Tuesday, July 16, 2024

රණවිරුවෙක්ද, දේශදෝහියෙක්ද? වෘත්තීමය රහස් පරීක්ෂකයෙක් ද? තීරණය ඔබ සතුයි!

ඡායාරූපය: පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා .
රටේ ජනමාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ කවුරු බලයට පත් වුවද රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව කටයුතු කිරීමට සහ පොලිසියට හා රහස් පොලිසියේ බලපෑම් වලින් මිදී කටයුතු කිරීමය. දේශපාලඥයෙකුට එරෙහිව යම් තොරතුරක් හෝ විරෝධතාවයක් දැක්වුවොත්, මානව හිමිකම් කොමිසමට හෝ පොලිස් කොමිසමට පැමිණිලි කලහොත් රහස් පොලිසියේ ප්‍රශ්න කිරීමකට ලක්වනු නොඅනුමානය. යුද්ධ සමයේ යුද විරෝධීන් සහ දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අපට රහස් පොලිසියේ, පොලිසියේ, දේශපාලන හෙංචයියන්ගේ විවිධ අතවර වලට මුහුණ දීමට සිදුවිය.

මානව හිමිකම් ක්‍රියාදරයින් සහ සිවිල් සමාජ ක්‍රියාදරයින් 2015 යහපාලන රජයට සහය ලබා දුන්නේ තෙක් සිදුවු ඝාතන,ජනමාධ්‍යවේදීන් පැහැර ගෙන යෑම්, අල්ලස්, දූෂණ ගැන සෙවීමටයි. බොහෝ අරමුණු වලින් යහපාලන රජය පරාජය වූ නමුදු යම් හෝ ජයග්‍රහණයන් ලබා ගත්තේ 19 වෙනි සංශෝධනය හා වෙනත් නව නීතිරිති මගින් ගෙන ආ වෙනස් කම් නිසයි. මහින්ද රාජපක්ෂ රෙජීමය කාලයේ සිදුවූ ඝාතන,පැහැරගෙන යෑම් ගැන පරීක්ෂණ කරන ලද්දේ රහස් පොලිසියයි. ඔවුන්ට ජනාධිපතිවරයා සහ රජයේ විවිධ අංශ වලින් බලපෑම් තිබුණත් ඔවුන් විසින් ඉතා විශිෂ්ට සේවයක් කරන ලදි.

ඒ නිසාම මානව හිමිකම් ක්‍රියාදරයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලා සිටින ලදි. එහිදී ලැබුණු තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන දෙදෙනාගේ නායකත්වයෙන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ඉතා හොඳින් සිදුවන බව වැටහිණි. ප්‍රමාදයන් සිදුවූයේ බොහෝ අවස්ථාවදී නීතිපති දෙපාර්තමේන්තුවෙනි. මෙම දෙදෙනා සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන වලට හා සිවිල් සමාජයට නෑකමක් හෝ හිතවත්කමක් හෝ වෙනත් සම්බන්ධතාවයක් නොමැත. කිසිඳු හමුවීමක් හෝ සිදුවී නැත. ඇත්තේ ක්‍රියාවලියන් ඔවුන් විසින් මෙහෙයවූ අන්දම සම්බන්ධයෙන් යම් සතුටක් පමණි.

2018 නොවැම්බර් සහ 2019 නොවැම්බර් මාසයන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ඒ තරම් යහපත් නොවේ. 2018 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උදහසටත්, 2019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උදහසටත් ලක්වීමට ඔහුට සිදුවිය. පොලිස් අධිකාරී ශානි අබේසේකරටත්, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාටත් ලබා දුන් සේවා මාරුවීම් වලින් පසුව සිදුවිය හැකි අනර්ථකාරී සිදුවීම් සම්බන්ධයෙන් ඇතිවු සැකය මත නිශාන්ත සිල්වා සිය පවුලම සමග ස්විස්ටර්ලන්තයේ රැකවරණය ලබා පිටව ගොස් ඇත. ඡන්දයේ ප්‍රථිඵල ලැබුණු මොහොතේ සිට ඇති වු තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව කල්යල් බලා ගත් තිරණයක් බව පෙනේ.

“ පොලිසිය ස්වාධීන කිරීමේ හැකියාව තිබෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව. එය ඉවත් කිරීමත් එක් අරමුණක් 19 වෙනි සංශෝධනය ඉවත් කිරීමේ කණ්ඩායමේ. අපි දැක්කා ඔවුන් පොලිසිය ලවා සිදු කළේ නීතිය ආරක්ෂා කිරීම නෙමෙයි. නීතිය නැති කිරීමයි. අපි දැක්කා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ නඩු වලදී පොලිසියේ ක්‍රියාකාරිත්වය , රහස් පොලිසියේ කටයුතු. ගැඹුරු, බරපතල නඩු පිළිබඳව ඔවුන් ඉතා ස්වාධීනව කටයුතු කළා. පොලිසිය ස්වාධීනව කටයුතු කිරීමේ ප්‍රථිඵලයක් වශයෙන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරපු මෙතන ඉන්න හැමෝගේම හදවතට ඒක දැනුනා. ඒ පිළිබඳව වචනයක්වත් කතා නොකළ කෙනෙක් නෑ.මිනිස්සුත් පාරට බැස්සා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් මාරු කළාම ජනතාව පාරට බැස්ස අවස්ථාවක් තියෙනවද? පොලිස් ස්ථානාධිපති කෙනෙක් මාරු කළාම, ඒ ප්‍රදේශයේ ඉන්න හාමුදුරු කෙනෙක් හරි, එහෙමත් නැත්නම් පාදිලි කෙනෙක් අල්ලගෙන, නැත්නම් හරක් හොරෙක් හරි, කසිප්පු කාරයෙක් හරි අල්ලගෙන ඒ ගොල්ලන්ම විරෝධතාවයක් සංවිධානය කරනවා. පොලිස් ඉතිහාසයේ පොලිස් පරීක්ෂකයෙක් මාරු කළාට පස්සේ මිනිස්සු එළියට ඇවිල්ලා, ඔහු වෙනුවෙන් පෙනී සිටියා. එතකොට මොකක්ද සිද්ධ වුනේ. ජනාධිපතිට අකුලගන්න සිද්ධ වුනා. පොලිස්පති පිළිගත්තා කව්ද නියෝගය දුන්නේ කව්ද කියලා. ඒ සිදුවීමෙන් අපට විවිධ දේවල් එළිවුනා.”

මෙම අදහස් ජේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් 2018 දෙසැම්බර් මස 10 වෙනි දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව එක්ව සංවිධානය කරන ලද “මානව හිමිකම් සුරැකුමට අද දවසේ අප හමුවේ ඇති අභියෝග” යන මැයෙන් බණ්ඩාරනායක ජාත්‍යයත්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සම්මේලනයක දීය.
2018 ඔක්තෝම්ර් මස 26 වෙනි දින සිදුවූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු හුවමාරුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මුලින්ම සිදු කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුවක් ලබා දීමයි.

ජනමාධ්‍යවේදීන්ට සිදුවූ හිංසන සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් මෙහෙය වූ විමර්ශන නිලධරියෙකි. සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් හා ජේෂ්ඨ මාධ්‍යවේදීන් වන කීත් නොයාර් හා නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටියේ නිශාන්ත සිල්වා ය. රණවිරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විශාල චෝදනා ජාතිවාදීන් අන්තතවාදීන් සහ ඔවුන්ට සහය ජනමාධ්‍යයන් විසින් නිරන්තරයෙන් ප්‍රචාරය කළේය. තොරතුරු දෙනවා වෙනුවට ඒවාට අර්ථකතනය දෙමින් ඔහුට රණවිරු විරෝධයක් දැමූවේ ඔවුන් ය. කොළඹ දී තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශනයන් ද විමර්ශනය සිදු කළ නිශාන්ත සිල්වා සිදු කළ අත්අඩංගුවට ගැනීම් සිදු කළ අතර එහිදී ඔහුට මතුවූ කිසිඳු බලපෑමකට යටත් නොවී සිටින්නට ඒ සියළු අත්අඩංගුවට ගැනිම් සිදුකිරීමට ඔහුට හැකිවිය. යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම දැමීමේ නඩුවේ විමර්ශන පැවැත්වූයේ ද නිශාන්ත සිල්වා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. නිශාන්ත පෞද්ගලිකවම කැපවී පුංකුඩුතිව්හි සිදුවූ එම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී ඔහුට විරුද්ධව දෙමළ දේශපාලන කණ්ඩායම් වලින් විරෝධය මතු වුවද ඔවුන් ඒ කිසිවක් මායිම් නොකර ඒ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි. ලංකා ඉතිහාසයේ වේගයෙන්ම පරීක්ෂණයක් කර අපරාධකරුවන්ට දඩුවම් ලබා දුන් අපරාධයක් ලෙස ද සටහන් වේ.
නිශාන්ත සිල්වා ගැන ඉහළම අණාවරණය සිදු කරනු ලබන්නේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අම්හිංසා වික්‍රමතුංග යි. ඒ 2018 ආණ්ඩු කුමණ්ත්‍රණය අවස්ථාවේදී ඔහුව මීගමුවට මාරුකර යැවීම සම්බන්ධයෙන් තම විරෝධතාවය ජනාධිපතිවරයාට දක්වමිනි. ඇය එම ලිපියේ දිනය දිනය ලෙස සඳහන් කර තිබුණේ 2018 නොවැම්බර් මස 18 වෙනි දිනයි. ඒ අදට හරියටම අවුරුද්දට කලිනි. ඇය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගැන විස්තරාත්මක ලිපියක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යවන ලදි. දීර්ඝ එම ලිපියේ උපුටා ගත් කොටස් මෙසේය.

“මා නිශාන්ත සිල්වා හඳුනා ගත දින සිටම ඔහුගේ සෞම්‍ය, නිහතමානි ගතිගුණ සහ රැකියාවට ඇති කැපවීම නිරීක්ෂණය කළෙමි. ඔහු විසින් සිදු කරනගෙන යනු ලබන ඉහළ ඝනයේ අපරාධ පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව මම පුදුම වුනෙමි. 2008 මැයි මස කීත් නොයාර් ව කෲර ලෙස පැහැර ගෙන ගොස් වධ හිංසා කිරීමේ අපරාධය ද විමර්ශනය කරනු ලැබුයේ නිශාන්ත සිල්වා විසිනි. පැහැරගත් කීත් නොයාර්ට දරුණු වධහිංසා සිදු කිරීමට සම්බන්ධ මිලියන ගණනක් දුරකතන සංවාද වාර්තා, සාක්ෂිකරුවන්ගෙන් වාර්තා කර, සිය ගණනක් ප්‍රකාශ සොය ගනු ලැබුවේ ද, රහස් ඔත්තු සේවයට අයත් ආරක්ෂිත නිවසක් තුළදී නොයාර්ව කෲර වධ බන්ධයන්ට ලක් කිරීම පිළිබඳව සාක්ෂි සොයා ගනු ගැබුවේ ද, ඒ හා සම්බන්ධ හිටපු හමුදා ප්‍රධානියෙකු (Chief of Defence Staff) ඇතුළු හමුදා නිලධාරයන් අත් අඩංගුවට පත් කරනු ලැබුවේ ද එම විමර්ශනය භාරව සිටි නිශාන්ත සිල්වා විසිනි. මෙම සැකකරුවන් අතරින් 7 දෙනෙකු මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ කුප්‍රකට “ටි්‍රපොලි” සුදු වෑන් පාබල ඛණ්ඩයට අයත් වූවන් විය. වෙන මොනවත් අවශ්‍ය නැත! නිශාන්ත සිල්වා එම කුප්‍රකට සුදු වෑන් රථය ද සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඔබේ ජනාධිපතිවරණය තුළ “මරණයේ රිය” ලෙස විරුදාවලිය ලැබූ, ඔබේ ප්‍රතිවාදියාගේ කෲරත්වයේ සංකේතය ලෙස ඔබ හැඳින්වූ ඒ වෑන් රිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුගේ වෘත්තීය ජීවිතයට අකුල් හෙළනවා වෙනුවට ඔහුට ඔබ උසස් වීමක් ලබා දෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්නට ඇත. “ ජාතික ආරක්ෂාව” හේතු වශයෙන් දක්වා ඔබ පෞද්ගලිකවම හමුදාවට නියෝගයක් නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය විසින් ඉල්ලා සිටි හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට අයත් වාර්තා සහ අත්‍යවශ්‍ය ලිපි ලේඛන ඔවුන්ට ලබා නොදෙන ලෙසය. ඔබගේ එම විධානය නොවන්නට මෙම අපරාධයන් විධානය කළ වුන් සහ ටි්‍රපොලි පාබල ඛණ්ඩය අතර සම්බන්ධතාවය දැනටමත් සොයාගෙන තිබෙනු ඇත.

කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිරණය සිදුවූ රාත්‍රියේ දී පැහැරගෙන ගොස් ඝාතනය කළ හමුදා බුද්ධි අංශ ඛණ්ඩය හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට පත් කරන ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. තවද ඔහුගේ විමර්ශන කණ්ඩායම විසින් දසදහස් ගණන් දුරකතන සංවාද,වාර්තා සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ දහස් ගණනක් පීරමින් මෙම විමර්ශනය සිදු කරන ලදි. අවම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් විසින් ප්‍රකාශ කරනු ලැබුයේ එම ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විධානය පරිදි සිදුවූ බවය.

2005 වසර මුල් භාගයේ ඇවන්ට් ගාර්ඞ් අවි ගබඩාව පිළිබඳව නිරාවරණය කිරීම තුළින් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තමනම පැනවීම දක්වා දිවුණු විමර්ශනය සිදු කරනු ලැබුවේ නිශාන්ත සිලවා විසිනි. ඔහු සහ ඔහුගේ විමර්ශන කණ්ඩායම අති විශාල කාර්යභාරයක් සිදු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ අණින් ශ්‍රී ලංකා වෙරළ තීරයේ ගිල්වා සඟවන ලද පුපුරණ ද්‍රව්‍ය, එම අවි ගබඩාව අයත් අවි ලැයිස්තු,බැංකු ගිණුම් විස්තර සොයා ගන්නා ලදි. ජනාධිපතිතුමනි, ඔබගේ නීතිපතිවරයා විසින් 2015 ජූනි මස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි පනත සහ පුපුරන ද්‍රව්‍ය පනත යටතේ සිදුවුනු අපරාධ පිළිබඳ කරුණු නිරාවරණය නොකළ හැකි බවට තිරණය කළ අවස්ථාවේ එම වටිනා විමර්ශනය ශුන්‍යභාවයට පත් විය.

2008 සහ 2009 වසර තුළ තරුණයන් 11 දෙනෙක් කෲර ලෙස පැහැර ගෙන යන ලදි. ඔවුන් ව නිදහස් කිරීමට ඔවුන් ගේ පවුල් වලින් කප්පම් ඉල්ලා, ඉන් ද නොනැවතී ඔවුන්ව අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ගේ සම්බන්ධය ඉතා සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිපඵලයක් ලෙස සොයා ගන්නා ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. එහ නාවුක හමුදා නිලධරයන් අත් අඩංගුවට පත් වු අතර හිටපු නාවුක හමුදාපති හෙවත් වත්මන් (Chief of Defence Staff) එම දරුණු අපරාධයට සම්බන්ධ වූවන් රැකගැනිමට සහ ඔවුන්ව ආරක්ෂිත ලෙස රටින් පිටතට ගෙන යාමට සම්බන්ධය.

දෛවයේ සරදමක් ලෙස ඔබ හට නිශාන්ත සිල්වා LTTE අතකොළුවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති “කරුණු ”ඉදිරිපත් කර ඇත්තේ නිශාන්ත සිල්වා විසින් අත් අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ හමුදා ප්‍රධානියාමය : (Chief of Defence Staff) ශ්‍රී ලංකා පොලිසියේ සිටින වඩාත්ම සේවයට කැපවුණු සත්‍යය නම් නිශාන්ත සිල්වා යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය පුරාවටම ඛඔඔෑ සංවිධානයට සිටි ලොකුම කරදරකාරයයි. කනිෂ්ඨ නිලධාරියෙකු ලෙස එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ ජාලයන් සුනු විසිනු කළ පරීක්ෂණ වලට සහභාගි විය. ඒ අතර 2000 වසරේ කටුනායක ගුවන් තොටුපොළ ප්‍රහාරය දියත් කළ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ ජාලය ද වෙයි. 2006 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාට එල්ල කළ එල්.ටී.ටී.ඊ. ප්‍රහාර සහ 2008 වසරේ ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ විමර්ශන තුළින් එම එල්.ටී.ටී.ඊ. බුද්ධි ජාලා සොයා ගොස් ඒවා දැදුරු කරනු ලැබුවේ ද ඔහු විසිනි.

ජාතික වීරයෙකු බඳු වු නිශාන්ත සිල්වා නැමති රාජ්‍ය සේවකයාව ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසීමට දත කෑමට තරම් ඔබ පිරිහී ඇත්තේ ඔබෙගේ අලුත් දේශපාලන සඟයන් ව සතුටු කර ඔවුන්ගෙන් ලකුණු දමා ගැනීමට විය යුතුය. නමුත් එසේ කිරීම තුළින් ඔබ ඔබගේ පූර්ව ප්‍රාප්තිකයන් කිසිවෙකුත් නොවැටුණු පහත් තැනකට ඔබගේ ධූරයේ ගෞරවය ඇද දමා ඇත.” ( උපුටා ගැනීම – කලම්බු ටෙලිග්‍රාෆ්- පරිවර්තනය උවිඳු කුරුකුලසූරිය )

2018 පළමු මෙම උපුටගැනීම් වලින් සිදුවී ඇති දේ සම්බන්ධයෙන් යම් පදනමක් ගොඩනැගේ. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ලංකාවේ සිටියටත්, ස්විස්ටර්ලන්තයේ සිටියත් පවතින රජයට ජනාධිපතිවරයාට ඔහු තර්ජනයක් බව නොසලකා හැරිය හැකි කරුණක් නොවේ.

නුවර ‌කොල්ලා විසිනි

Archive

Latest news

Related news