Monday, May 20, 2024

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිටත් මාරුවක්

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ධම්මික ප‍්‍රියන්ත මහතා ඊයේ (30) සිට වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ඔහු අද (31) නව ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද සේවය කළ හෙතෙම 2017 වසරේ ජනවාරි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත්වී තිබිණි.

ඔහු පසුගිය ජුනි මාසයේදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරනු ලැබීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්කරනු ලැබ තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය ප‍්‍රථම උපාධිය ලබාගෙන ඇති ධම්මික ප‍්‍රියන්ත මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. හෙතෙම අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාධරයෙක්ද වෙයි.

මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර තක්සේරුකරුවකු යන සහතිකයද හිමිකරගෙන ඇති ඔහු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායමේ ජාත්‍යන්තර අගය කිරීම සහ තක්සේරුකරණය පිළිබඳ ජාත්‍යන්තර අගය කිරීම්/තක්සේරු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළ අයෙකි.

මූල්‍ය විමර්ශන පිළිබඳ වසර 10ක අත්දැකීම් ඇති ධම්මික ප‍්‍රියන්ත මහතා, මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් අඳුරු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ ශ්‍රී ලංකාව ඉන් ඉවත් කරගැනීම සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා දූත පිරිසට එක්වෙමින් ඒ සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් නිලධාරියෙකි.

(ලංකාදීප)

Archive

Latest news

Related news