Friday, April 19, 2024

වෙබ් මාධ්‍යවේදී දඩයම ගැන ‌වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ල

ඡායාරූපය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  අද දින පැමිණෙනVOICE TUBE” යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන වෙත කැඳවීමක් ලැබී තිබුණි.

නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය බලවත් කණස්සල්ල පළකරන බව බව එම සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහ ලේකම් කැලුම් ශිවන්ත රොඩ්‍රිගෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

“මේ වනවිට theleader අන්තර්ජාල පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම විවිධ කරුණු පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සිදුවෙමින් පවතී. පසුගිය 26 වෙනිදා එම පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ පුවත් නිවේදකයෙක් වන ධනුෂ්ක සංජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8 ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමට භාජනය කර තිබේ.
එමෙන්ම හිටපු ඇමති චම්පික රණවක මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක සහ මහරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධනුෂ්ක රාමනායක පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ ඔවුන් විසින් සේවා ලබාගත් නිව්ස්හබ් වෙබ් අඩවියේ කාර්යාලය පරික්ෂා කිරිම සදහා 14 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පැමිණි බවය. එසේම ඊයේ (නොවැම්බර් 27 ) දිනයේ voicetube.lk වෙබ් අඩවියේ තුෂාරා විතාරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඉහත දැක්වෙන අන්තර්ජාල ප්‍රකාශන සියල්ලම පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන ලද ඒවා ලෙස සැලකේ.

තම ජයග්‍රහණයෙන් අනතුරුව අන්තර්ජාල සමාජ ක්‍රියාකාරීන් අමතා තම සංවර්ධන වැඩපිළිවෙළට ඔවුන්ගේ සහය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇති තත්ත්වයක් තුළ මෙසේ මාධ්‍යකරුවන් හිරිහැරයට පත් කරන ආකාරයෙන් ක්‍රියාකිරීම නව ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ද යන්න රජයේ අවධානයට ලක් විය යුතු බව වෘත්තීය වෙන් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදි තමන්ට සහය දැක්වු ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත එල්ල වෙමින් ඇති මේ බලපෑම් වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය හෝ විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු විරෝධයක් පළ නොකිරීම කණස්සල්ලට කරුණක් බවද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

නිදහසේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ (14 (1) අ) මගින්ද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (අයිසීසීපීආර් ) 19 වන වගන්තිය මගින්ද සහතික කොට ඇති අතර, එම අයිතිවාසිකමට ගරු කොට ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම රජය සතු වගකීමකි.

පසුගිය යහපාලන රජය පැවැති සමයේ විසම්මුතික මත දරන්නන්ට තම අදහස් ප්‍රකාශ කිරීම උදෙසා පුළුල් නිදහසක් සහතික වූ අතර, ශ්‍රී ලංකාව ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයන්හි ඉදිරියට ඒමද සිදු විය.

එබැවින් මාධ්‍යකරුවන්ට බියගැන්වීම්වලින් සහ තර්ජනයන්ගෙන් මිදී ක්‍රියාකිරීමට සුදුසු වාතාවරණයක් ඇති කිරීම රජයේ වගකීමක් බවත්, එම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත්වීම විපක්ෂය ඇතුව සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්හි වගකීම බවද තමන් අවධාරණය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

ෆ්‍රෙඩී ගමගේ
සභාපති
කැලුම් ශිවන්ත
ලේකම්

Archive

Latest news

Related news