Friday, May 17, 2024

උපුල් ජයසූරිය සහ ජේ.සී වැලිඅමුණ අතුලු පිරිසකට රාජද්‍රෝහී නඩු පැවරීමේ සූදානමක්

2015 රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට මුල්වූ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නීතිඥ උපුල් ජයසූරිය සහ නීතිඥ ජේ.සී වැලිඅමුණට රාජද්‍රෝහී චෝදනා යටත් නඩු පැවරීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇතැයි රාජපක්ෂවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. මෙවැනි සූදානමක් ගෝඨාභය පාලනයට තිබිය හැකි යැයි සැක පහළ කරන වෙනත් නීතිඥයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ප්‍රකාශ කළේ එවැනි නඩුවක් ඔප්පු කිරීම දුෂ්කර වනු ඇති නමුත් මෙවැනි නඩු පැටලීම  මගින් ඔවුන් කරදරයට පත් කිරීමත් අනෙක් සමාජ ක්‍රියාධර පිරිස් බිය ගැන්වීමත් සිදු වියහැකි බවයි.

පසුගිය ආණ්ඩුව හා සමීපව කටයුතු කරමින් සිටි තවත් ප්‍රධාන ‌‌පෙළේ නීතිවේදීන් කිහිප ‌දෙනෙුම ‌මෙම ලැයිස්තුවට ඇතුල් වන බව කියැවේ.

නීතිඥ වැළිඅමුණ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමාසරිස් ලෙස කටයුතු කරන අතර ජනවාරි 15 දා වන විට තනතුරෙන් ඉවත්ව ශ්‍රී ලංකාවට එන ලෙස දන්වා ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරචි මාර්ග සදහන් කරයි. අඩුම වශයෙන් පසුගිය ආණ්ඩුව විසින් දේශපාලන සබඳතා මත තානිපතිවරුන් ලෙස පත් කරන ලද 15 දෙනෙකුට තනතුරුවලින් ඉවත්ව සිය රට බලා එන ලෙස දැන් දන්වා යවා තිබේ.

ජනාධිපතිවරණය සඳහාම පිහිටුවන ලද රාජපක්ෂවාදී වෙබ්අඩවියෙහි පළ වූ පුවත පහත සඳහන් වේ.

”2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වී දෙසතියක් තුළ ඒ වන විට ව්‍යවස්ථානුකූලව පත්වීම් ලබා සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලහත්කාරයෙන් අගවිනිසුරු පුටුවෙන් ඇද දමා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයට පත්කොට එක් දිනකට පසු වෙනත් අයෙක් අගවිනිසුරු ධුරයට නීති විරෝධි ලෙස පත් කිරීමට මූලික වී ක්‍රියා කළ නීතිඥයන් පිරිසකට එරෙහිව රාජ ද්‍රෝහි චෝදනාව යටතේ නඩු පැවරීමට රජය තීන්දු කර ඇත .

එකල නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සහ ජේ.සී වැලිඅමුණ ඇතුළු නීතිඥ යන් පිරිසකට මෙම බරපතළ චෝදනාව එල්ල කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පවසයි .අගවිනිසුරුවරයකු පත් කිරීමට සහ ඉවත් කිරීමට අදාළ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කර තිබියදීත් නීතිය දැන දැන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නීතිඥ වෘත්තිය අහිමි වීමට මෙන්ම සිරදඬුවම් ලැබීමටද අදාළ වරදකි.”

Archive

Latest news

Related news