Monday, May 20, 2024

අසභ්‍ය ප්‍රකාශන ලග තබා ගැනීම වැරදිද? – සමබිම

ජායාරූපය: වසර 50කට ‌පෙර ශ්‍රී ලංකාවෙහි ස්ත්‍රීන් අතර පියයුරු ‍ නෙවසා සිටීම සම්ප්‍රදායක් විය. අද එවැන්නක් සැළකෙනු ඇත්තේ අසභ්‍යකමක් ලෙස නොවේද?

අසභ්‍ය ප්‍රකාශන (Obscene publications) හුදු සන්තකයෙහි (mere possession) තබා ගැනීම වරදක් වන්නේද ?

මේ සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 285,286, 286(අ) සහ 287 වගන්තීන්හි මෙන්ම අයාල ආඥා පනතේ (Vagrants ordinance) 4 (ඇ) වගන්තියෙහි විස්තර වේ.

අසභ්‍ය ප්‍රකාශන යනු මොනවාද ?

අප රටේ නීති පද්ධතිය තුල අසභ්‍ය සහ/හෝ අසභ්‍ය ප්‍රකාශන යනු මොනවාද ? යන්න සම්බන්ධයෙන් ඉහත කී සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි හෝ දණ්ඩ නීති සංග්‍රහයෙහි 285,286 සහ 287 වගන්ති යටතේ විස්තර වන වැරදිවලට අදාලව හෝ අයාල පනත යටතේ කිසිදු අර්ථ නිරූපනයක් නොමැති වනබැවින්, ඒ සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනයක් (interpretation) ලබා ගැනීම පිණිස, මාගේ අවධානය Black’s Law Dictionary වෙත යොමු කර සිටිමි.

ඒ යටතේ එකී නීතිය සම්බන්ධයෙන් වන ශබ්ද කෝෂයෙහි අසභ්‍ය (obscene) යනුවෙන් හඳුන්වනු ලැබ ඇත්තේ, “Lewd; impure; indecent; calculated to shock the moral sense of man by a disregard of chastity or modesty” යනුවෙනි.

ඒ අනුව අසභ්‍ය යන්නෙහි අර්ථය පුළුල්ව සලකා බැලියයුතු වනබැවින් ඊට අදාලව සාධාරණ බුද්ධිමත් පුද්ගලයකුගේ (Reasonable Prudent person) පරීක්ෂණය එහිලා යොදාගත යුතුව පවතී.

ඒ අනුව සාධාරණ බුද්ධිමත් පුද්ගලයෙකු භාවිතා නොකරනු ලබන වචනවලින් සමන්විත හෝ කටයුතු කරනු නොලබනු ලබන ආකාරයන් නිරූපිත වන්නාවූ කිසියම් ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාව පවතී.

අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබාගැනීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ?

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම යන්නෙන් අදහස් වනුයේ කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් ස්වකීය ජංගම දුරකථනයෙහි හෝ පරිඝනකයෙහි භාගත (download) කර තබා ගැනීම සහ/හෝ මුද්‍රිත පිටපතක් හෝ ලියන ලද හෝ අදින ලද (drawing) ලියවිල්ලක් වශයෙන් ළඟ තබා ගැනීම වන අතර, ඒ යටතේ බොහෝ අවස්ථාවන්හිදී අධිකරණයන් ඉදිරියෙහි ඉහත කී අසභ්‍ය ප්‍රකාශන අතුරින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ළඟ තබා ගැනීමට අදාලව පුද්ගලයින් පොලිස් නිළදාරින් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු දැකිය හැකි වනබැවින්, ඊට අදාලව වන නෛතික තත්ත්වය වෙත මාගේ අවධානය පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන වැරදිවලට අදාලව සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සඳහන් ප්‍රතිපාදන.

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී ඉහත කී අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත 1983 අංක 22 දරණ පනත මගින් හා 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් සංශෝධනවලට ලක්ව පවතින අතර, ඒ යටතේ එකී අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි විස්තර වන්නා වූ වැරදි වෙත මාගේ අවධානය පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.
ඒ යටතේ වන වැරදි වනුයේ,

i. වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, චිත්‍ර, මුද්‍රිත ඡායාරූප, සිතුවම්, මුද්‍රිත ද්‍රව්‍ය, පින්තූර, විශාල දැන්වීම්,ලාංඡන, ඡායාරූප, සිනමාපටි,රූපවාහිනී කැසට්පට හෝ වෙන යම් අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම හෝ තමා සන්තකයේ තබා ගැනීම,

ii. ඉහත කී කාර්ය සඳහා එකි අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් ආනයනය කිරීම, ගෙනයාම හෝ අපනයනය කිරීම හෝ ඒවා ආනයනය කිරීමට,ගෙන යාමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංසරණයට පත් කිරීම,

iii. එකී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික වූ හෝ ව්‍යාපාරයක් කර ගෙන යාම හෝ ඊට සහභාගි වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ද්‍රව්‍ය හෝ දේ පිළිබඳව කටයුතු කිරීම හෝ ඒවා බෙදා හැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට දීමේ ව්‍යාපාරයක් කිරීම,

iv. එකී දඞුවම් කළහැකි සංසරණය හෝ ‍වෙළඳාම සඳහා අධාර කිරීමේ අදහස ඇතිව දඞුවම් කළහැකි ඉහත කී ක්‍රියාවන්ගෙන් යම් ක්‍රියාවක් හෝ යම් තැනැත්තෙකු යෙදී සිටින බව කවර ලෙසකින් හෝ ප්‍රචාරය කිරීම හෝ දැනුම් දීම හෝ ඉහත කී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් සම්පාදනය කිරීම සහ,

v. ඉහත කී I,II,III සහ IV යටතේ වන වැරදි සඳහා ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටතදී අධාරදීම (Abetment) නමැති වැරදි වේ.

ඒ අනුව කරුනු සලකා බැලීමේදී කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් (උදාහරණ වශයෙන් නිරුවත් ඡායාරූප හෝ නිරුවත් ජවනිකා අඩංගු වීඩියෝවන්) හුදු සන්තකයේ තබා ගැනීම (mere possession) යටතේ කිසිදු වරදක් සංස්ථාපනය නොවනව බව ඉතාමත් පැහැදිලි නෛතික තත්ත්වයකි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 285,286,286(අ) සහ 287 වගන්ති යටතේ වන අසභ්‍ය ප්‍රකාශන වලට අදාල ප්‍රතිපාදන.

ඒ යටතේ ඉහත කී ප්‍රතිපාදන වෙත මාගේ අවධානය යොමු කරලීමේදී, ඉහත කී දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අසභ්‍ය ප්‍රකාශනවලට අදාල වැරදි යටතේද හුදු සන්තකය (mere possession) මගින් කිසිදු ආකාරයක වරදක් සංස්ථාපනය නොවන බව පැහැදිලිව පෙනී යයි.

අයාල ආඥා පනතේ 4(ඇ) වගන්තිය යටතේ වන අසභ්‍ය ප්‍රකාශනවලට අදාල ප්‍රතිපාදන

ඒ යටතේ එකී ප්‍රතිපාදන වෙත මාගේ අවධානය යොමු කරලීමේදී, හුදු සන්තකය ඒ යටතේ වන වරදක් නොවන බව ඉතාමත් පැහැදිලිව පෙනී යයි.

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන හුදු සන්තකය (mere possession) යනු කුමක්ද?

ඒ යටතේ කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් වෙළඳාම,බෙදාහැරීම,මහජන ප්‍රදර්ශනය සහ/හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම,කුලියට හෝ අතමාරුවට දීම (lending), ප්‍රචාරය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් වන කිසිදු කටයුත්තකින් සහ/හෝ ක්‍රියාවකින් තොරව යම් පුද්ගලයෙකු භාරයේ එම අයගේ පුද්ගලික පරිහරණය(භාවිතය) තුල පැවතීම මෙයින් අදහස් වනඅතර, ඒ අනුව එලෙස කිසියම් අසභ්‍ය ප්‍රකාශනයක් හුදු සන්තකයෙහි තබා ගැනීම අප රටෙහි නීතිය ප්‍රකාරව වරදක් නොවන බව පැහැදිලි නෛතික තත්ත්වයකි.

පොලිස් නිලධාරීන්හට යම් පුද්ගලයෙකුගේ ජංගම දුරකථන, ටැබ්,ලැප්ටොප්,ස්මාර්ට් වොච් හෝ පරිඝනක, අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේ අරමුණින් භාරයට ගෙන පරික්ෂා කිරීමට බලයක් පවතින්නේද?

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී,මා විසින් ඉහතින් කරුණු සලකා බලන ලද පරිදි,අසභ්‍ය ප්‍රකාශනයක් හුදු සන්තකයෙහි (mere possession) තබාගෙන සිටීම, වර්ථමානයේ ශ්‍රී ලංකාවෙහි බලාත්මක පවතින නීතිය ප්‍රකාරව වරදක් නොවන බැවින්, එලෙස අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි සොයා බැලීමේ අරමුණින් කිසිදු පුද්ගලයෙකුගේ පුද්ගලික උපාංග වන ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප්, ස්මාර්ට් වොච් හෝ පරිඝනක පරික්ෂා කිරීමේ කිසිදු නෛතික බලයක් පොලිස් නිලධාරීන් සතු නොවන බව පැහැදිලිව පෙනී යන බැවින්, නොමැති බලයක් යටතේ කටයුතු කිරීමෙන් වැලකීම සියළු පොලිස් නිලධාරීන් සතු වගකීමකි.

ඒ අනුව, අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගෙන සිටින බවට වන පදනම යටතේ යම් පුද්ගලයෙකු සතු මෙවලම් හෝ යම් ආයතනයක පරිශ්‍රයක් සෝදිසි කිරීම (search) පිණිස වරෙන්තුවක් ලබා ගැනීම සඳහා එලෙස අදාල අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ දරා සිටිනුයේ වෙළඳාම,බෙදා හැරීම,මහජන ප්‍රදර්ශනය සහ/හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම, කුලියට දීම,අතමාරුවට (lending) දීම, ප්‍රචාරණය කිරීම සැපයීම හෝ වෙනත් කාර්යයක් (එය කුමක්දැයි සම්බන්ධව නිශ්චිතව කරුණු දැක්විය යුතුය.) සඳහා වනබවට මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරුණු තහවුරු කළයුතු වන බවත්, ඒ යටතේ හුදු සන්තකයේ දරා සිටීම මත පදනම්ව එවැනි සෝදිසි වරෙන්තු ලබාගත නොහැකි බවත්, පැහැදිලි නෛතික තත්ත්වයකි.
මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය විග්‍රහ කරමින් ලබා දී ඇති නඩු තීන්දුවක් වන K.E.Perera Vs. R.E. Kitto (61 NLR 439) නමැති නඩු තීන්දුව යටතේ ගරු සින්නතම්බි විනිසුරුතුමන් විසින් අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීමට අදාල වරදේ සංඝටක විස්තර කරමින් ලබා දී ඇති තීන්දුව පරිශීලනය කරලීම මගින් ඉහතින් මා විසින් පැහැදිලි කරන ලද නීතිමය තත්ත්වය තවදුරටත් නිරවුල්ව අවබෝධ කරගැනීමේ හැකියාව හිමිවේ.

විනිසුරුවරයෙකු  විසින් ලියන ලද්දකි.

 

Archive

Latest news

Related news