Thursday, March 28, 2024

දේශපාලන තීන්දුවක් බව පෙනෙන ශානි අබේසේකර මාරුව අවලංගු කරන්න! ‘තරුණ ජනමාධ්‍යවේදියෝ’ පොලිස් කොමිසමට ලියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අබේසේකර මහතා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ගැන අප්‍රසාදය පළ කරන බව ද එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වේ.

ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගත් අපරාධ රැසක අධීක්ෂණ නිලධාරියා වූ ශානි අබේසේකර මෙසේ හදිසියේ ස්ථාන මාරු කරනු ලැබුවේ දේශපාලන හේතූන් නිසා බවත්, ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව එවැනි පටු තීන්දු තීරණ ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරමාර්ථ උල්ලංඝණය කිරීමක් බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කළ ලිපිය පහත පළවේ.

2019 නොවැම්බර් 22 වැනි දා

කේ ඩබ්ලිව් ඊ කරලියද්ද මහතා, සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.

සභාපතිතුමනි,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉවත් කිරීම සම්බන්ධවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණය ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි බලපත් අප්‍රසාදය පළ කර සිටිමු.

ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (21 වැනිදා) ගත් මෙම තීන්දුවට අදාල ආවරණ ලිපිය පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඊයේ (21 වැනිදා) දිනයේම අත්සන් කර ඊයේ (21 වැනිදා) දිනයේම පොලිස්පති වෙත යොමු කළ අතර පොලිස්පතිවරයා ද ඊයේ (21 වැනිදා) දිනයේම එම ස්ථාන මාරු නිවේදනය නිකුත් කළේය. ආණ්ඩු වෙනසත් සමඟ අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීමට ගත් එම තීරණය ඉතා කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් ඔබ කොමිෂන් සභාව සැබෑවටම ස්වාධීන කොමිෂන් සභාවක්දැයි සැක උපදවන තැනට සාමාන්‍ය ජනයා තල්ලු කර තිබේ.

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම, ද නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම, මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහරදීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු ජනමාධ්‍යවේදීන් සම්බන්ධ සිද්ධි රැසක විමර්ශන පැවැත්වූයේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙනි. මේ සියලු සිදුවීම් සිදුවූයේ 2005-2015 කාල වකවානුවේය.

එම කාල වකවානුවේම ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් වන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ද ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙනි.

එම අපරාධ සිදුවූ කාල වකවානුවේ ලංකාවේ පාලකයන්ව සිටි දේශපාලනඥයන් යළිත් වරක් බලයට පත්වී සතියක් යන්නටත් මත්තෙන් ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම බරපතල සැකයට තුඩු දෙන කාරණයකි. මෙම විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කරන ලද බව අපගේ බලවත් විශ්වාසයයි. ආණ්ඩුවකට එවැනි උවමනාවත් තිබිය හැකි වුවත් (එය ද බරපතල වරදකි) ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුවේ එම උවමනා එපාකම්වලට අනුව පටු තීරණ ගන්නා ආයතනක් වීම බරපතල තත්ත්වයක් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාර්ථ විනාශ කිරීමකි.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, හිටපු ජනපතිනිය ඉලක්ක කර ගත් ටවුන්හෝල් බෝම්බය, රේගු නිලධාරී සුජිත් පෙරේරා ඝාතනය, දෙල්කඳ හය දෙනා ඝාතනය, ගුවන්තොටුපොළ ප්‍රහාරය, හිටපු ආරක්ෂ ලේකම් (වත්මන් ජනාධිපති) ඉලක්ක කර ගත් බව කියන පිත්තල හංදියේ බෝම්බය, සරත් ෆොන්සේකා ඉලක්ක කර ගත් යුද හමුදා මූලස්ථානයේ ප්‍රහාරය ඇතුළු සුප්‍රසිද්ධ විමර්ශන ගණනාවක් සිදු කරනු ලැබුවේ ද ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙනි.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම, වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ තරුණයන් 11 දෙනකු පැහැර ගැනීම යන සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසකට මේ වන විට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ ඉදිරියේ නඩු පවරා තිබේ.

ශානි අබේසේකර මහතා විසින් විමර්ශනය කරල ලද සහ ඒ මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශනය කරන ලද සිද්ධි කිහිපයක විත්තිකරුවන් 30කට අධික පිරිසකට ත්‍රිපුද්ගල මහාධිකරණවලින් මරණ දඬුවම නියම කරනු ලැබ ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඬුලු වලින් ඒවා ස්ථිකර කර ඇත. (සංගමයක් ලෙස අපි මරණ දඬුවම අනුමත නොකරමු.)  මරණ දඬුවම නියමවූවන් අතර පාතාල නායකයෝද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ පොලිස් නිලධාරීහු ද වෙති.

එවැනි දක්ෂතා දැක්වූ නිලධාරියකු හදිසියේ ස්ථාන මාරු කිරීම බරපතල සැකයකට තුඩු දෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සිටි සුදත් නාගහමුල්ල මහතාට උසස්වීම් ලැබීමෙන් ඇතිවූ පුරප්පාඩුවට එවකට පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් කරන ලෙස හිටපු පොලිස්පතිවරයා දැනුම් දුන් අවස්ථාවේ දේශපාලන මැදිහත්වීම්වලට යටත් නොවූ ජාතික පොලිස් කොමිෂන් සභාව එම තනතුරට සුදුස්සා ශානි අබේසේකර බව පවසමින් ඔහු එම තනතුරට පත් කළේය. එසේ තිබිය දී ඊට අවුරුදු දෙකකට පසු  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස අවුරුදු හයක (06) ජ්‍යෙෂ්ඨත්වයක් ඇති අපරාධ විමර්ශනයෙහි වසර ගණනාවක් අත්දැකීම් ඇති ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුද්ගලික සහකාරවරයකු ලෙස පත් කිරීමට තීරණය කිරීමෙන්ම  ජාතික පොලිස් කොමිෂන් සභාව දේශපාලනමය තීන්දුවක් ගෙන ඇති බව පෙනී යයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ පරමාර්ථය රාජ්‍ය සේවය දේශපාලන මැතිහත්වීම්වලින් තොර කිරීමයි. බලයට පත්වන ආණ්ඩුවල උවමනා එපාකම්වලට වැඩ කිරීම ස්වාධීන කොමිෂන් සභාවල කාර්ය සහ කර්තව්‍ය ලැයිස්තුවට නොවැටේ. එසේ හෙයින් ඔබ කොමිෂන් සභාව ගෙන ඇති තීන්දුව ඉවත් කර ශානි අබේසේකර මහතා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කර විමර්ශන කඩිනම් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news