Monday, May 20, 2024

රාජපක්ෂ සහෝදරයෝ රාජ්‍ය ආයතන 168ක් බදා ගනිති!

අන්තර්වාර ආණ්ඩුව ලෙස හඳුන්වාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වත්මන් පාලනය යටතේ ඇමතිධූර ලබාගැනීමෙන් රජයේ ආයතන 168ක් රාජපක්ෂ සහෝදරවරුන් වෙත වෙන්කර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන 31ක් අගමැති මහින්ද රාජපක්ෂ යටතේ අමාත්‍යංශ තුනකට අයත් ආයතන 88ක් සහ චමල් රාජපක්ෂට අමාත්‍යංශ තුනකට අයත් ආයතන 39ක් වශයෙන් පවරාගෙන ඇත. මේ ආකාරයට ඇමති මණ්ඩලයේ සාමාජිකයන් 12 දෙනකුට ආයතන 290ක් හිමිවෙද්දී රාජපක්ෂ සහෝදරයන්ට ආයතන 168ක් වෙන්කර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 31 ක් ඇතුළත් වන අතර, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ඔත්තු සේවය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලය ද අයත් වේ. විශේෂත්වය වන්නේ ඇමති මණ්ඩලය නම් කිරීමේදී අගමැති මහින්ද රාජපක්ෂ වෙත මහජන ආරක්ෂාව හා නීතිය හා සාමය අමාත්‍යංශය නමින් ඇමතිධුරයක් හිමිවුවද අමාත්‍යංශ විෂයන් වෙන්කිරීමේදී එවැනි අමාත්‍යංශයකට අයත් විෂයන් හෝ කිසිදු ආයතනයක් හෝ නම්කර නොතිබීමය. පසුගිය ආණ්ඩුව යටතේ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා පොලීසිය ද නම්කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍ය විෂයක් ලෙසය.

ආයතන බෙදීමේදී වැඩිම ආයතන සංඛ්‍යාවක් එනම් රාජ්‍ය ආයතන 68ක්ම පවතින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය. ඔහුට හිමි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 48ක් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයට 17ක් සහ බුද්ධසාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයට 23ක් වෙන්කරදී ඇත. ඒ අනුව, ආර්ථිකයේ මර්මස්ථාන ලෙස ගැනෙන මහා භාණ්ඩාගාරය, මහබැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙන්ම සියළු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ  ජාතික ලොතරැයි මණ්ඩලයද අගමැති මහින්දගේ භාරයට ගෙන ඇත. සියළු ආගමික කටයුතු දෙපාර්තමේන්තු, මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේද අගමැතිවරයාට අයත් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේයි.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට රාජ්‍ය ආයතන වෙන්කිරීමේදී දෙවැනි ප්‍රමුඛතාවය දෙමින් ආයතන 39ක් හිමිකරදීමද විශේෂත්වයකි. එනම්, මහවැලි සංවර්ධන හා කෘෂිර්ම අමාත්‍යංශයට ආයතන 26ක් මහාමාර්ග අමාත්‍යංශයට ආයතන 2ක් සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු හා පාරිභෝගික හිමිකම් අමාත්‍යංශයට ආයතන 11ක් වශයෙනි.

ආයතන වෙන් කිරීමේ ගැසට් පත්‍රය (මෙතැන
ක්ලික් කරන්න) http://documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf

උපුටා ගැනීම ලංකා විව්ස්/චන්දන සිරිමල්වත්ත

Archive

Latest news

Related news