Monday, May 20, 2024

මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන්න; ජනපති සිරිසේනගෙන් කාන්තාවෝ ඉල්ලති.

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර, මේ අර්බුදය නොවිසඳුවහොත්, අප රටට ආර්ථික සම්බාධක පනවන බවට විදේශ රටවල් ගණනාවක් අනතුරු ඇඟවීම් කර ඇති බව ඔබ දනී. දැනටමත් විදේශ මූල්‍ය ආයතන කිහිපයක්ම අප රටට ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර අත්හිටුවා ඇත. විදේශ ණය සහ ආධාර මත මූලික වශයෙන්ම රඳා පවතින ආර්ථිකයක් පවතින අප රටට එවැනි සම්බාධක පැනවුණහොත් අහිංසක රටවැසියන් අන්ත පීඩනයකට ගොදුරු විය හැකිය.

මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මෙරටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි. එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නැත.

අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි.

පාලකයන් වෙනස් කිරීම සිදු කළ යුත්තේ, ව්‍යවස්ථාවට අනුකූලව නිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් බව පිළි ගනිමු. එබැවින්, පුද්ගල ස්වාර්ථයන් හා රුචි අරුචිකම් පමණක් අරමුණු කර නොගෙන, වත්මන් අර්බුදයට, සාධාරණ හා සදාචාරාත්මක දේශපාලන විසඳුමක් ලබා දෙන මෙන් අපි ඔබට බල කර සිටිමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා රටක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති ආණ්ඩුවක් පවත්වාගෙන යානොහැකි බව දීර්ඝ කාලීන දේශපාලන පරිචයක් ඇති ඔබට නොවැටහීම අදහාගත නොහැක්කකි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ලෙස කටයුතුකිරීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් එය අනාගතයේ බරපතල විනාශයන් අත්කර දීමට හේතුවිය හැකි බවත් අවධාරණය කරමු. එවැනි අඳුරු අනාගතයක් මේ රටේ අහිංසක දරුදැරියන්ට උරුම නොකරන ලෙසත් උදක්ම ඉල්ලා සිටිමු.

හෘද සාක්ෂිය, ප්‍රතිපත්ති ගරුකභාවය, බොරු නොකීම, කියූ දේ කිරීම, කරන දේ කීම, වැනි බුදු රජාණන් වහන්සේ වදාළ මූලික ඇගයුම් සියල්ල නිරන්තරයෙන් පන්සල් යන, සතියකට දෙතුන් වතාවක් මහානායක හිමිවරුන්ගෙන් අනුශාසනා ලබන බෞද්ධ යැයි කියාගන්නා දේශපාලනඥයන් විසින් සමච්චලයට, අවඥාවට ලක්කිරීම අතිශයින් ඛේදජනකය.

ජනාධිපතිතුමනි, දැනටමත් බොහෝ පමා වී ඇත. ඔබ හමුවේ ඇත්තේ. රටක, සමස්ත දරු පරපුරක අනාගතය පිළිබද වගකීමයි. මේ රට තව තවත් අඳුරට ගමන් කිරීමෙන් වැළැක්වීමට වහාම ඉදිරිපත් වන ලෙස අපි ඔබට බල කර කියා සිටිමු.

ඉපදුණු සහ ඉපදෙන්නට සිටින දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කර දීම මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබ වෙත මේ මොහොතේ පැවරී ඇති අත්‍යන්ත වගකීම බව නැවතත් මතක් කර සිටිමු.

ශ්‍රී ලාංකික කාන්තාවෝ

2018 නොවැම්බර් 28

 

Archive

Latest news

Related news