Friday, April 19, 2024

පුදන කොටම කාපි යකා! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ස්විස් ඉන්ෆො නම් ‌වෙබ් අඩවියෙහි පළවූ ‌කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාම පිළිබද පුවත වඩාම කියවන ලද පුවතක් බවට පත්වී තිබේ.

නව ජනාධිපතිවරයකු බලයට පත්ව සුලුතර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ගතවූයේ සතියක් තරම් ය. පෑඩ් මෑන් සහ වෑන් මෑන් යැයි නිර්මානය වූ ජනාධිපතිවරණ යුගල වචනය යථාර්තයක් බවට පත් විය. එසේ මෙසේ තැනක නොවේ. රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ය.

යළි නොඑන බවට සපථ කරන ලද සුදුුවෑන් රථය පැමිණියේ ය. පැහැර ගන්නා ලද්දේ මෙරට ස්විස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියකි. ඇය පැහැර ගත් මැර පිරිස තර්ජනය කොට  ඇයගේ ජංගම දුරකථනය බලයෙන් විවෘත කර ගත්හ. අනතුරුව එහි වූ දත්ත තමන්ට ලබා ගත්හ. මෙම දත්ත අතර මෑතදී ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ පුද්ගලයින්ගේ සහ ඔවුන්ට උදව් කළ අයගේ විස්තර ද තිබුණි.

මැර පිරිසට උවමනා වූයේ පසුගිය දා ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත අල්විස් සම්බන්ධ තොරතුරු සොයා ගැනීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ය.

ජනාධිපතිවරණයෙහි දී රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරය පිනිස දියත් කරන ලද වෙබ් අඩවියක් මෙම පැහැර ගැනීම සිදුවූ දිනම වාර්තාවක් පළකරමින් කියා සිටියේ නිශාන්ත සිල්වාට ස්විස්ටර්ලන්තයට යෑමට උදව් කරන ලද්දේ ක්‍රිෂාන්ත කුරේ විසින් බවයි. සිරිසේන – රනිල් පාලනය යටතේ ඔහු ලේක්හවුසියේ ප්‍රධනියා ලෙස ද සේවය කළේ ය.

පැහැර ගැනීම සිදුවූ දිනට පෙර බෙල්ලන්විල පන්සලෙහි සතුටු සාමීචියක යෙදෙමින් ගෝඨාභය රාජපක්ෂ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර යාම ගැන උද්වේගයෙන් කතා කරනු වීඩියෝවක දක්නට ලැබේ.පොලිස් පරීක්ෂක නිශාන්ත ඔහු විසින් හදුන්වන්නේ ‘අප ගැන පරීක්ෂන කරපු මිනිහා’ ලෙස ය. ඔහු පරීක්ෂන කර තිබුණේ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම, තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම පිනිස නාවික හමුදා පිරිස් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම යනාදිය යි. ජනාධිපති රාජපක්ෂට අනුව එම පරීක්ෂන ඔවුන් ගැන කරන ලද පරීක්ෂණ ය.

සිවිස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් පැහැර ගැනීම සහ තානාපති කාර්යාලයට අයත් තොරතුරු ලබා ගැනීම දැන් අන්තර් ජාතික මාතෘකාවක් බවට පත්ව තිබේ. ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා 27වන දින බර්න් නුවර පිහිටි ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවන ලදී. එමෙන්ම කොළඹ ස්විස් තානාපතිවරයා අගමැති සහ විදේශ ඇමැතිවරයා හමුව මෙම පැහැර ගැනීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ ය. අන්තර් ජාතික ජනමාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරන ලද්දේ පසුගිය සතිය තුළ සිදුවූ අනෙක් මර්දනකාරී සිදුවීම් සන්දර්භයෙහි ය.

හැම කෙනෙක්ම අසන කියන ප්‍රශ්ණය බවට පත්ව තිබෙන්නේ, මේ තරම් ඉක්මනට,මේ තරම් මර්දනකාරී තත්වයක් ඇතිවේයැයි නොසිතූ බවයි.

උදාහරණයක් වශයෙන්, 26වනදා සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ වෙබ් අඩවියක් සෝදිසි කිරීමට යල් පිනූ වරෙන්තුවක් රැගෙන පොලිස් නිලධාරීන් 14 දෙනෙක් ද සිවිල් පුද්ගලයින් හතර දෙනෙකු ද පැමිණිහ. තවත් එවැනිම වෙබ් අඩවියක ප්‍රවෘත්ති නිවේදකයකුගෙන් රහස් පොලීසිය පැය 8ක් ප්‍රශ්ණ කළේ ය. රාජ්‍ය පාලිත අයිටීඒන්   දෙමළ නාලිකාවක ජනමාධ්‍යවෙිදියකුට එජාපයට සම්බන්ධ කිසිවකු වැඩ සටහන්වලට නොකැදවන ලෙස තර්ජනය කරන ලදී. කොළඹ පිහිටි මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානයකට පොලිස් බුද්ධි අංශ පැමිණ බොහෝ තොරතුරු රැගෙන ගියේ ය. එදිනම තවත් රාජ්‍ය නොව සංවිධානයකට පැමිණ එහි සහායට ස්වේජාවෙන් සේවය කිරීමට පැමිණෙන ස්විස් ජාතිකයකු පිළිබඳව ප්‍රශ්ණ කළේ ය. 27දා වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරිකා තුෂාරා විතාරණ රහස් පොලීසියට කැඳවා ප්‍රශ්ණ කරන ලදී.  

මේ අතර නීතියට සහමුලින්ම යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙහි සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් ගොඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය නියෝගයක් නිතුක් කළේ ය. අධිකරණ නියෝගයකින් තොරව පුරවැසියකු නීත්‍යනුකූලව රටින් පිටව යෑම වැළැක්වීම නීති විරෝධී ය.දැනටමත් නීතිය යනු පාලකයාගේ සිතැඟි බවට පත් වී තිබේ. තවද මෙම රහස් පොලිස් නිලධාරීන්ගේ නම් තුවන් තොටුපළෙහි පරිගණක ගත කිරීම එම සියලු රහස් පොලිස් නිලධාරීන් හෙළිකරව් කිරීමක් ද විය.

බෙලල්න්විල සතුටු සාමීචියේ දී ජනාධිපති රාජපක්ෂ දැන් ගාල්ලට මාරු කර ඇති අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවෙහි ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර හදුන්වන ලද්දේ ‘එයාට හිතාගෙන ඒ්වට හරියන්න පරීක්ෂන කරන’ අයකු ලෙස ය.

මෑත කාලයෙහි මෙරට පොලිස් සේවයෙහි සිටි දක්ෂතම පරීක්ෂන නිලධාරියකු වූයේ ශානි අබේසේකර ය. ඔහු පරීක්ෂන නිලධාරියා ලෙස  කරන ලද අපරාධ පරීක්ෂන කිහිපයක් මෙසේ ය.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නඩුව, රැපියල් දෙකෝටියක කප්පමක් ඉල්ලා ඒට්කන්ස් ස්පෙන්ස් සභාපති වික්‍රමසිංහ පැහැරගෙන යාම, රෝයල් පාක් ඉවොන් ඝාතනය, කටුනායක ගුවන් තොටුපල එල්ල කළ ඒල්ටීටීඊ ප්‍රහාරය, චන්ද්‍රිකා කුමාරතුංගට එල්ල වූ බෝම්බ ප්‍රහාරය, උඩතලවින්න සමූහ ඝාතනය, දෙල්කද සය පුද්ගල ඝාතනය, ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ බෝම්බ ප්‍රහාරය, සරත් පොන්සේකා ඝාතන ප්‍රයත්නය, මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කළ බෝම්බ ප්‍රහාර දෙකක්, අඟුලාන තරුණයින් ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය.

පසුව පරීක්ෂන අධීක්ෂන නිලධාරියා ලෙස ඔහු නායකත්වය දුන් අපරාධ පරීක්ෂන කිහිපයක් මෙසේ ය,

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, උපාලි තෙන්නකොන්ට එල්ල වූ ප්‍රහාරය, කීත් නොයර් පැහැර ගැනීම,පෝද්දල ජයන්ත පැහැර ගැනීම සහ චධහිංසා පැමිණවීම, නාමල් පෙරේරා පැහැර ගැනීමට දරන ලද ප්‍රයත්නය, විමල් වීරවංශගේ ගමන් බලපත්‍ර වංචාව, රතු පස්වල ඝාතනය, රොශාන් චානක ඝාතනය, කොටහේන තරුණයන් 11 දෙනා පැහැරගෙන ඝාතනය කිරීම, සමපත් ලක්මාල් ඝාතනය, තාජුඩීන් ඝාතනය, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් රතුකුරුස සේවකයින් දෙදෙනෙකු පැහැර ගැනීම, වැලිකඩ හිරගෙදර සමූල ඝාතනය, සාපි සහබ්දීන් සම්බන්ධ චෝදනා, මූතූර් හි රාජ්‍ය නොවන සේවකයින් 16 දෙනා ඝාතනය.

මේ දිනවල සංවිධානය වෙමින් ඇති  ශානි විරෝධී ව්‍යාපාරයෙහි මේ අතරින් පරීක්ෂන දෙකක් කැපී පෙනේ. එනම් දොස්තර සාෆි සහබ්දීන් සහ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවයි.

ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ පත්තරයක් තිබී දැන් රාජපක්ෂ පත්තරයක් බවට පත් දිනමිණ 27වන දින වාර්තාවක් පළ කරමින් මෙසේ කියා සිටියේ ය.

‘දුමින්ද සිල්වාට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන පරීක්ෂණයක් නොකර අධිකරණයට කරුණු වසන් කරලා’ එය මෙසේ කියයි:

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදු කරන ලද කාලයේදී දුමින්ද සිල්වා මහතාට සිදුවු හානිය සම්බන්ධ පරීක්ෂණ අකර්මණය කර අනෙක් පාර්ශවය හා සම්බන්ධ පරීක්ෂණ පමණක් සිදු කර අධිකරණයට යම් ආකාරයකින් කරුණු වසන් කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇති බව පවසන පෙත්සම්කරුවෝ මේ සම්බන්ධයෙන් සාධාරණයක් සිදු කර දෙන ලෙස මෙසේ පෙත්සමක් හරහා රජයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යයි.’

දැන් පෙනෙන විදිහට භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුවට බල පා ඇත්තේ ශානි අබේසේකරය. එනමත් දුමින්ද සිල්වාට ලබා දෙන ලද මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකු සහිත විනිශ්චය මණ්ඩලයක් විසින් සනාථ කරන ලද එකකි. එම විභාගයෙහි දී මෙරට සිටින නම්දැරූ නීතිඥයින් පස් දෙනෙකුම දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටියේ ය. එම නඩුවෙහි අද දිනමිණ පත්තරය දකින අඩුපාඩු ඒකී නිතීවේදී කට්ටලය නොදැක්කේ ඇයි?

කාරණය සරළය. දැන් අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ සමයෙහි සිදුකරන ලද ජනමාධ්‍ය ඝාතන ඇතුලු අනෙක් අපරාධ සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද කරුනු කාරනා වළලා දැමීම පිනිස ශානි අබේසේකරට පහර දීමයි. මේ ඒක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ උත්සාහයකි. දුමින්ද සිල්වාට නිදහස දෙන අතරතුර ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර දඩුඅඬුවට හසු කර ගැනීම යි.

දොස්තර සාෆි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණය ගැන කතා කිරීම අපට ජනධිපති රාජපක්ෂගේ නීතිඥයා වන අලි සබ්රිට පවරා දිය හැකි ය. මන්ද යත් දොස්තර සාෆිට එල්ල වූ චෝදනා ඔහු විසින් ද ප්‍රතික්ෂේප කර ඇති නිසා ය.

රාජපක්ෂ සමයේ සිදු කරන ලද අපරාධ පිළිබද පරීක්ෂන පැවැත් වූ ප්‍රධාන පොලිස් නිලධාරියා මාරු කොට එතැනට කළක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂ නිලධාරියකු ලෙස සිටි පොලිස් නිලධාරියකු පත් කිරීම ගැන මේ තාක් එජාපය‌ හෝ ජවිපෙ හෝ කටක් ඇර නැත. මෙම ක්‍රියාව නිල වශයෙන් හෙළා දකින ලද්දේ මාධ්‍ය සංවිධාන තුනක් විසින් පමණි.

ඉහත කී රාජපක්ෂවාදී වෙබ් අඩවියේ සදහන් මෙම පුවතින් මෙම සටහන අවසන් කළ හැකි ය. මේ විසින් පෙන්වන්නේ ඉදිරිවසර පහ රාජ්‍ය සේවකයින්ට සිල්රෙදි චංචාවන් යනාදිය සදහා සහමුලින්ම දොර ඇර තබන බවයි.

‘ආණ්ඩුවේ තීරණ සද්භාවයෙන් ක්‍රියාත්මක කරන   ලබන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීති මය  පියවර ගැනීම වැළැක්වීම සඳහා වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත නම්  නව නීතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත .

එම පනත ක්‍රියාත්මක වූ පසු ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරන කිසිදු රජයේ නිළධාරියෙකුට එරෙහිව මෙරට  අධිකරණයක නඩු විභාග කිරීම හෝ දඬුවම් කිරීම සපුරා තහනම් කෙරේ .

මෙම පනත ගෙන ඒමට හේතු වූයේ පසුගිය 2010- 2015 මහින්ද රාජපක්ෂ රජය සමයේ  ආණ්ඩුව සිල් රෙදි බෙදා දීම සඳහා ගත් තීරණය ක්‍රියාත්මක කළ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාටත් කොළඹ මහාධිකරණය විසින් දඬුවම් නියම කිරීම නිසා ය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එලෙස දඬුවම් නියම කිරීමට ගත් අධිකරණ තීන්දුව ඉදිරි මාස කිහිපයේ දී පාර්ලිමේන්තු පණතක් මගින් අහෝසි කිරීමට නියමිතව තිබේ.’

විනය ගරුක සමාජය හදන්නේ ඔන්න ඔහොම ය.

Archive

Latest news

Related news