Friday, May 17, 2024

ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

මාධ්‍ය නිවේදනය /08 අප්‍රේල් 2019.

පසුගිය අප්‍රෙල් 01දා ලේඛක ශස්තික සත්කුමාර පොල්ගහවෙළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ රදවා තබන ලෙස ඉල්ලා සිටීම මානව හිමිකම් ප්‍රඥාප්තියක් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය හෙළා දකින අතර වහාම ඔහු නිදහස් කිරීමට උපදෙස් දෙන ලෙස ආණ්ඩුවේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙම නීති විරෝධී පියවර ගත් පෙලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස ද අපි ඉල්ලා සිටිමු.

ඔහු අත් අඩංඟුවට ගෙන රදවා තැබීම සඳහා පොලීසිය විසින් නිමිත්ත වශයෙන් යොදා ගෙන ඇති ‘අර්ධ’ නම් කෙටි කතාව නිසා එකී පනත යටතට ගැනෙන කිසිදු වරදක් සිදුව නැති බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය විශ්වාස කරයි.

ශස්තික සත්කුමාර යනු කෙටි කතා සංග්‍රහ හතරක් පළකොට ඇති ත්‍යාගලාභී නිර්මාණකරුවෙක් වන අතර ඔහුගේ නිර්මාණවල ඇති ගුණාත්මක සහ සාරය පිළිබදව විමසීම වෙනමම සළකා බැලිය යුතු කරුණක් බව අපගේ විශ්වාසයයි.

ශස්තික සත්කුමාර

පොලීසිය විසින් මෙම පියවර ගෙන ඇත්තේ සහ ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස පැමිණිළි කර ඇත්තේ බෞද්ධ සංවිධාන ගණනාවක තනතුරු දරණ සංඝයා වහන්සේ නමක් විසිනි. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඒම කෙටිකතාවෙන් බුදුදහමට අපහාසයක් සිදුවන බවයි. තවද බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නම් ආයනයක් විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේම ඉදිරියට පළවීමට නියමිත ශස්තික සත්කුමාරගේ කෙටි කතා සංග්‍රහයක් වාරණය කරන සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙම කිසිදු ඉල්ලීමක් නිදහස් සහ විවේචනාත්මක අදහස් ඉවසා සිටීමට අනුබල දෙන බුදසමයට කිසිසේතම අනුකූල නොවන බව පෙන්වා දීමට ද අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය කැමැතිය.

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය මෙකී ඉල්ලීම් සහ පොලීසිය විසින් ගෙන ඇති පියවර දකින්නේ පොදු වශයෙන් මෙරට ජනයාගේ ප්‍රකාශණ අයිතිය සහ විශේෂයෙන් කලා නිර්මාණ අයිතියට එරෙහි ක්‍රියා මාර්ග ලෙස ය. එසේම මේ සිදුවීම දකින්නේ  එක් හුදකළා සිදුවීමක් ලෙස නොව පසුගිය කාලය පුරා අප අත්දකිමින් සිටින මූලධර්මවාදී ක්‍රියාදාමයක තවත් ඒක් පියවරක් ලෙස ය.

එබැවින් කලා නිර්මාණ, අන්තවාදී ආගමික සහ වාර්ගික මිනුම්දඬුවලින් මැන මර්ධනය කිරීමේ මෙම ප්‍රවණතාවය පරාජය කිරීම මානව හිමිකම් අගයන සියළු දෙනා සතු වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය තවදුරටත් අවධාරණය කරයි.

සම්පත් සමරකෝන්

කැදවුම්කරු

@IMAlanka | +94 777248304

Archive

Latest news

Related news