Thursday, May 9, 2024

2020 සමරුව: “ලසන්ත තනි වුනාවත්ද ?” – නීතිඥ දුලාන් දසනායක

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 11 කි. පෑන සිය අවිය කරගත් මේ නිරායුධ මිනිසාගේ ඝාතකයන් එළිදරව් කර දඩුවම් පැමිණවීමට අද වන විටත් ශ්‍රී ලංකා රාජ්‍යය අසමත්ය. රටේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රයක ප්‍රධාන කතෘවරයකු වූ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු නොවන තත්වයක් නිර්මාණය වී ඇත. ලසන්ත ඝාතනයේ 11වන වසර සමරන මොහොත වන විට ඉතා අසීරුවෙන් යුක්තිය ඉටු කරගත් භාරත ලක්ෂ්මන් ඝාතනයේ යුක්තිය කණපිට පෙරළීමේ උත්සහයක්ද නිර්මාණය වී ඇත. ඝාතකයා නිදහස් කර ගැනීමේ පෙළහර පෑම් මේ වන විට මාධ්‍යයේ සුලභය.

නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ලසන්ත ඝාතනය වූයේ අදින් වසර 11 කට පෙර අද වැනි දිනකදීය. ඒ ඉතාම ජනාකීර්ණ රත්මලාන ගුවන් තෙටුපොළ අසළ අධිආරක්ෂිත කලාපය අසළදීය. මේ නාදුනන තුවක්කුකරුවන් යතුරු පැදියෙන් පළා යා යුතු වන්නේ මේ අධිආරක්ෂිත කලාපයේ මුර කපොලු පසු කරගෙනය. ඒ කෙසේ වෙතත් අති සුපිරි බුද්ධි අංශයක් පැවැති මේ යුගයේ එකී බුද්ධි අංශයට ලසන්තගේ ඝාතකයන් සොයා ගැනීමට නොහැකි විය. එක්කෝ බුද්ධි අංශ ඉතාම දුර්වලය. නැතිනම් හිතාමතා මේ සිදුවීමේදී දුර්වල විය.

ලසන්තගේ ඝාතනයත් කර උඩ තියාගෙන ගොස් යහපාලන රජය වර්ෂ 2015 දී බලයට පත් විය. ඒ වන විට ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිදු කරන ලද ලසන්තගේ ඝාතන පිළිබද පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට පැවරුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා යුහුසුළුව මෙම පරීක්ෂණ සිදු කරන ලදී. මේ වන විට රටින් පළා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සුවිශේෂි කාර්යභාරයක් සිදු කරන ලදී. ඔහුගේ කාර්යභාරය ප්‍රශංසනීය එකක් බව ඔහු දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ස්ථාන මාරු ලැබූ පසු ලසන්තගේ දියණිය විසින් ප්‍රකාශ කරන ලදී. අවසානයේ ලසන්තගේ මෘත දේහයද ගොඩ ගන්නා ලදී. නැවත අධිකරණ වෛද්‍ය පරීක්ෂනයක් සිදු කරන ලදී. ඉන් එළිදරව් වූයේ මෙම ඝාතනය සදහා භාවිතා කළේ සුවිශේෂි අවියක් බවයි. පසුගිය ලසන්තගේ 10 වන ගුණසමරුවේදී ලසන්තගේ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් ලසන්ත ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අතුල රණගල මහතා මෙවන් අදහසක් ප්‍රකාශ කරන ලදී.

“අධිකරණයෙන් විශාල වෙසෙක් දරලා කලින් තිබුණු තත්වය වෙනස් කරලා CID එකට මෙහි   විමර්ශණ කටයුතු බාර කලා. අවසානයේ CID එකට හැකියාව ලැබුණ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්න. ඔහුගේ ප්‍රකාශයක් මත ඉදිරි ගමන යන්න හිටියා. ඔහු දින ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටියා. එවකට හිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාත් සමග. නමුත් මේ පරීක්ෂණ නොමග යවන්න අදාළ පොත් පත් ඉරා දාලා, අලුත් පිටු එකතු කරලා, විශෘල පෙරළීයක් කරලා තිබුණා, ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කරුණු අනුව ඊළගට තිබුනේ එවකට හිටිය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගන්න, නමුත් අවාසනාවකට වගේ ඒ මොහොත වන විට ඔහු ශ්‍රේෂ්ඨාධීකරණයට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම පිළීබද වාරණයක් ලබා ගත්තා. එයින් විමර්ශණ කටයුතු අඩාල වීම සිදු වුනා”

10වන සමරුව – 2019

මේ 10 වන ගුණසමරුවේදීය. ලසන්තගේ මාධ්‍ය මිතුරන්, පවුලේ සාමාජිකයන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම සමරුවට සහභාගී  වී සිටින ලදී.  අද වන විට ඉන් පසු තවත් වසරක් ගෙවී ගොස්ය. බොහෝ දේ වෙනස් වී ඇත. පැවති ආණ්ඩුවද වෙනස් වී ඇත. ලසන්ත ඝාතනය වන සමයේ ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශාල බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා බවට පත් වී ඇත. බෞද්ධ භික්ෂූන්ගේ ඇතුළු බෞද්ධයන්ගේ අති විශාල සහයෝගයක් ඔහුට හිමිය.

11 වන සමරුව- 2020

මේ සියලු වෙනස්කම් මැද 11 වන ගුණසමරුව අදට යෙදී තිබුණි. සුපුරුදු පරිදි බොරැල්ල කනත්තේ ලසන්තගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයට කිහිප දෙනෙක් එක් රැස් වී තිබුණි. ලසන්තගේ ස්මාරකය පාලුවට ගොස්ය. ලසන්ත පෑන හැසිරවීමේ වරදට තනිව මිහිදන් වී සිටී. 10වන සමරුවේදී මෙන් වර්ණවත් මල්කළඹ් අද නැත. මල් කිහිපයක් ලසන්තගේ මිතුරන් විසින් ස්මාරකය අභියස තබන ලදී. ඉටිපන්දම් කිහිපයක්ද දල්වන ලදී. සහභාගී වී සිටියේද කිහිප දෙනෙකි. පවුලේ සාමාජිකයන්ද කිහිප දෙනෙකි. මාධ්‍ය මිතුරන්ද අතළොස්සකි. ඇත්තවශයෙන්ම සහභාගී වී සිටියේ අතළොස්සකි.

ලසන්තව බොහෝ දෙනෙක්ට අමතක වී ඇත්ද? නැත ලසන්ත නම් මාධ්‍යවේදියා එසේ ලේසියෙන් අමතක කල නොහැක. නමුත් ලසන්තව ඕනෑ කමින් අමතක කරන්නට උත්සහ කරන බවක් නම් පෙනේ. ලසන්ත දැන් අවසන්ය. දැන් අවශ්‍යවන්නේ ඕනෑවට වඩා ආණ්ඩුව සමග සෙල්ලම් දාන්නේ නැතුව සිටීමය. මේ ගුණ සමරුවලට ගොස් ඉහළ තැන් වල උදහසට ලක් වීම අවශ්‍ය නැත. ලසන්ත දැන් අවසන් බැවින් අපේ ජීවිත දැන් ලස්සනට පවත්වා ගත යුතුය. ඒ නිසා ඕවට ගොස් හොටපටලවා ගත යුතු නැත. ලසන්තගේ ගුණ සමරුව බොහෝ දෙනා අමතක කරන්නේ මේ පදනමිනි.

යුක්තිය ඉටු නොවුනු ලසන්ත තනි වී ඇත. කිසිදාක යුක්තිය ඉටු නොවන පාටක්ද පෙනෙන්ට නැත. ලසන්තට අප අවශ්‍ය වන්නේ දැන්ය. ලසන්තට යුක්තිය ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර ගත හැක්කේ සියලු දෙනා එක් වුවහොත්ය. නමුත් නොවන්නේද එයයි. අද බොහෝ දෙනා ලසන්තව අමතක කලද ඔහු විසින් සිදු කල මාධ්‍ය භාවිතය අමතක කළ නොහැක. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මාධ්‍ය නිදහස සුරකින අප සියලු දෙනාගේ වගකීම විය යුත්තේ ලසන්ත තනි නොකර සිටීමය.

ඒ් අද 11වන සමරුවදා ලසන්තට තනිකම ගොඩක් දැනෙන්ට ඇති.

නීතිඥ දුලාන් දසනායක/අයිතිය

ජායාරූපය (c) s.deshapriya

Archive

Latest news

Related news