Thursday, April 25, 2024

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඒ්කාධිපති පාලනයක පෙරවදනයි! – කේලි සේනානායක

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) අනු ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කිරීමට ජනාධිපතිවරයා දිව්රුමක් මගින් බැඳී සිටීත රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීම හා මහින්ද අගමැති තනතුරට පත්කිරීම හා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මගින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. මහින්න රාජපක්ෂ අපරාධ සහායකයෙකු වශයෙන් එම උල්ලංඝනයට ක්‍රියාත්මකව සහභාගි වී තිබේ. ඔවුන් දෙදෙනා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කර ඇත්තේ පැහැදිලිවම අනෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහාය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ආඥාදායක පාලනයක පෙරවදනයි. ජර්මනියේ හිට්ලර් සහ ඉතාලියේ මුසෝලිනී කලේ ද මෙයමය.

මෛත්‍රී මහින්ද යුවළගේ බල අශාවේ හෝමෝන ක්‍රීයාකාරීත්වය තව දුරටත් පාලනය කරගත නොහැකි තරමට උස්සන්න වූ අතර ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ දේශපාලන වශයෙන් යහන්ගත වූහ. බලයට ඇති ආශාව ලිංගික කාමාශවටත් වඩා අන්ධ බව සනාථ කරමින් මොවුන් දෙදෙනා ඒ පාහර දේශපාලන මෛතුන්යේ යෙදෙන්නට එදා රෑ තීන්දු කළහ. ඒ තම දේශපාලන හිත මිත්‍රාදීන් හා නෑසියන්ට ද හොර රහසේය. සැලකිය යුතු කාලයක් පුරා පවත්වාගෙන ගොස් ඇති මේ දෙදෙනාගේ අනියම් දේශපාලන සම්බන්ධතාවයේ සුළමුල දැන් රටට රහසක් නොවේ.

විධායක ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල කප්පාදු කිරීමට සපත කරමින් ජනාධිපති සයනාගාරයට ඇතුල් වූ මෛත්‍රී ජනාධිපතිතුමා එහි සුඛ විහරණයෙන් කුල්මත් වූයේය. පොරොන්දු අමතක විය. පළමු ධූර කාලය වන අවුරුදු 5 පමණක් ප්‍රමාණවත් යැයි කයිවාරු ගැසූ මේ මිනිසා තවත් අවුරුද්දක් ධූරය දැරිය නොහැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවේය. එය කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන් විට ඊළඟ වාරයේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වන්නේ කෙසේදැයි කල්පනා කළේය. 2015 දී මෙන් එජාපයේ සහාය නොලැබෙන බව ස්ථීරව දැනගත් පසු කන්න දුන්න අත සපා කෑ සුනඛයෙකු මෙන් එජාපයට බුරන්නට පටන් ගත්තේ ය. මහින්දගේ සරණ මිස අන් සරණක් නැති බව පසක් කලේය. වැද්දාට පෙම් බැන්ද මනමේ බිසව මෙන් රනිල් ට කොපුව දී වැද්දාට කඩුව දුන්නේ ය.

කාමාශාවෙන් පිස්සුවැටුණු මිනිස්සුන්ට සිරිත්-විරිත්, නීති-රීති හා සම්ප්‍රදායන් පෙනෙන්නේ නැත. බල ලෝභයෙන් මුසපත්ව සිටි මේ දෙදෙනාට රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව අදාළ වූයේ නැත. මාස කීපයක් පුරා සැලසුම් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ඔක්තෝබර් 26 වන දින ක්‍රියාත්මක කළේ දෙදෙනාටම ඉන් ලැබෙන බලකාමී ප්‍රතිලාභ ගණන් බලා මිස අන්කිසිදු හේතුවක් නිසා නොවේ. දෙදෙනා අතර ඇතිවූ හොර ගිවිසුමට අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට පූර්ණ සහාය ලබා දීමට මහින්ද එකඟ වී ඇත. එයට මිල ගෙවීමක් වශයෙන් මෛත්‍රී ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මහින්දට අගමැති කම ලබා දුන්නේ ය. මෛත්‍රී එය කළේ දෙමාපියන්ගෙන් ලැබුණු බූදලය සොර අඹුවකට ලියා දෙන සෙල්ලක්කාර පිස්සෙකු ලෙසය. ව්‍යවස්ථාව රැකීම ප්‍රථම රාජකාරීය ලෙස සැලකිය යුතු ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මත පැහැරුවේය.

මෙම හොර ගිවිසුමෙන් මහින්දට ලැබුණු වාසි 3කි.

1. අගමැති තනතුර ලැබීම, තම ඔඩොක්කු කුක්කන්ට ඇමැති තනතුරු හා වෙනත් තනතුරු ලබාදිය හැකිවීම.

2. තමන්ට තම පවුලේ සාමාජිකයන්ට හා තම සහචරයන්ට එරෙහිව ඇති අපරාධ හා දූෂණවලින් නිදහස් විය හැක්කේ ය යන බලාපොරොත්තුව ඇතිවීම.

3. ගෝඨාභය නම් තම බෑයාගෙන් එල්ල වී තිබුණු දේශපාලන අභියෝගය මඟ හැර යාමට අවස්ථාවක් ලැබු‍‍නේය යන අස්වැසිල්ල.

මෙම ගුණමකු අශීලාචාර පුද්ගලයා රනිල් අගමැති තනතුරෙන් ඉවත්කළේ කැකිල්ලේ වර්ගයේ නීති තර්ක අනුවයි. ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවන බවත් කැබිනට් මණ්ඩලය අහෝසි වූ වහාම අගමැති ධූරය රනිල්ට අහිමිවන බවත් මේ දෙදෙනා හා ඔවුන්ගේ වහල්ලු ජපකරන්නට පටන් ගත්හ. “කමක් නෑ එහෙනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නපියව් යකුනේ“ යැයි පාර්ලිමේන්තුවේ හා රටේ ප්‍රජාතන්ත්‍රවාදීන් හඬ නගන විට මෙම “පාහර ජානය“ කළේ පාර්ලිමේන්තු රැස්වීම් නොවැම්බර් 16 දක්වා කල් දැමීමයි. බලාපොරොත්තු වූ ආකාරයට 113 හදාගැනීම කිසිසේත්ම කළ නොහැකි බව තේරුම් ගිය පසු මෛත්‍රී මහින්දගේ ද උපදෙස් පරිදි පාර්ලිමේන්තුව විසුරෙව්වේය. මහින්දට අගමැති කම ලබා දීම මෙන්ම පාර්ලිමේන්තුව විසුරවා හැරීම ද කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමිනි. පාර්ලිමේන්තුවේ හා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව මෙම අවනඩුව සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ විනිශ්චය විමසූහ. යුක්තියට ස්තූති වේවා ශේෂ්ඨාධීකරණය පාර්ලිමේන්තුව විසුර වීමට අතුරු තහනම් නියෝගයක් පැනවූයේය. ඒ අනුව නොවැම්බර්14 දින පාර්ලිමේන්තුව යලි රැස්විය. එන පොට හොඳ නැති බව දැනගත් දෙපාර්ශවයේ (සිරා-මරා) ඔඩොක්කු කුක්කෝ තම නායකයින් දෙදෙනාගේ අශීර්වාදය සහිතව පාර්ලිමේන්තුවේ පුටු මේස පොත්පත් විදුලි හා සංනිවේදන උපකරණ විනාශ කරන්නට වූහ. ප්‍රංශයේදී ප්‍රගීත් එක්නැලිගොඩ හමුවූයේ යැයි කියු බොරුකාරයා (අරුන්දික ප්‍රනාන්දු) කථානායක අසුනේ මලපහ කළේය. ප්‍රලය වූ පාහරයෝ මිරිස් කුඩු වතුරෙන් පාර්ලිමේන්තු සභාගර්භය ආශීර්වාද ගැන්වූහ.

113 නැතත් මහින්ද ට අගමැති විය හැකි බව ඔප්පු කිරීම සදහා ඔවුන් නඟන තර්කය වී ඇත්තේ 2015 ජනවාරි 09 දින එජාපයට පාර්ලිමේන්තු බහුතරය නොතිබියදී රනිල්ට අගමැතිකම ලබා දී ඇත්තේය යන්නය. රනිල් එදා අගමැති තනතුරට පත්කළේ හැට දෙලක්ෂයක් ඡන්ද දායකයින්ගේ සෘජු ජනවරමින් බව දැන් මේ කුමන්ත්‍රණකරුවන්ට අමතක වී  ඇත. මෛත්‍රීගේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 9වන පිටුවේ 4 ඡේදයේ මෛත්‍රී පොරොන්දු වී ඇත්තේ තමන් ජනාධිපති වූ වහාම රනිල් අගමැති වශයෙන් පත්කරන බවය. එදා රනිල් අගමැති වූයේ හැට දෙලක්ෂයක් ජනතාවගේ සෘජු ඡන්දයෙන් ද බව අවධාරණය කළ යුතුවේ. එදා රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරයක්ද තිබුණි. බහුතරය නොතිබුනේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන්නේ කෙසේද?  ඇරත් එදා රනිල් අගමැති වශයෙන් පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ හෝ රටේ කිසිවකු විරුද්ද වූයේ නැත. එහෙත් අද මහින්දට අගමැති කම ලබා දීම මුළු ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකිති. එපමණක් නොවේ ජනාධිපතිගේ විධායක බලතල යම් ප්‍රමාණයක් අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයට ලබා දුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුළ විරුද්ධ වූයේ 225 දෙනාගෙන් එක් අයෙකු පමණි. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමට පැමිණ සිටියේ නැති අතර 223ක් 19 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්හ. වසර හතර හමාරක් ගතවීමට පෙර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවා හරින්නේ නම් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් පමණකි.

අද මේ අශීලිචාර නායකයින් දෙදෙනා එම 19 ව්‍යවස්ථා සංශෝධනයේ හිල්වල පිහිට පැතීමට තරම් බංකොලොත් වී ඇත. පූර්ණ ආඥාදායකත්වයේ පෙරවදන වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමයි. බලතණ්හාවෙන් පිස්සු වැටුන නායකයන් දෙදෙනෙකු ඔවුන්ගේ අනුගාමික වහලුන් පිරිවරාගෙන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යන මේ ගමන නවතාලීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීන් අසමත් වුවහොත් හෙට මුළු රටම සුසාන භූමියක් වනු ඇත.

රට වැසියනි, ළඟ එන ආඥාදායකත්වයට එරෙහිව සටන් වදිමු!
රටේ මූලික නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමු!

ජනවාරි 9 ව්‍යාපාරය

මොරටුව, එගොඩඋයන, මෝදරපාරේ අංක 121 ඒ යන ලිපිනයේ පදිංචි කේලි සේනානායක වන මම මුද්‍රණය කර ප්‍රකාශ කරන ලදී.

Archive

Latest news

Related news