තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත්ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා පරිශ්‍රයේ රැකවරණය දුන් බව කියන සිද්ධියේ සාක්කිකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියාට පිරිසක් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොටුව පොලිසිය කියයි..

තමා නාවික හමුදාවේ නිලධාරී නිවස්නයේ භෝජනාගාරයේ සිටිය දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමඟ පැමිණි පිරිසක් මෙලෙස තර්ජනය කළ බවට එම නිලධාරියා කොටුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ පැමිණි පිරිස තමා අල්ලා ගැනීමට උත්සාහ කරද්දී තමා පැණ ගිය බව ද එම නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

අද (25) දහවල් 2ට පමණ මෙම සිද්ධිය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ඔහුට පහර දීමක් සිදුවී ඇති බවට ද නාවික හමුදාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් පොලිසිය කියනුයේ ඔහුට තර්ජනය කිරීමක් පමණක් සිදුව ඇති බවයි.