දෙයක් කරන්නම්, කියන තැනකට වඳින්නම් මේ ගැන බලන්න කියලා. තවත් තැනක කියනව මැතිනිය ඔබ දෙස රටම බලාගෙන ඉන්න බව.. මේ එක්තරා විදියක බලපෑම් නොවෙයි කියලද කියන්නේ…?

පිළිතුර – නැහැ… රටම බලන් ඉන්නවා කියන එක වරදක්ද? රටම නඩු තීන්දුව ගැන බලන් ඉන්නවා කියන එකේ වරදක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා මට කියන්න.

ප‍්‍රශ්නය – ඉල්ලන දෙයක් දෙන්නම්, කරන්නම් කියලා ඔබ එක තැනකදී විනිසුරුවරයකුට සඳහන් කරනවා.

පිළිතුර – ඉල්ලන දෙයක් දෙන්නම් කියලා…

ප‍්‍රශ්නය – ඔව්… එහෙම තමයි ඔබ කියන්නේ…

පිළිතුර – ඉල්ලන දෙයක් දෙන්න මම ඇලඩින්ද? (හඬ නගා සිනාසෙමින්) ඇලඩින්ගේ පහනේ භූතයා තමයි එහෙම කියන්නේ. මම නම් තාම රන්ජන් රාමනායක විතරයි.

ප‍්‍රශ්නය – අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා ඔබ සමග කතා කරමින් ‘බුදු සර් වඳින්නම් ඒ ගැන කතා කරන්න එපා’ කියනවා. ඒ වගේම ‘ගෙදර ඇවිත් වළං හෝදන්නම්’ කියනවා. ඔහු ඔබ ඉදිරියේ ඔය තරම් හෑල්ලූ වීම පොලිස් දෙපාර්තමේන්තුවටම නිගාවක් නොවේද?

ranja3

පිළිතුර – නැහැ… එහෙම නිගාවක් වෙන්නේ කොහොමද? ඒවා නිකන් කතාවට කියන දේවල්. ශානි කියන්නේ මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨතම අපරාධ පරීක්‍ෂණ නිලධාරියෙක්. රෝයල් පාර්ක් නඩුවේ මිනීමරුවා සොයා ගන්නේ ඔහුයි. එම නඩුව කරගෙන යද්දී නඩුව යටගහන්න කෝටි ගණන් මුදල් ඔහුට දෙන්න හැදුවා. නමුත් ඔහු ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළා. ඒ විතරක් නොවෙයි ඔහු නීතිය හරිහැටි ක‍්‍රියාත්මක කර අපරාධකරුවාට නීතිය ක‍්‍රියාත්මක කළා. ශානිට හරියට ගෙයක්, වාහනයක්වත් නැහැ. කොහොමත් හොරුන්ට ශානි අබේසේකරලා පෙන්නන්න බැහැ. එහෙව් මිනිස්සුත් එක්ක කතා කරන එක වරදක්ද? ඔහු සල්ලිවලට විකිණෙන මිනිහෙක් නොවෙයි. මම එක දෙයක් කියන්න ඕන. මගෙත් එක්ක වැඩ කළ මගෙත් සමග කතාබස් කළ, මම තොරතුරු දුන් සෑම කෙනෙක් වෙනුවෙන්ම මම පෙනී සිටිනවා.

ප‍්‍රශ්නය – ඇමැති මහින්දානන්ද මහත්තයාව ඝාතනය කිරීමේ සැලසුමක් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සම්බන්ධ වී ඔබ ක‍්‍රියාත්මක කර තිබෙනවා.

පිළිතුර – අනේ සිරිමන්ත මල්ලි කාව හරි මරනව නම් ඒක ෆෝන්වලින් කිය කිය ඉන්නවද? මහින්දානන්දව මරනවා නම් අගමැතිතුමාට දැනුම් දීලද මල්ලි කරන්නේ.

ප‍්‍රශ්නය – එහෙනම් මාදිවල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේදී වෙඩි තබමින් අවි පුහුණු වෙන්නේ ඇයි?

පිළිතුර – මට ජීවිත තර්ජන තිබෙනවා. ඒ නිසා මම එස්.ටී.එෆ්. එකේ මහත්වරු සමග අවි පුහුණුවකට යනවා. එහෙම පුහුණුවීම්වලට ගොස් පැමිණි පසු පිස්තෝලයෙන් වෙඩිල්ලක් පත්තු වුණා. එච්චරයි සිදුවුණේ.

ප‍්‍රශ්නය – නමුත් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියන්නේ ඔබ ෆිල්ම් එකේ ෂූටින් කිරීමක් කරන බවයි. මේ අනුව මෙම සිදුවීම සම්බන්ධව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ සාවද්‍ය ප‍්‍රකාශයක් කර තිබෙන්නේ. ඒ වගේම මන්ත‍්‍රීතුමා ඔබගේ නායකතුමා මෙම සිදුවීම ගැන ඔබට බොරුවක් කියන විදිහත් කියා දෙනවා. ඉතින් මේ සැලසුම් නොවේද?

පිළිතුර – අගමැතිතුමා මහින්දානන්දව මරන්න කියලා කොහේවත් කියනවද. එම සංවාදය විහිලූවට කළ එකක්. එහෙම නැතිව කාවවත් මරන්න අපි සැලසුම් කළේ නැහැ.

ප‍්‍රශ්නය – එතකොට මන්ත‍්‍රීතුමා අගමැතිතුමා ඔබට බොරු කියන්න කියාදෙනවා නේද?

පිළිතුර – හහ්… හහ්.. හා.. හිනා වුණා කියලා ලියන්න…

ප‍්‍රශ්නය – තව දෙයක් සර්.. මේ අයව බයකරලා හරි හදාගන්න ඕනා කියලා එහිදී ඔබ කියනවා..

පිළිතුර – ඔව්… අපි කාගෙන්වත් ගුටි කන්නවත් මැරුම් කන්නවත් ඕන අය නොවෙයි. මගේ සටන අතින් පයින්ද, අවි ආයුධ වලින්ද වෙනත් ක‍්‍රමවිධි වලින්ද පවත්වාගෙන යනවා. මම මැරෙනකම් සටන් කරන මිනිහෙක්. මම හොරුන්ගෙන් මිනීමරුවන්ගෙන් මැරුම් කන්න ඕන නැහැ. මම කැමැති සටන් කරලා මියයන්නයි.

ප‍්‍රශ්නය – ලීක් වුණ මේ දුරකථන සංවාද නිසා ඔබගේ ජීවිතයට තර්ජනයක් වෙලා නැද්ද?

පිළිතුර – ඔව්… මාව මරන්න කුමන්ත‍්‍රණයක් යනවා. මගේ ක‍්‍රියාවන්, භූමිකාව බොහෝ පිරිසකට හිසරදයක් බව මම දන්නවා. මට මරණ තර්ජන එන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි. මල්ලි අපි භය වුණා කියලා මැරෙන එක නවතින්නේ නැහැ. අපි භය නොවුන කියලා මැරෙන එක නවතින්නෙත් නැහැ. මේක තාවකාලික ජීවිතයක්. මම අද බේරුණත් වයසට ගිහින් හරි මැරෙනවනේ මල්ලි.

ප‍්‍රශ්නය – මෙම රෙකෝඩින් වෙස්වලාගත් මාරයෙක් වේවිද?

පිළිතුර – මාව ඝාතනය කළා කියලා රෙකෝඩින් පිටවෙන එක වැළැක්වෙන්නේ නැහැ. කොහොමත් මේවා පිටවෙනවා. මෙම රෙකෝඩින් මමත් තැන් ගණනාවක ස්ථානගත කරලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ මන්ත‍්‍රීතුමා

පිළිතුර – මේ රෙකෝඩින්වල යම් කොටසක් මම පිටරට තැන්පත් කර තිබෙනවා. එතකොට එක්තරා බැංකුවක එක පිටපතක් තිබෙනවා. තවත් මිතුරු පාර්ශ්වයන් ළඟ මේ රෙකෝඩින් තිබෙනවා. තාක්‍ෂණය උපයෝගි කරගෙන තවත් තැනක මේ රෙකෝඩින් තිබෙනවා.

ප‍්‍රශ්නය – බලාගෙන යනකොට ඔබ ‘පට්ට ගේම්’ එකක් ගහගෙන ගිහින් තියෙන්නේ.

පිළිතුර – මම මොසාඞ් එකේ ක‍්‍රම, අලූත් තාක්‍ෂණය, රහස් පරීක්‍ෂණ කතා අනුගමනය කරනවා. මම එක අරමුණක් වෙනුවෙන් ක‍්‍රම කිහිපයකට ගමන් කළ මිනිහෙක්. එම වැඬේ කුපාඩි වැඩක් වෙන්න පුළුවන්. නමුත් අරමුණ ජයගන්න එය කළ යුතු වුණා.

ප‍්‍රශ්නය – ඔබ කියන ඔය කුපාඩි වැඩ නිසා හිරේ විලංගුවේ වැටෙන්න වේවි වගේ නේද?

පිළිතුර – ඔව් ඉතින්. මට කොහොමත් නඩු 32 ක් තිබෙනවා. හිරගත වෙන්න සිදුවුණොත් මගේ අධ්‍යාපන කටයුතු නිදහසේ ගොඩක් හොඳට කරගන්න පුළුවන් වේවි.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ හිරේ යන්න බලාගෙන වගෙයි ඔබ ඉන්නේ.

පිළිතුර – ඕන දෙයකට මම ලෑස්තියි. ප‍්‍රශ්න හමුවේ මම පැනලා යන මිනිහෙක් නොවෙයි. මගේ සටන අවබෝධයෙන් බැලූව අයට මම මොකක්ද කළේ කියලා තේරෙයි. මගේ රෙකෝඩින් ගන්න අයට තේරේවි මේ බෝම්බයක් බැඳගත්තා වගේ වැඩක් කරගන්නේ කියලා. දැනට ඒ අයට වැඩි දේවල් එළියට ආවට අන්තිමට පිපිරුම ඇතිවන්නේ ඒ අය ළඟමයි. අන්තිමට රටම කියාවි රන්ජන් රාමනායක විකිලික්ස් වෙබ් අඩවියේ ජූලියන් ඇසන්ජ් කළ හොඳ හෙළිදරව්වක් කළා කියලා. හොඳ කළ අයගේ හොඳත්, වැරදි කළ අයගේ වැරදිත් එහිදී හෙළිවේවි. කලබල වී දැන්ම මේ ගැන සෙටිෆිකට් දෙන්න එපා. ලංකාවේ හොරු අල්ලන්න ගියාම හොරු ටික එකතු වෙලා ඒ මිනිහව මරා දානවා. ඉතිහාසයේ ඉඳන් වෙලා තියෙන්නේ ඒ දෙයයි. මගේ හඬපට ගැන සී.අයි.ඞී. එක විමර්ශන කරද්දී ඔවුන්ට වන්ෂොට්, වන්මෑන් ෂෝ එකක් කර ඇති බව තේරේවි.

ප‍්‍රශ්නය – හොඳයි… පක්‍ෂයේ නායකතුමාගෙන් හොඳටම බැණුම් ඇහුවා කියලා ආරංචියි.

පිළිතුර – නැහැ.. මට තාම කතා කළේ නැහැ. පක්‍ෂයේ අය දන්නවා මම මොකද කළේ කියලා. ක‍්‍රමවේදය වැරදි තමයි.. ඒත් ඒ දේ කරන්න සිදුවුණා.

ප‍්‍රශ්නය – දැන් ඔබ රන්ජන් රාමනායකවත්, වන්ෂොට් වත් නොවෙයි මාස්ටර් රෙකෝඩින් වෙලා නේද?

පිළිතුර – හහ් හා… මොන චරිත සහතික දුන්නත් මම කළ වැඬේ මම දන්නවා. මම තනි වූ හුදකලා සටන්කරුවෙක්. මගේ ඡුන්ද දායකයන්ට මගේ සමාජජාලා මාධ්‍ය මිතුරු මිතුරියන්ට මම කියන්නේ මම මේ වනතෙක් කළ කී දෑ සාර්ථක වෙලා තිබෙනවා. ඉදිරියට කෙසේ වේවිද දන්නේ නැහැ. මම වැඩ කළේ සද්භාවයෙන්. ඔබ මාව කැමැතිනම් විශ්වාස කරන්න, එසේ නැතිනම් අවිශ්වාස කරන්න. මට මහ පක්‍ෂයෙන් නොමිනේෂන් නොදුන්නොත් ස්වාධීනව හෝ සුළු පක්‍ෂයකින් හෝ තරග කරනවා. එතනදී පැරදුනොත් ගෙදර යනවා. එසේ වුවහොත් හොරු අල්ලන සටන අවසන් කරනවා. මම ණයත් නැහැ, භයත් නැහැ.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර/දිවයින

Archive

Latest news

Related news