Saturday, April 20, 2024

ශානි අබේසේකර මාරු කිරීම ඉදිරි පරීක්ෂන හා අධිකරණ ක්‍රියාවලියට බාධාවක්, මාධ්‍ය නිදහසට බලපෑමක් – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ජාතික පොලිස් කොමිසමේ  සභාපති  කේ.ඩබ්. ඊ. කරලියැද්ද මහතා වෙත ලිපියක් යවමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරියෙක්ව මාරු කිරීමෙන් ඉදිරි පරීක්ෂණවලට සහ අධිකරණ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බව සිය විශ්වාසය බවත් එමෙන්ම මෙය මාධ්‍ය නිදහසට එල්ලවෙන බලපෑමක් ලෙසද  විශ්වාස කරන අතර, එබැවින් ඔහුගේ මෙම ස්ථාන මාරුව අවලංගු කොට පෙර පරිදි රාජකාරියේ පිහිටවිය යුතු බවට යෝජනා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය යෝජනා කර සිටී.

එම ලිපිය පහත පළවේ.

කේ.ඩබ්. ඊ. කරලියැද්ද මහතා, සභාපති, ජාතික පොලිස් කොමිසම

 

ගරු සභාපතිතුමනි,

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව සම්බන්ධවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කිරීමට ඔබ කොමිෂන් සභාව අනුමැතිය දීම සම්බන්ධයෙන් අප බලවත් විමතියට පත්වීමු.

2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පත්වූ විගසම මෙම ස්ථානමාරු කිරීමේ අවශ්‍යතාවය පැනනැඟුනේ කෙසේදැයි යන්නෙහි ඇති ගැටළු සහගත බවත්, මෙය පැහැදිළිවම දේශපාලනික වශයෙන් ගත් තීන්දුවක් බවත් අපට පෙනී යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරමින් සිටි නිලධාරියෙක්ව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරවරයෙකු ලෙස පත් කිරීමෙන්ම මෙය ස්ථාන මාරුවකට වඩා දේශපාලන පළි ගැනීමක් වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බව පැහැදිලිය. එම දේශපාලන වුවමනාව කාගේ වුවත්, පොලිස් කොමිෂම එම දේශපාලන වුවමනාවෙහි කොටස්කරුවෙකු වීම අපට ඇති ගැටළුවයි.
උදාහරණයක් සේ සැලකුවහොත්, මීට පෙර මෙවැනි දේශපාලන පසුබිමක් නොමැති අවස්ථාවකදී පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාව මාරු කර යැවූ අවස්ථාවේදී පොලිස් කොමිෂම එයට අනුමැතිය ලබාදී තිබුණේ නැත.

ජෙ.පො.අ. ශානි අබේසේකර මහතා පිළිබඳව අපගේ අවධානය යොමුවීමට විශේෂ හේතුවක් තිබේ. පසුගිය සමය තුළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදී පැහැරගැනීමට උත්සාහ කිරීම ආදී සිදුවීම් සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. එම විමර්ශන අතරින් දෙකක් මේ වනවිට අවසන් කොට නීතිපතිවරයාට ඉදිරිපත් කොට ඇති අතර ඒවා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කිරීමද සිදුකර ඇත. එවැනි පොලිස් නිලධාරියෙක්ව මාරු කිරීමෙන් ඉදිරි පරීක්ෂණවලට සහ අධිකරණ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙය මාධ්‍ය නිදහසට එල්ලවෙන බලපෑමක් ලෙසද අප විශ්වාස කරන අතර, එබැවින් ඔහුගේ මෙම ස්ථාන මාරුව අවලංගු කොට පෙර පරිදි රාජකාරියේ පිහිටවිය යුතු බවට යෝජනා කර සිටිමු.

මෙයට,

දුමින්ද සම්පත් , සභාපති

ෆ්‍රෑන්ක් ද සොයිසා, ලේකම්

පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න: SHANI ABAYASEKARA

Archive

Latest news

Related news