Monday, May 6, 2024

නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි!

නීතිපති තනතුර නීතියෙන් ස්ථාපිත කර ඇති තනතුරක් වන අතර ඔහුට නීතියෙන් පවරා ඇති බලතල පමණක් භාවිතා කිරීමට බලය ඇත. නීතිපති වෙත නෛසර්ගික බලතල පැවරී නොමැති වුවත් අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්‍ෂා වන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර ඇති සම්බන්ධතාවය ඉවත් කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

අපරාධ වරදවල් පිළිබඳ අධිකරණයේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ පොලීසියට කරනු ලබන පැමිණිල්ලක් විභාග කිරීමෙනි. එම නිසා අපරාධ වරද පිළිබඳව පොලීසිය කරනු ලබන පරීක්‍ෂණය ඉතා වැදගත් වේ. එම පරීක්‍ෂණ නීත්‍යානුකූල හා සාධාරණ නොවුවහොත් අප වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අපේක්‍ෂා කරනු ලබන ස්වාධීන අධිකරණමය ක්‍රියාවලියට බාධාවක් වනු ඇත. මෑතකදී සිදු වී ඇති අපරාධ වරද පිළිබඳව අත්අඩංගුවට ගැනීමේ හා පරීක්‍ෂණ පවත්වන ආකාරය පිළිබඳව ප‍්‍රශ්න මතුව තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දීර්ඝ කාලයක් එනම් දින ගණනාවක් ප‍්‍රශ්න කිරීම්වලට ලක් කිරීමෙන් එම පුද්ගලයන් වද හිංසාවට හා විශේෂයෙන් මානසික වද හිංසාවට ලක්වන බව පිළිගත යුතුව ඇත.

එමෙන්ම මෑතකදී යම් පැමිණිලිකරුවන් විසින් සාපරාධී ක්‍රියාවන් පිළිබඳව කරන ලද පැමිණිලි විමර්ශනය කිරීමටත් ප‍්‍රථම ඔවුන් පොලීසිය විසින් සැකකරුවන් ලෙස සලකා ඔවුන්ව වද හිංසාවට ලක් කරන ආකාරයට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් හා රඳවා තබා ගනිමින් හිරිහැර සිදුකරනු ලබන බව පෙනී යයි. මෙය පොලීසියට පැමිණිලි කිරීම වළක්වාලීම සඳහා කරනු ලබව අනතුරු හැඟවීමක් විය හැක. එම කරුණු ද දැඩි ලෙස විමසීමට ලක් කළ යුතුව ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගෙන අධිකරණ ක‍්‍රියාවලියෙහි ඉතා වැදගත් ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනත්වය තහවුරු කිරීමට වහා කටයුතු කරන ලෙසත් සියලු නීති කටයුතු යුක්තියේ හා සාධරණත්වයේ මූලධර්මයන්ට අනුකූලව කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ජනබලවේගය ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.

ජාතික ජන බලවේගය

2020.01.06

Archive

Latest news

Related news