Tuesday, July 16, 2024

ආණ්ඩුව විරුද්ධවාදීන් දඩයම්කරමින් පුරුදු ගමනම යන්න පටන් අරන් – ටිල්වින් සිල්වා

මැතිවරණ ව්‍යාපාරය පුරාම ගෝඨාභය මහතා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය රකින බවත් මර්දනකාරීත්වයක් සිදු නොකරන බවත් සුද වෑන් සංස්කෘතියට ඉඩ නොතබන බවත් සහතික කර ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කාටත් ඇහුම්කන් දෙන පාලනයක් ගෙන ඒන බව ප්‍රකාශ කළා. නමුත් අප දකිමින් සිටින්නේ බලයට පැමිණි වහාම සුපුරුදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඇති බවයි.

අප සිතන්නේ තවදුරටත් මෙය ඉඩදිය යුතු නැති වහාම වැළැක්විය යුතු කාරනයක් ලෙසයි. ආණ්ඩුව තමන්ගේ මර්දන යාන්ත්‍රනයන් පාවිච්චි කර දඩයම් කිරීම් ආරම්භ කරන විට ඔවුන් තමන්ගේ ආධාරකරුවන් යොදා ගනිමින් ඊට ඒරෙහි වන්නන් බියවැද්දීමේ ක්‍රියාවලික්ද පවත්වා ගෙන යනවා. ඒ නිසා අපි හිතනවා මෙය බරපතළ ලෙස සැලකිල්ලට ලක් කළ යුතු බව.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් වහාම සිදු වූ සිදුවීම් ගත්තොත් ජනාධිපතිවරයා යුද හමුදාවට විශේෂ ගැසට් නිවේදනයක් මගින් සිවිල් බලතල ලබා දුන්නා. එය රට සාමාන්‍ය තත්වය පවතිද්දී සිදු නොවිය යුතු දෙයක්. ඒ් වගේම විකල්ප මාධ්‍ය මර්දනයට පියවර ගත්තා. මාධ්‍ය ආයතනවලට කඩා පැන්නා. මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ වගේම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කළ නිලධාරිනියක් සුදු වෑන් ඒකකින් පැහැරගෙන ගොස් ඇගෙන් ප්‍රශ්න කරන ලද බවට පුවතක් වාර්තා වෙලා එය නොවිසදී පවතිනවා. ඒ් වගේම මහින්ද රාජපක්ෂ පාලනය තුළ මූල්‍ය හා අනිකුත් අපරාධ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලීසියේ නිලධාරීන්ට විශේසයෙන් එහි ප්‍රධානියා වූ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමට ඒරෙහිව දැන් දඩයමක් පටන් අරන් තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ග මිලිටරි පාලනයකට යන. ප්‍රජාතන්ත්‍රවාදය අකුළන ජනතාව බිය වද්දා පාලනය කිරීමට උත්සාහ කරන ආකාරයක් අපි දකිමින් ඉන්නවා. මෙය ආරම්භයේදීම පරාජයට පත් නොකළහොත් හැම කොනකුගේම ගෙදරට මෙම අපරාධකරුවන් තට්ටු කිරීමේ අවදානම තිබෙනවා. අද පටන් ගන්නේ විකල්ප මාධ්‍යවලින් වුවත් හෙට දවසේදී ආණ්ඩුවට පක්ෂපාතී නොවන ඔිනෑම මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදිනියක් කරා මෙම මර්දනය ඒල්ල විය හැකියි. එමනිසා මෙම තත්වය පරාජයට පත් කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කාගේත් වගකීමයි.

ආණ්ඩුව හමුදාව සිවිල් සේවයට ගැනීම සලකා බැලුවොත් රට තුළ හමුදාව යෙදවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති මොහොතක හමුදාවට පොලිස් බලතල ලබාදී තිබෙනවා. සමාන්‍යයෙන් රටක තුළ යුදමය තත්වයක්, කැරලිකාරිත්වයක්, පොලීසියට පාලනය කළ නොහැකි තත්වයක් තිබෙනවානම් පමණයි හමුදාවට සිවිල් බලතල ලබා දෙන්නේ. අපේ රටේ ඒවැනි තත්වයක් නොතිබියෙදී, රට සාමාන්‍ය තත්වයක තිබියෙදී ජනාධිපතිවරයා ඔහුගේ බලතල පාවිච්චි කර හමුදාව පාරට කැඳවනවා. පවතින පොලීසිය ප්‍රමාණවත් නොමැතිද? ඒවැනි තත්වයක් නැහැ. දැන් මේ කර තිබෙන්නේ හමුදාව මුල් කර ගත්තු හමුදාව යොදවන පාලනයකට යාමේ ඉඟියක් මේ තුළ තිබෙනවා. එය බරපතළ තත්වයක්. රටට නරක පූර්වාදර්ශයක්. ජනතාවට හමුදාව පුරුදු කර හමුදා පාලනයකට අවශ්‍ය වන සමාජ විඥානය සැකසීමක් මේ තුළ ඇති බව අපි දකිනවා.

ගෝඨාභය රාජපක්ෂලා මැතිවරණ වයාපාරය පුරාවට කෑ ගැහුවේ ජාතික ආරක්ෂාව හැදිය හැක්කේ තමන්ට බවයි. දැන් ඔහු බලයට පත් වී තිබෙනවා. එසේනම් දැන් ජාතික ආරක්ෂාව තිබිය යුතුයි. එත් හමුදාව පාරට කැඳවීමෙන් පෙනෙන්නේ ජාතික ආරක්ෂාව නොව අනාරක්ෂාවයි. එසේනම් ගෝඨාභය මහතා ඔහු කියූ දෙය තහවුරු කිරීමට අසමත්ව සිටිනවා.

අනික් කාරණය තමයි, හමුදාව කැඳවා ඇත්තේ විනය හැදීමට යැයි කියන අදහස. ලෝකයේ කිසිදු රටක විනය ගරුකභාවයක් හමුදාව පාරට කැඳවීමෙන් ගොඩනගා නැහැ. විනය ගරුක රටවල හමුදාව තබා පොලීසියවත් පාරවල්වල නැහැ. ජනතාව විනයගරුක වී සිටින්නේ ස්වේච්ඡාවෙන්මයි. ජනතාව විනගරුක විය යුත්තේ අවබෝධයෙනුයි. ආදර්ශයෙනුයි. ජනතාව විනය ගරුක කරන්න හදන්නේ තුවක්කු පාවිච්චි කරලා නම් ඒ් උත්සාහය හමුදා පාලනයකටද යන සැකය මතුවනවා. ගෝඨාඵය රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙනවා තමන්ට සාමකාමී පාලනයක් ගෙනයාමට නොහැකි බව.

අප දන්නවා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මූල්‍ය හා අපරාධ රැසක් සිදුවුණා. ඒ්වා සත්‍ය සිදුවීම්. මහා පරිමාණයෙන් අමාත්‍යාංශවල මුදල් හොරකම් කළා. තාජුඩීන්, ලසන්ත මහපාරේ ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදහන් වුණා. මේ ඇත්ත අපරාධ සම්බන්ධ පරීක්ෂණ කරපු ශානි අබේසේකර මහතා ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන්ට විරුද්ධව ආණ්ඩුව දඩයමක් පටන් අරන් තිබෙනවා. අපරාධවලට එරෙහිව සිදුවුණු පරීක්ෂණ රනිල් වික්‍රමසිංහගේ වුවමනාව මත ඉදිරියට ගියේ ඉබි ගමනිනුයි. නිවැරදි පරිදි නඩු පැවරුවේත් නැහැ. මොකද එයාලා එක පංතියේ කට්ටිය. දැන් අපරාධවලට චෝදනා ලැබූවන් නැවත බලයට පැමිණ තිබෙනවා. සමහරු ජනාධිපතිවරුන් වී තිබෙනවා. සමහරු ඇමතිවරුන් වී තිබෙනවා. දැන් ඔවුන් කල්පනා කරනවා, තමන්ට විරුද්ධව පරීක්ෂණ කරපු නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න.

ගොරකා දඩමස් කරන්නත් දඩමස් ගොරකා කරන්නත් වැද්දට පුළුවන් බව ජනවහරේ කියනවා. දැන් මේ පැමිණ තිබෙන්නේ ඒ් කාලයයි. චූදිතයන් බලය අතට ගත් අය බවට පත්වෙලා. ඔවුන් සම්බන්ධ පරීක්ෂණ කළ නිලධාරීන් අපරාධකරුවන් බවට පත්කිරීමට උත්සාහ දැරෙමින් තිබෙනවා. ශානි අබේසේකර මහතා රටේ සිදුවුනු අපරාධ රැසක් සොයාගැනීමට මුල් වූ දක්ෂ නිලධාරියෙක්. ඔහු කරමින් සිටියේ රජයෙන් පැවරුනු කාර්යයක්. එම රාජකාරිය නිසා කෙනෙකුට බයේ සැඟවී සිටීමට සිදුව තිබේනම්, තනතුරෙන් පහළට වැටීමට, අත්අඩංගුවට ගනු ලැබීමට සිදුවේනම් ඒය රටකට නොගැලපෙන දෙයක්.

මෙවැනි ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් මින්පසු රට තුළ බලයට පත් විය හැකි යැයි විශ්වාස කරන කිසිදු දේශපාලන නායකයෙකුට සම්බන්ධ පරීක්ෂණ සිදු වන එකක් නැහැ. නිලධාරීන් බිය විය හැකියි. එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කාලයේ බැඳුම්කර ගනුදෙනුව ඇතුළු අපරාධ රැසක් සිදුව තිබෙනවා. දැන් එවැනි පරීක්ෂණ පැවරෙන නිලධාරීන් වසර පහකට පසු නැවත එජාපය බලයට පැමිණෙනු ඇතැයිද තමන්ට නඩු පැවරෙනු ඇතැයිද බිය විය හැකියි. ඒ නිසා මේ නායකයින් අපරාධ කර හැමදාම නිදැල්ලේ සිටීවි. අපරාධ හොයන්න ගිය අයට සිරගත වෙන්න සිදුවේවි.

දැන් පවරන ලද නඩු එකින් එක නිතිපති දෙපාර්තමේන්තුව විසින් ඉවත් කර ගැනීමක්ද දක්නට ලැබෙනවා. ඇතැමුන් බලය පාවිච්චි කර නඩුවලින් නිදහස් වෙනවා. අනෙක් අතට පරීක්ෂණ සිදු කළ නිලධාරීන්ගෙන් පලි ගනු ලැබෙමින් පවතිනවා. මේ දේශපාලකයින්ට අත තියන්න එන්න එපා කියන පණිවිඩය නිකුත් කිරීමක්. අපරාධ කිරීමට අයිතියක් ලබාගනිමින්, ජනතාව බය වද්දමින්, පරීක්ෂණ කරන ආයතන බය වද්දමින් රට රාජපක්ෂ වරුන්ගේ හා ඔවුන්ගේ හිතවතුන්ගේ මැර පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගැනෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් දඩයම පටන් අරන් තිබෙනවා.

මෙම තත්වයට පුරවැසියන් විරුද්ධ විය යුතුයි. පුරවැසියන් විසින් ඉල්ලා සිටියේ වංචා දූෂණ නැති සමාජයක්නම්, වැරැද්දට දඬුවම් කරන සමාජයක්නම් දැන් ඇතිවී තිබෙන තත්වය ප්‍රශ්නයක්. ගෝඨාභය බලයට ගෙැවිත් විනයගරුක රටක් හැදීමට අපේක්ෂා කළ ඡන්දදායකයා දැන් කල්පනා කළ යුත්තේ වැරදිකරුවා කොයි පැත්තේ හිටියත් දඬුවම් ලබා දිය යුතු බවයි.

මේ තත්වය තුළ අපි මේ දඩයම් කිරීම වහාම නතර කරන ලෙස, ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම් වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන හැම දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ, ආණ්ඩුවේ මේ හැසිරීමට කිසිසේත් ඉඩ නොදෙන ලෙසයි. ජාතික ජන බලවේගය ලෙස මේ තත්වය පිළිබඳව අවදියෙන් සිටින බවත් ජනතාව සමග එය පරාජයට පත් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරන බවත් අවධාරණය කරනවා.”

වත්මන් රජය බලයට පත්වී කෙටි කලකින්ම ගෙනයන මර්ධනකාරී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත සම්බන්ධව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලිකිරීම සඳහා අද (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  කළ කතා ‌වෙනි. -lankatruth

Archive

Latest news

Related news