Tuesday, May 21, 2024

ඥාණසාර නිදහස් කිරීම අධිකරණයට අපහාසයක් – ලාල් විජේනායක

අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් විඳිමින් සිටි ඥාණසාර භික්ෂුව අත්තනෝමතිකව නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයාද අධිකරණයට අපහාස කර ඇතැයි එක්සත් වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වාමාංශික එක්සත් ‌පෙරමුණ යනු වත්මන් ජනාධිපති බලයට පත් කිරීමෙහි ලා තීරණාත්මක වැඩ ‌කොටසක් ඉටු කළ වමේ එකමුතුවක් වන අතර එවක දී ඥාණසාර භික්ෂුව ප්‍රධාන බොදු බල ‌සේනාව සිටියේ ‌මෛත්‍රීපාල සිරිසේනට සතුරු පිලේ ය. සිරිසේන ජනාධිපති වීමෙන් පසුව ද ඥාණසාර භික්ෂුව ජනාධිපතිව හැඳින්වූයේ ‘නපුංසක නායකත්වය’ යනුවෙනි. ‌කෙසේ ‌වෙතත් වාමාංශික එක්සත් ‌පෙරමුණේ  ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ අත්සනින් නිකුත් කර ඇති ඉහත කී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණ තීන්දුවකින් වැරදිකරු වී දණ්ඩනයට යටත්ව සිටි ගලගොඩඅත්තේ ඥාණසාර නමැති භික්ෂුව පසුගිය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීය. ඔහු දණ්ඩනයට යටත් කර සිටියේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කිරීම හා රජයේ නීතිඥවරයාට අපහාස කිරීම යටතේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා කළ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව දුන් තීන්දුවකට අනුව ය.

19 වසරක සිරදඬුවමකට යටත් කර වසර 06 කින් ගෙවී යන පරිදි නියම එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඥාණසාර භික්ෂුව පැමිණිලි කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව අනුමත කරන ලදී. ජනාධිපතිවරයා මෙසේ නිදහස් කරන්නේ උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවමට යටත් වී සිටි පුද්ගලයෙකි. තම පටු දේශපාලන අරමුණු සපුරාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කළ මේ නිදහස් කිරීම තුළ ඔහුද අධිකරණයට අපහාසයක් කර ඇත.

ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ඥාණසාර භික්ෂුව මෙසේ නිදහස් කෙළේ පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීමට බව ඉතා පැහැදිලිය. ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයෙන් කතා කිරීම පමණක් නොව ක්‍රියා කළ එම භික්ෂුව නිදහස් කරන්නේ ජාතීන් අතර පසුගියදා ඇවිලෙන්නට ගිය කෝලහාලයේ උණුසුම මැකී යන්නටත් පෙර ය. අන්තවාදී සිංහල බෞද්ධයන්ගේ මනදොළ සැපිරීම සඳහා ජනාධිපතිවරයා කරන ලද මෙම නොමනා ක්‍රියාව ජනතාව ඉදිරියේ නීතිය හෑල්ලුවකට ලක්වනවා පමණක් නොව ජාතිවාදයට උඩගෙඩි දීමක් ද වේ. එහෙයින් ජනාධිපතිවරයා පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම ස‍ඳහා කළ මේ අත්තනෝමතික ක්‍රියාව එක්සත් වාමාංශික පෙරමුණේ අපි තරයේ හෙළා දකිමු.

ලාල් විජේනායක

ප්‍රධාන ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

Archive

Latest news

Related news