Monday, May 20, 2024

වෙබ් මාධ්‍යවේදීන්ට අනිසි හිරිහැර අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්ව‌‌යේ අවධානයට

මාධ්‍ය නිවේදනය/ 2019 නොවැම්බර් 29 | කොළඹ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත හේතු නොදක්වා, වෙබ් අඩවි පවත්වාගෙන යන කාර්යාල පරීක්ෂාවට ලක්කිරීමත් (වලංගු අධිකරණ නියෝග ද නැතිව), වෙබ් අඩවිවල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය ගනන් ප්‍රශ්න කිරීම් වලට ලක්කිරීම ද, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
‘වොයිස් ටියුබ්’ වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා සෙව්වන්දි, අද දින කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6කට ආසන්න කාලයක් ඇගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබේ. එසේම එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය කාර්යාලයක් පොලිස් නිලධාරින් විසින් වටලනු ලැබූවේ 26 දිනයේ ය. නමුත් එම වෙබ් අඩවි කාර්යාලයේ නීති විරෝධී කිසිවක් සොයා ගැනීමට නොහැකි වු පොලීසිය ආපසු ගොස් තිබේ.

ඕනෑම මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රශ්න කිරීමට අදාළ ආයතනවලට ඇති නීත්‍යානුකූල බලයට අප අභියෝග නොකරන නමුදු එම දීර්ඝ ප්‍රශ්න කිරීම් සඳහා යම් හේතුවක් හෝ පදනමක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරමු. එසේ නොමැතිව මාධ්‍යවේදීන් පැය ගණනක් ප්‍රශ්න කිරීමට ලක්කිරීමත්, වෙබ් අඩවි පවත්වාගෙන යන ස්ථාන/ කාර්යාල, ‘නිශ්චිත හේතුන්’ නොදක්වා, වලංගු නීත්‍යානුකූල අධිකරණ නියෝග පවා නොමැතිව වැටලීම, මාධ්‍ය නිදහසට එල්ල කරන ප්‍රබල බලපැමක් බව අපගේ අදහසයි.
මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තිය කර ගෙන යාමට ඇති නිදහස උදුරා ගැනීමට දරන උත්සාහයන් ලෙස මෙම සියලු ක්‍රියාවලීන් පෙන්නුම් කරමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය
ක්‍රියාකාරීත්වයේ විශ්වාසයයි.
එසේම, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමටත්, මරා දැමීමටත් සම්බන්ධ යැයි සැකපිට අධිකරණය විසින් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පවා ‘පෙර ඇප’ මත මුදාහැර ඇති තත්වයක මෙම සිදුවීම් සිදුවෙමින් පැවතීම ඉතාමත් බරපතල තත්ත්වයක් බව අපි අවධාරණය කරමු.

එබැවින් මාධ්‍ය නිදහස සමබන්ධයෙන් ඇති කැපවීමත්, මාධ්‍යවේදීන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමත් ඕනෑම ‘ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක’ වගකීමක් බව අපි තරයේ අවධාරණය කර සිටිමු.

සම්පත් සමරකෝන්, @sampathslk, කැඳවුම්කරු, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය

Archive

Latest news

Related news